Local

අපේ මාතෘ භූමිය ලෝකයේ දියුණුම රට බවට පත් කරනවා

Thursday, 19 September 2024 - 9:47 am

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ කියයි
අපි දැක්මක් සහ සැලැස්මක් සහිත ආණ්ඩුවක් හදනවා
රටේ ජනතාව ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලන්නේ නෑ
රූකඩ නායකයෙක් රටේ නායකයා කරවන්න විදෙස් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙලා
මහින්ද රාජපක්‍ෂ

“මහින්ද රාජපක්‍ෂ මහත්තයා අපිට උගන්වලා තියෙන්නෙ මනුස්සකම එක්ක දේශපාලනය කරන්න කියලයි. මේ 21 වැනිදා මා ජනාධිපති වුණාට පස්සේ මේ මාතෘ භූමිය ලෝකයේ දියුණුම රට බවට පත් කරනවා” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ (18 දා) අවසන් ජන රැලි අමතමින් පැවැසීය.

ඒ මහතා එසේ පැවසුවේ තිස්සමහාරාම, මතුගම හා පිළියන්දල පැවැති අවසන් මහා ජන රැලි අමතමිනි.

අපේ මාතෘ භූමිය ලෝකයේ දියුණුම රට බවට පත් කරනවා

තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

“අවස්ථාවාදී දේශපාලනය තුළ අපි පිල් මාරු කරන්න සූදානමක් නැහැ. අරගලයෙන් පස්සේ හුඟක් අය හිතුවා අපි හැංගිලා ඉන්නේ කියලා. නැහැ. අපි ගමට ආවා. මිනිසුන් එක්ක අපි හිටියා. අපි අහිංසකයි තමයි. අපි බනින්නේ නැහැ. අපි වල්පල් කියවන්නේ නැහැ. හැබැයි මම මහින්ද රාජපක්ෂගේ පුතා කියන එකක් මතක කියා ගන්න කියලා කියනවා. අපිත් මහපොළොවේ පය ගහලා ඉන්න අය. මම අභියෝග කරනවා අපිට හොරා කියන අයට. ලෝකයේ ඕනෑම අධිකරණයකට යන්න, ලෝකයේ ඕනෑම රටකට යන්න, ලෝකයේ ඕනෑම අධිකරණයකට ගිහිල්ලා බොරු චෝදනා කරන්නෙ නැතුව අධිකරණය හමුවේ නඩු පවරන්න. අපි හොරකම් කරලා නැහැ. අපි වැඩ කළා. අඩුපාඩුකම් ඇති අපේ. අපි හැමෝගෙම තියෙනවා. අපිත් එක්ක හිත් බිඳිච්චි අයත් ඉන්නවා. මේ වේදිකාවෙත් ඉන්නවා. හිත් බිඳිලා තියෙනවා ඒක සාධාරණයි. මහා බලාපොරොත්තුවක් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ ආණ්ඩුව ගෙනාවා. නමුත් මේ කුමන්ත්‍රණකාරයන් ඒක වැට්ටුවා. ඒක හොඳටම ඔප්පු වෙනවා.

අපි දැක්මක් එක්ක වැඩ කළේ. ඉදිරියේ අපි හදන ආණ්ඩුව දැක්මක් සහ සැලැස්මක් සහිත ආණ්ඩුවක් කියන එක කියන්න කැමතියි. අපි ප්‍රතිපත්තිගරුකයි. අපි කැලේ සුද්ද කරලා ගෙවල් හදලා දීලා නැහැ. අලි ප්‍රශ්නයට තිරසාර විසඳුමක් දෙනවා මිසක් අපි ජනතාව අසරණ කරලා නැහැ. රැකියා දෙන්නන් වාලේ දීලා නැහැ. සුදුස්සාට සුදුසු තැන දීලා තියෙනවා. අපි හැමදාම දේශීය චින්තනයත් එක්ක ගොඩනැඟුනේ. අපිට වගකීමක් තියෙනවා. මට වගකීමක් තියෙනවා. වමේ දේශපාලන බලවේගය ප්‍රගතිශීලී කඳවුරු ආරක්ෂා කළා.

