මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කළ “හරිත දුම්රිය ස්ථාන” වැඩසටහනේ ජයග්‍රාහකයන්ට සම්මාන, සහතික පත්‍ර සහ ත්‍යාග පිරිනැමීම “ජගත් පරිසර දින” ජාතික උත්සවයේ දී (05) සිදුකෙරිණි. හරිත දුම්රිය ස්ථාන වැඩසටහනේ දී දුම්රිය ස්ථාන හරිතකරණය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ දුම්රිය කලාප තුන වන කොළඹ, අනුරාධපුර සහ නාවලපිටිය දුම්රිය කලාප ආවරණය වන පරිදි විශේෂඥයන්ගේ දායකත්වය ලබාගනිමින් වැඩමුළු පවත්වා දැනුවත් කළ අතර තම දුම්රිය ස්ථානය හරිතකරණය කිරීමට වසරක කාලයක් ඔවුන් වෙත ලබා දුන්නේය. තරගයට ප්‍රධාන දුම්රිය ස්ථාන තිහකින් සහ උප දුම්රිය ස්ථාන දෙකකින් අයැදුම්පත් ඉදිරිපත් විය.
ප්‍රධාන දුම්රිය ස්ථාන අතරින් පළමු ස්ථානය ඇල්ල දුම්රිය ස්ථානයට ද දෙවන ස්ථානය වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ද තෙවන ස්ථානය රඹුක්කන දුම්රිය ස්ථානයට ද හිමි වූ අතර ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය, ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානය, හැටන් දුම්රිය ස්ථානය, අහුංගල්ල දුම්රිය ස්ථානය සහ උකුවෙල දුම්රිය ස්ථාන කුසලතා සම්මාන හිමිකර ගත්හ.
උප දුම්රිය ස්ථාන අතුරින් පළමු ස්ථානය හෝමාගම රෝහල පාර දුම්රිය ස්ථානයට ද දෙවන ස්ථානය මීසාලයි දුම්රිය ස්ථානයට ද හිමි විය.
දුම්රිය ස්ථානයේ කසළ කළමනාකරණය, සනීපාරක්ෂක පහසුකම්, බලශක්ති කළමනාකරණය, ජල කළමනාකරණය, පාරිසරික සෞඛ්‍ය හා ආරක්ෂාව, පරිසර හිතකාමී වැඩසටහන්, පරිසර ඇගයීම්, පරිසර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, පැළ රෝපණය, දුම්රිය ස්ථානයේ සංවිධිත බව සහ ශ්‍රම කළමනාකරණය යන අංශ සලකා බලමින් ඇගයීම් කටයුතු සිදු කෙරිණ.
ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානයන් හි පරිසර හිතකාමී පාරිසරික තත්ත්වයක් ඇති කිරීම මගින් දෙස් විදෙස් මගීන්ට පහසුව සැලසීම, සංචාරක කර්මාන්තයට රුකුලක් ඇතිවන අයුරින් ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම මෙන්ම පරිසර සංරක්ෂණ කාර්යය සඳහා දුම්රිය ස්ථාන යොමුකිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති “ජගත් පරිසර දින” ජාතික උත්සවයේ දී පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා යන අයගේ සහභාගීත්වයෙන් “හරිත දුම්රිය ස්ථාන” වැඩසටහනෙහි සම්මාන, ත්‍යාග සහ සහතික පත් ප්රදානය සිදු කෙරිණ.