ලෝක ජනගහනයෙන් 10% කට ආසන්න ප්‍රමාණයක් (මිලියන 800ක් පමණ) වකුගඩු රෝගවලින් පීඩාවිඳී. මෙම පීඩාකාරී රෝගය සඳහා ජාත්‍යන්තර වශයෙන් සිදු කරන ලද පරීක්ෂණවලින් හඳුනාගෙන ඇති ප්‍රධාන හේතූන් වන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ වයස්ගත වීමයි. ශ්‍රී ලංකාවේ ද මෙම තත්ත්වය මේ ආකාරයෙන්ම පවතින බව අනුමාන කළ හැකිය.
ශ්‍රී ලංකාව නිදහස් සෞඛ්‍ය සේවාවක් ලබාදෙන රටකි. රජයේ අය වැයෙන් සෞඛ්‍ය සඳහා වෙන් කරනු ලබන මුදලින් 10% කට ආසන්න ප්‍රමාණයක් වකුගඩු රෝගී සත්කාර සඳහා යොදවයි. එමෙන්ම 40000 කට ආසන්න වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් සඳහා දෙනු ලබන දීමනා වෙනුවෙන් ද විශාල මුදලක් වැය කරයි. අඩු ආදායම් රටක් වන ශ්‍රී ලංකාවට මෙය විශාල බරකි. නමුත් මදක් උත්සාහ කළ හොත් මෙම රෝගය ඉතා පහසුවෙන් වළක්වා ගත හැකි බැවින් මෙම වියදම අවම කර ගත හැකිය. එබැවින් මෙවර වකුගඩු දිනයේදී ශ්‍රී ලාංකික ජනතාවට දිය හැකි පණිවිඩය නම්, වකුගඩුරෝග නිවාරණය සඳහා වන උපදෙස් අනුගමනය කිරීම සහ, ඒ සඳහා සක්‍රිය දායකත්වයක් ලබා දීමට කටයුතු කිරීම ඉතා වැදගත් වන බවයි.
දියවැඩියාව, වකුගඩු රෝග ඇති කිරීමට හේතු වන ප්‍රධානම රෝග තත්ත්වයකි. දියවැඩියා රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 50%කට වකුගඩු රෝගය වැලඳීමේ හැකියාව පවතී. ලෝකයේ සෙසු රටවල්වලට සමගාමීව ශ්‍රී ලංකාවේ ද දියවැඩියා රෝගීන්ගේ වාර්තා වීම පසුගිය දශක කිහිපය පුරා ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතී. ශ්‍රී ලාංකික වැඩිහිටියන් හතරදෙනකුගෙන් එක් අයෙක් දියවැඩියාවෙන් පෙළෙන බව මෑතකදී කරන ලද අධ්‍යයනයකින් අනාවරණය කරගෙන ඇත. එමෙන්ම දියවැඩියා රෝගයෙන් පෙෙළන පස්දෙනෙකුගෙන් දෙදෙනකුම එනම්, මිලියනයකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමාට එය වැලඳී ඇති බව නොදැන සිටී. තව ද ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම දියවැඩියා රෝගී අනුපාතය ඇති රට වන අතර, ලෝකයේ ඉහළම අනුපාතයක් ඇති රටවල් කිහිපයකින් එකක් ද වේ. සාමාන්‍යයෙන් ස්ථුලභාවයත් සමඟ පුද්ගලයෙකුට දියවැඩියාව වැලඳේ. නමුත් ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය ශරීර බරක් ඇති අයට ද දියවැඩියාව වැලඳී ඇති බව හඳුනාගෙන ඇත. එනම්, ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගින්ගෙන් 1/5ක්ම සාමාන්‍ය ශරීර බර ඇති අය වේ.
අධිරුධිර පීඩනය, ලොව පුරා සිටින වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට බලපාන රෝග තත්ත්වයකි. එහි ප්‍රධාන සංකූලතාවයන් ලෙස නිදන්ගත වකුගඩු රෝගය ඇති වේ. අධිරුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1990 සිට 2019 දක්වා කාලය තුළදී දෙගුණයක් වී ඇත. එය ගෝලීය වශයෙන් බිලියන 1.3ක් දක්වා ළඟා වී ඇත. ශ්‍රී ලංකාවේ සිදු කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 18 – 69 අතර ජනගහනයෙන් හතරෙන් එකක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව හෙළි වී ඇත.