අද ප්‍රධාන අපේක්‍ෂකයන් අතරින් ප්‍රගතිශීලී වමේ දේශපාලන කඳවුරු ආරක්ෂා කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඔබයි මමයි පමණයි කියන එක මම වගකීමෙන් ඔබට කියනවා. අපි ඒක ආරක්ෂා කරනවා. අපි වරදාන වරප්‍රසාදවලට දේශපාලන පිල් මාරු කරන්න සූදානම් නැහැ.

“අපෙන් පුළුවන් තරම් පළි ගත්තා. අපිව හිරේ දැම්මා. අදටත් බැසිල් රාජපක්‍ෂ මහත්තයා මාතර උසාවියේ නඩුවකට යනවා. මං සති දෙකකට කලින් මැතිවරණ අස්සෙ උසාවි ගියා. මොකද අපිට

හැංගෙන්න උවමනාවක් නැහැ. අපිට ආත්ම ශක්තියක් තියෙනවා. අපි වැරදි කරලා නැහැ.

අපි මේ රටට ද්‍රෝහිකම් කරලා නැහැ. මේ රට බෙදන්න හදලා නැහැ. මිනිසුන්ට රිද්දවන්න අපි කටයුතු කරලා නැහැ. අපි යම් තීන්දුවක් තීරණයක් ගත්ත නම් ගත්තෙ සද්භාවයෙන්. මේ රට හදන්න. ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්න.

‘අපි සති 5කින් මේ මැතිවරණය මෙහෙයවුවේ. අපි පූජා නගරවල බාර් දාගෙන මැතිවරණ මෙහෙය වූවේ නැහැ. අතින් වියදම් කරගෙන මන්ත්‍රීවරු, මේ ජනතාව, තරුණ පිරිස ගෙයින් ගෙට ඇවිද්දෙ. සති 5ක් ඇතුළත ලංකාවේ දැවැන්තම දේශපාලන බලවේගය නැවත පණ පොවලා දෙපයින් හිටගෙන ජයග්‍රාහී ගමනක් යන්න සූදානමින් ඉන්නවා.

හිටපු ජනාධිති මහින්ද රාජපක්ෂ මහතා –

රාජපක්ෂලාට කවදාවත් මුල අමතක වුණේ නැහැ කියන එක ජනතාවට මතක් කර දෙනවා. මේ ඉන්නේ අපේ මිනිස්සු. ඔබත් කළගුණ අමතක නොකරන බව අපි දන්නවා. අද රට තියෙන්නේ අනතුරක. රූකඩ නායකයෙක් රටේ නායකයා කරවන්න විදෙස් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන බව ඔබ දන්නවා. ඒ නිසා දවසින් දවස නාමල් වටා රොක්වන ජනතාව අද ඒ අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නාමල් ගැන මෙහෙම උනන්දුවක් ඇති වුණේ උතුරට ගිහිල්ලා රට බෙදන්නේ නැහැ කියලා කෙළින්ම කියපු නිසයි කියලයි මං විශ්වාස කරන්නේ. අනිත් අය උතුරට ගියාම එක කතාවක් දකුණට ආවම තව කතාවක්.

“අද කවුරුත් ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරනවා. නමුත් රටේ ජනතාව ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලන්නේ නැහැ.

බලය බෙදන්නයි කියලා ඉල්ලන්නෙත් නැහැ. ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල රට අවුල් කරන කුමන්ත්‍රණ. සමහරුන්ට ඕන මේ රට බංග්ලාදේශයක් කරන්න. අපි දන්නවා ඒ අයගේ මතය පරාජය කරන්න ඕන.

එදා ඔබ දැක්කා උතුරේ ඇතිවෙච්ච වෙනස. ඔවුන් වෙනම රාජ්‍යයක් සඳහා වැඩපිළිවෙළ ගෙන යන හැටි. ඒ යුද්ධය ආරම්භ වෙලා අවුරුදු තිහක් ගියා. නතර කරන්න බැරිවෙලා තිබ්බ යුද්ධය අපි අවුරුදු තුනක් යන්න ඉස්සෙල්ලා සම්පූර්ණයෙන්ම නතර කරන්න හැකිවුණා. අපි වරාය ගෙනාවා. වරාය කන්නද කියලා සමහරු ඇහුවා. ලයිට් දුන්නම ලයිට් කන්නද කියලා අහනවා. මම කිව්ව ඔව් ලයිට් කන්න තමයි. හයිවේ හැදුවාම ඒක ඇඹුල්තියල් ගේන්නද ඇහුවා. හයිවේ හදලා, මංමාවත් හදලා, විදුලිය දීලා වැඩක් කළේ අපේ ආණ්ඩුව කාලේ බව මතක් කළ යුතුයි. ඒ නිසා රට දියුණු කරන්න අපට වුවමනාව තිබෙනවා. අද ජනාධිපති පමණක් ඇවිත් තියෙනවා. ඒ සඳහා මගේ පුතත් තරග කරනවා. ඒ නිසා තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා මගේ පුතාටත් ඡන්දය දීලා බලයට පත් කරන්න කියලා. එය මේ රටේ දියුණුවයි.

ඩී. වීරසිංහ මහතා,

මහින්ද රාජපක්‍ෂට ආදරය කරන මිනිස්සු අදටත් ඉන්නවා. හැබැයි ඒ මිනිස්සු ගෙවල්වල නිහඬවයි ඉන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ජේ.වී.පී. කාරයෝ අපි ආව ගමන් හොරු අල්ලනවා, හොරුන්ගේ දේශපාලනයම ඉවර කරනවා කියලා තර්ජනය කරනකොට අපේ පාක්‍ෂිකයන් නිහඬව ඉන්නවා. හැබැයි ඒ අය 21 වැනිදා ඡන්ද පොළට ගිහින් පොහොට්ටුවට ඡන්දය දෙනවා විශ්වාසයි. 75 වසරක දේශපාලන සාපය ඉවර කරන්න ඕන කියන ජේ.වී.පී. අය කියන කොට අහන්න 75 වසර තුළ ඒ අය මොනවද කළේ කියලා. උන්ට පුළුවන් වුණේ ට්‍රාන්ස්ෆෝමරයට, ලයිට් කණුවට

ගිනි තියලා බස් එකට ගිනි තියලා, කෝච්චිවලට ගිනි තියලා, වී ගබඩාවට ගිනි තබලා, පුස්තකාලයට ගිනි තියලා, අයිඩින්ටි හොරා කාලා ගෙනියන්න විතරයි. එහෙම අය මේ හොරු අල්ලන්න හදන්නේ. කවුද හොරකම මේ රටට පුරුදු කළේ. ජේ.වී.පී. කාරයෝ. අනුර කුමාරලා මේ 75 වසර ඇතුළේ හිටියා. එල්.ටී.ටී.ඊ. එකට පස්සේ මේ රටට වැඩිම සාපය කළේ ජේ.වී.පී. කාරයෝ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා,

නියත වශයෙන්ම මේ රටේ තරුණ ජනාධිපතිවරයා බවට පත්වෙන්නේ නාමල් රාජපක්‍ෂ මැතිතුමා. සමීක්‍ෂණ වාර්තාවලට අනුව අනුර කුමාර දිසානායක ඉන්නේ හතරවැනි ස්ථානයේ. අනුරට වඩා සුදුසුකම් තියෙන එකම නායකයා නාමල් රාජපක්ෂ කියලා ජනතාව තීන්දු කරලා ඉවරයි. තිස්ස බේරා ගන්න බැරිවෙච්ච අනුර රට කරන්න හදන්නේ. අනුර ඉවරයි.

අනිත් කෙනා තමයි සජිත් ප්‍රේමදාස. සජිත් හිතන විදිහ පොඩියි. මහින්ද මහත්තයා වරායවල්, ගුවන්තොටුපොළවල්, මහාමාර්ග හදලා නාමල්ට ඉගැන්නුවා. හම්බන්තොට හදන්න බැරිවෙච්ච සජිත් සමස්ත රටෙන්ම පරද්දවනවා කියන එක පැහැදිලිව මතක් කරනවා. දැන් නාමල් එක්ක අනුර ඉවරයි. දැන් නාමල් එක්ක සජිත් ඉවරයි.