දියවැඩියාව හා අධිරුධිර පීඩන රෝගවලට අමතරව, ගුච්ඡිකා ප්‍රදාහය (Glomerulonephritis), කෝෂ්ඨ රෝග (Cystic disease), මුත්රවාහිනි පද්ධතිය ආශ්‍රිත රෝග, මුත්‍රා ගල් සහ වකුගඩු ආසාදන මඟින් ද, නිදන්ගත වකුගඩු රෝග ඇති වේ. එසේම කිසිදු විශේෂ හේතුවක් තවමත් නිශ්චිතව හඳුනාගෙන නැති තත්ත්වයන් තුළ වුවද ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වකුගඩු රෝගීන් වාර්තා වේ. එම තත්ත්වය CKDu ලෙස හැඳින්වේ. මේ සඳහා හේතු කිහිපයක් බලපාන බව අනුමාන කරන අතර, ඒ සම්බන්ධයෙන් මේ වන විට පර්යේෂණ සිදු කරමින් පවතී.
වකුගඩු රෝග ලක්ෂණ
ඕනෑම රෝගයක් යම් පුද්ගලයෙකුට තිබේද යන්න පිළිබඳ මුලින්ම දැන ගත හැකි වන්නේ යම් යම් රෝග ලක්ෂණ මතු වීම මතයි. නමුත් බොහෝ වකුගඩු රෝග තත්ත්වයන්වලදී එසේ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීම විශේෂ කරුණකි. නමුත් රෝගය උත්සන්න වීමත් සමඟම පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
- වැඩි වාර ගණනක් මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම (විශේෂයෙන් රාත්‍රියට) හෝ මුත්‍රා පිට වීමේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබීම
- මුත්‍රා පෙණ සහිත ස්වභාවයක් ගැනීම.
- මුත්‍රා සමඟ රුධිරය පිට වීම.
- කොන්දේ කැක්කුම.
- ඇස් වටා හා වළලුකර ප්‍රදේශ ඉදිමීම.
- අධික මහන්සිය.
- කෑම අරුචිය.
මෙම රෝග ලක්ෂණවලින් එකක් හෝ කිහිපයක් ඔබට ඇත්නම් වහාම වකුගඩු රෝග සායනයක් වෙත හෝ පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතු වේ.
අවදානම් කණ්ඩායම්
වකුගඩු රෝග ඇති වීම කෙරෙහි වැඩි අවදානමක් සහිත පුද්ගල කාණ්ඩ කිහිපයක් හඳුනා ගත හැකිය. එනම්,
- දියවැඩියා රෝගීන්
- අධිරුධිර පීඩනය සහිත පුද්ගලයින්
- වකුගඩු රෝග සඳහා පවුල් ඉතිහාසයක් ඇති පුද්ගලයින්
- දීර්ඝ කාලීනව වේදනා නාශක ඖෂධ භාවිත කරන පුද්ගලයින්
- වකුගඩු රෝගීන් බහුලව වාර්තා වන ප්‍රදේශයක වාසය කරන්නන් – (CKDu රෝගීන්)
වකුගඩු රෝග හඳුනා ගැනීමේ පරීක්ෂණ (Screening tests)
යම් පුද්ගලයෙකුට වකුගඩු රෝග තත්ත්වයක් වැලඳී ඇත්දැයි හඳුනා ගැනීම සඳහා සිදු කරනු ලබන සරල පරීක්ෂණ කිහිපයක් පහත දක්වා ඇත.
1) රුධිර ක්රියටිනින් පරීක්ෂාව (Serum Creatinine&eGFR)
2) සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය (UFR)
3) මුත්‍රා මයික්‍රො ඇල්බියුමින් මට්ටම – (UrineMicroalbumin)
අවදානම් සහිත පුද්ගල කාණ්ඩයකට ඔබ අයත් නම්, හෝ ඔබ වයස අවුරුදු 35 ට වැඩි අයෙකු නම් ඉහත පරීක්ෂණ සඳහා යොමු වීම තුළින් මෙම රෝගය වැලඳී ඇත්දැයි කල් තබා හඳුනාගත හැකිය. කල් තබා හඳුනා ගැනීම තුළින් බොහෝ වකුගඩු රෝග සම්පූර්ණයෙන් සුව කිරීමට හෝ පාලනය කිරීමට හැකි වීම නිසා මෙය ඉතා වැදගත් වේ. එසේම ඔබට දැනටමත් පෙර සඳහන් කර ඇති රෝග ලක්ෂණවලින් එකක් හෝ පවතී නම්, ඉහත සඳහන් කර ඇති පරීක්ෂණ සිදු කර ගැනීම සුදුසු වේ. මෙම පරීක්ෂණ රජයේ රෝහල්වල පවත්වා ගෙන යනු ලබන සුව දිවි සායනවලින් නොමිලයේ සිදු කරනු ලබයි. නමුත් තම අභිමතය අනුව මෙම සේවාව පෞද්ගලික පරීක්ෂණාගාරයකින් වුවද සිදු කර ගත හැකිය.
වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර
කෙසේ හෝ යම් අයෙකුට වකුගඩු රෝගය වැලඳී ඇත්නම් ඒ ඒ රෝගියාගේ රෝග ස්වභාවය මත ඒ සඳහා ප්‍රතිකාර ක්‍රම ද විවිධාකාරයෙන් සිදු කෙරේ.
- ඖෂධ ලබාදීම.
- රුධිර කාන්දුකරණය (Haemodialysis)
- පරිතාන්දුකරණය (CAPD)
- වකුගඩු බද්ධ කිරීම්.
මූලික අවස්ථාවේදී ඖෂධ ලබාදීම මඟින් මෙම රෝග තත්ත්වය පාලනය කිරීම හෝ සුව කිරීමට හැකියාවක් පැවතිය ද රෝගය උත්සන්න වූ විටක එනම් eGFR අදියර 5 දක්වා යාමක් සිදු වුවහොත් රුධිර කාන්දුකරණය, පරිතාන්දුකරණය හෝ බද්ධ කිරීම වැනි ප්‍රතිකාරවලට යොමු විය යුතුය. රෝගියාට මූලික අවස්ථාවේ ප්‍රතිකාර මඟ හැරී ගියහොත්, සිදු කළ යුතු ප්‍රතිකාර ක්‍රම රෝගියාට තරමක් අපහසු හා වියදම් අධික ඒවා වේ. එමෙන්ම නොසැලකිලිමත් බව හේතුවෙන් රුධිර කාන්දුකරණය, පරිතාන්දුකරණය හෝ බද්ධ කිරීම් වැනි ප්‍රතිකාරවලට අනවශ්‍ය ලෙස යොමු වීම නිසා එය රටේ ආර්ථික තත්ත්වයටද අහිතකර ලෙස බලපාන බව කිව යුතුය. එබැවින් මුල් අවස්ථාවේ ම වකුගඩු රෝග සායන වෙත ගොස් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් රෝගය ඉතා පහසුවෙන් සුව කර ගැනීම හෝ පාලනය කරගත හැකි වෙනවා මෙන්ම එය රටේ ආර්ථිකයට ද යහපත් වේ.
වකුගඩු රෝග වළක්වා ගැනීම සඳහා උපදෙස්
වකුගඩු රෝගය වැලඳීමෙන් පසු ප්‍රතිකාරවලට යොමුවීමට වඩා එය වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග වෙත යොමුවීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.
- දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝග කල් තියා හඳුනාගෙන එම රෝග සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වීම තුළින් වකුගඩු රෝගය සෑදීමේ අවදානම සැලකිය යුතු මට්ටමින් අඩු කර ගත හැකි වේ. එමෙන්ම ඊට අවශ්‍ය ඖෂධ, සුදුසු ආහාර හා ව්‍යායාම වෙත යොමු වීම ඉතා වැදගත් වේ. වයස අවුරුදු 35 පමණ වන විට රුධිරයේ සීනි හා කොලෙස්ටරෝල් මට්ටම හඳුනා ගැනීමේ පරීක්ෂණ සඳහා යොමු වීමත් රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීමත් අත්‍යාවශ්‍ය වේ.
- එමෙන්ම සාමාන්‍ය මිනිසෙකු දිනකට වතුර වීදුරු 8ක් (ලීටර් 1.5 – 2.0) පානය කිරීම සුදුසුය. එය රැකියාවේ ස්වභාවය මත වෙනස් වේ. එළිමහනේ අධික වේලාවක් ගත කරන හා ඩහදිය වැඩිපුර පිට වන පුද්ගලයින්ට මෙම ප්‍රමාණය වැඩි විය යුතු වේ.
- අධික ලුණු භාවිතය බොහෝ රෝගවලට හේතු වන බැවින් ලුණු අඩුවෙන් ආහාරයට ගැනීම සුදුසු වේ.
- දීර්ඝ කාලීනව ගන්නා වේදනා නාශක (NSAIDs)අනවශ්‍ය ලෙස නොගැනීමත්, ඒවා වෛද්‍ය උපදෙස් අනුව පමණක් ලබා ගැනීමත් සුදුසු වේ.
- කෘෂි රසායන ද්‍රව්‍ය හා පළිබෝධ නාශක භාවිතයේදී නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම ද ඉතා වැදගත් වේ.
- සර්පයින් දෂ්ට කිරීම් වළක්වා ගැනීම සඳහා ගත හැකි සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කිරිම.
- මී උණ වැලඳීමට ඇති ඉඩ ප්‍රස්ථා වළක්වා ගැනීම තුළින් ද අනවශ්‍ය ලෙස වකුගඩු රෝග සෑදීමෙන් වැළකිය හැකි වේ.
- සර්පයින් දෂ්ට කිරීම්, මී උණ හා මුත්‍රා ආසාදන සඳහා ඉක්මන් හා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ද වැදගත් වේ.
නිදන්ගත වකුගඩු රෝග සම්බන්ධ මිථ්‍යාවන් සහ යථාර්ථය
ශ්‍රී ලංකාවේ වෙසෙන බහුතරයක්, බොහෝ කරුණු සම්බන්ධයෙන් මිථ්‍යා මත විශ්වාස කරයි. වකුගඩු රෝග සම්බන්ධයෙන්ද, උගත් නූගත් භේදයකින් තොරව, මෙම තත්වය එසේම වේ. කනගාටුදායක කරුණ නම්, මොවුන් මෙම මිථ්‍යා විශ්වාසයන් යථාර්ථයක් බවට තේරුම්ගෙන සිටීමයි.මෙම නිසාවෙන්, බොහෝ පිරිසක් අවාසනාවන්ත ලෙස තම ජීවිත අඳුරු කර ගන්නා බවක් පෙනේ.
එමෙන්ම වකුගඩු රෝග මාරාන්තික රෝග ලෙස හඳුනා ගැනීමත් මිථ්‍යා විශ්වාසයක් වේ. කල්තියා හඳුනා ගැනීමෙන් හා නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමෙන් මෙම රෝග සම්පූර්ණයෙන් සුව කිරීමට හෝ පාලනය කිරීමට හැකියාව පවතී.
මෙම රෝගය පිළිබඳව දරන තවත් මිථ්‍යා මතයක් නම් සියලුම වකුගඩු රෝගීන් එක සමාන රෝගී තත්වයේ පසුවන බවත් ඒ සඳහා වන ප්‍රතිකාර විධි එකක් විය යුතු බවත්ය. නමුත් වකුගඩු අකර්මණ්‍ය වී ඇති තිව්‍රතාවය අනුව රෝගී තත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒ අනුව රෝග ලක්ෂණ වෙනස් වන අතර ප්‍රතිකාර ක්‍රමද විවිධ වේ.
බොහෝදෙනා විශ්වාස කරන්නේ සියලුම වකුගඩු රෝගීන් ප්‍රෝටීන් ආහාර හා පලතුරු සහ කොළ පැහැති එළවළුවලින් වැළකී සිටිය යුතු බවයි. එයද වැරදි මතයකි. වෛද්‍යවරුන් ආහාර නිර්දේශයන් තීරණය කරන්නේ එක් එක් රෝගීන්ගේ රසායනාගාර වාර්තාවලට අනුවය. එය රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.
එබැවින් වකුගඩු රෝගවලින් වැළකීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සහ අවදානම් සහිත කාණ්ඩ රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණවලට යොමුවීම ඉතා වැදගත් වේ. වකුගඩු රෝගීන් ලෙස හඳුනාගන්නා පුද්ගලයින් නිසි පරිදි සායනවලට පැමිණීමත්, වෛද්‍ය උපදෙස් පිළිපැදීම සහ ප්‍රතිකාර සඳහා යොමු වීමත් අත්‍යවශ්‍ය වේ. එය පෞද්ගලිකව ඔබටත්, සමාජයටත්, ආර්ථිකමය වශයෙන් රටටත් ඉතා යහපත් වේ.