ඊළඟ තරග කරනවා කවුද තෙල් පෝලිම් නවත්තපු, ගෑස් පෝලිම් නවත්තපු විරුදාවලිය තමන් විසින්ම හදා ගත්තු රනිල්. අපි එයාව පත් කරනවා. එයා අපිව අස් කරනවා. එයා හොඳයි විකුණන් කන්න. අපිට මහින්ද රාජපක්‍ෂ දුන්නු ජාත්‍යන්තර වරාය, ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, රනිල් වික්‍රමසිංහ අමු අමුවේ ඒවා විකුණලා දැම්මා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔබ මගේ දරු පැටියාගේ බෙල්ල කපලා දැම්මා වගේ, අපිට තිබුණ වරාය චීනයට විකුණා දැම්මේ. මහින්ද රාජපක්ෂ කියන අසහාය නායකයා රට ඇතුළේ වරායවල් හැදුවේ, පෝට් සිටිය හැදුවේ ඒවත් විකු-ණන්න දාලා. රනිල් හොඳ අයි.එම්.එෆ් එකේ ණය ගන්නයි, විකුණන් කන්නයි. ඒ අය රාජපක්‍ෂවරු හොරු කරලයි තිබුණේ. නාමල් රාජපක්‍ෂ වේදිකාවේ කතා කරනකොට ඇස් උඩ

ගියා. නාමල් දේශපාලන වේදිකාවේ එක එක්කෙනාව විවේචනය නොකර දේශපාලන ප්‍රතිපත්ති කතා කරනකොට අපිටත් රජෙක් ඉන්නවා කියලා අපිට දැනුනා. මේ රටේ ජනප්‍රියම දිනන අපේක්‍ෂකයා බවට නාමල් රාජපක්‍ෂ පත්වෙලා ඉවරයි.

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි,

මේ රටේ සියලු ජනතාව ඉන්නේ නාමල් රාජපක්‍ෂ එක්ක. මේ රටේ යුද්ධය නිමාවට පත් කරවපු වගේම මේ රට සංවර්ධනය කරපු නායකයා තමයි මහින්ද රාජපක්‍ෂ. මුළු රටම අනුරට කිව්වට මුළු රටම මහින්දට. අනුරට බම්බුව. නාමල් රාජපක්‍ෂට මේ ජනතාව සූදානම් කරලා දීලා තියෙන්නේ මහින්ද රාජපක්‍ෂ. ඒක අපි අමතක කරන්නේ නැහැ.

නාමල් අයින් වෙන්නලු රනිල්ට දිනන්න. රනිල්ට දිනන්න නාමල්ට අස්වෙන්නලු. කලින් කිව්වේ එයා හිටියට වැඩක් නැහැ. පොහොට්ටුව ඉවරයි කියලා. රනිල්ට තිබුණේ ජනාධිපතිකම ලැබුණම ඒක ලස්සනට මේන්ටේන් කරලා පොහොට්ටුව මේන්ටේන් කරන්න. ඒක මේන්ටේන් කරනවා වෙනුවට එක එක කඩලා ගත්තා. ඊට පස්සේ නාමල් රාජපක්‍ෂට ගහන්න එක එක්කෙනා හැදුවා. දැන් එයාට කෙළවෙන කොට නාමල් බබාට ඉල්ලා අස්වෙන්නලු. අනුරගෙයි රනිල්ගෙයි ලව් එක කඩන්න හොඳ නැහැ. ඒක ලබන ආත්මෙත් තියෙන්න ඕන.

රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ,

මම නාමල් රාජපක්‍ෂ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබ ජනාධිපති පුටුවට පත් වුණු ගමන් මේ රට කාබාසිනියා කරපු අයට දඬුවම් කරන්න. නාමල් රාජපක්‍ෂ මැතිතුමාට හොඳ දැක්මක් තියෙනවා. හොඳ හඬක් තියෙනවා. එතුමා දේශපාලන වේදිකාවේ වුණත් කතා කරනකොට හරවත් දෙයක් කතා කරන්නේ. එතුමා කාටවත් මඩ ගහන්නේ නැහැ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT