Local

අවලෝකිතේශ්වරට තවදුරටත් මානසික වෛද්‍ය ප්‍රතිකාර – ලබන 7 දා දක්වා යළි රිමාන්ඩ්

Thursday, 25 January 2024 - 7:44 am

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් නමින් පෙනී සිටිමින් බුදු දහම විකෘති කරන ආකාරයේ විවිධ දේශනා පවත්වමින් බෞද්ධ ජනයා තුළ සිත් රිදවීම් ඇති වන ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ මහින්ද කොඩිතුවක්කු නමැත්තාට මානසික ප්‍රතිකාර දීමට නිර්දේශ කරමින් අංගොඩ මානසික විද්‍යායතනයේ මානසික වෛද්‍ය විශේෂඥවරුන් ඉදිරිපත් කළ වාර්තාවක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ ඊයේ (24) ගොනු කෙරිණි.

සැකකරුට තවදුරටත් ප්‍රතිකාර කිරීමට අදාළ වාර්තා ඉදිරිපත් කරන ලෙස අධිකරණය දුන් නියෝග ප්‍රකාරව බන්ධනාගාර වෛද්‍යවරයා ඉදිරිපත් කළ වාර්තාව සහ වැඩිදුර වාර්තාවේ පිටපත් වහාම විශේෂඥ වෛද්‍යවරුන්ට යොමු කරන ලෙසද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියම කළේය. ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නියම කරමින් සැකකරු ලබන 7 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා ඊයේ (24) නියම කළේය.

මේ පැමිණිල්ල ඊයේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ සැකකරුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් මානසික වෛද්‍ය විශේෂඥවරුන් දෙදෙනකු සැකකරු පරීක්ෂා කිරිමෙන් අනතුරුව නිකුත් කළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා මානසික රෝග තත්ත්වයට ප්‍රතිකාර ගැනීමට මූලික මිනිස් අයිතිවාසිකම් යටතේ ඔහුට ඇති අයිතිය පෙන්නා දෙමින් අපරාධ නීතිය යටතේ ඔහු වරදක් කර නැති බවට කරුණු දැක්වීය. ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සුදුසු ඕනෑම කොන්දේසියක් යටතේ සැකකරු මුදාහරින ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට ප්‍රතිකාර අවශ්‍ය මොහොතක මුදාහැරියොත් එවැනි ආකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ යළි කළ හැකි බවත්, ඉන් බෞද්ධ භික්ෂූන් හා බෞද්ධ ජනයා අතර කැලඹීමක් ඇති විය හැකි බවත් කියමින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

සැකකරු ප්‍රතිකාර අවසන් වන තුරු ඇප සම්බන්ධයෙන් කරනු ලබන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේය.

“සැකකරු සම්බන්ධයෙන් කැලණි විහාරයේ භික්ෂූන් වහන්සේ නමක ඇතුළු 6කගෙන් ප්‍රකාශ ගෙන තිබෙනවා. කැලණි විහාරස්ථානයේ කිසිදු අවසරයක් නොගෙන දේශනා කරන අවස්ථාවේ එය දැනගත් පසු එය නවතා දැමු බව එහි සඳහන්. ඔහු සිදු කළ දේශනා 1,200ක් ඇති බවත් 180 දේශනා 6,017ක්, 180 කෙටි දේශනා 479ක් සමාජගත වී තිබෙනවා. එහි ග්‍රාහකයන් 2,000ක් සිටි බව අනාවරණය වනවා. දින 11ක කාලය තුළ අමෙරිකානු ඩොලර් 350ක ආදායමක් ලබා තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයකු වන ධනුෂ්ක ජයවර්ධන යන අය සැකකරුට ගුවන්තොටුපොළ සිට කැලණියට යෑමට ලිමොසින් රථය දී ඇති බවත් ස්ට්‍රෝන්ග් චේන්ජර්ස් ආයතනයේ මුදල් ගෙවා ආරක්ෂකයන් 10ක් ගෙන කැලණියට ගොස් ඇති බවත් අනාවරණය වෙනවා. ‘ඇඟ මස් පිඩු තිබෙන සුදු ඇඳගත් වීඅයිපී අය බස්සන්න ඕනැ. පියාණන් යන දෙපස ඔවුන් තබන්න ඕනැ. එවිට තමයි ටීවී චැනල් පියාණන් දෙසට යොමු වන්නේ’ යැයි ඔහු මේ පුද්ගලයාට වට්ස්ඇප් මඟින් දැනුම් දී තිබෙනවා” යැයිද දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ දිලීප පීරිස් මහතා: මේ පුද්ලගයා කැලණිය විහාරස්ථානයට අනවසරයෙන් ඇතුළු වී, එහි සිටි බැතිමතුන් ඉලක්ක කර දේශනා කර කිබෙනවා. බොඩිගාඩ්ලා 10ක් ආරක්ෂාවට ගෙනැවිත් තිබෙනවා. ඒ අය ටීවී චැනල්වලට ඉලක්ක කිරීම සඳහා පූර්ව සැලසුම් සැකකරු සමඟ තවත් පුද්ගලයකු සැලසුම් කර තිබෙනවා. මොහු නියැළී තිබෙන්නේ රංගනයක. බොඩිගාඩ්ලාගේ මුහුණ නොපෙනෙන්න මාස්ක් පලඳින ලෙස උපදෙස් දී තිබෙනවා.

මහේස්ත්‍රාත්: ඔහු මානසික රෝගියකු බවට වාර්තාවේ සඳහන්. ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි. මේ වන විටත් ප්‍රතිකාර ආරම්භ කර ඇති බව දන්වා තිබෙනවා.

දිලීප පීරිස් මහතා: එදා විත්ති කූඩුවේ හැසුරුණු ආකාරයට පටහැනි ආකාරයෙන් අධිකරණයෙන් පිටතට ගිහිනුත් හැසිරුණා. මාස්ක් එක ගලවා මාධ්‍යවේදීන්ගෙන් ‘දැන් සතුටුද?’ කියා විමසුවා. ‘තමුන්ලා තමයි හිරේ ගියේ’ යැයි කිවුවා.

මහේස්ත්‍රාත්: එය තමයි රෝගයේ ස්වභාවය.

දිලීප පීරිස් මහතා: ප්‍රතිකාරවලින් පසු ඇප සම්බන්ධයෙන් විනිශ්චයක් දෙන්න. ඊට පෙර ඇප සලකා බැලීමට විරුද්ධ බව සටහන් කරනවා.

ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා: ප්‍රතිකාර දීමට බන්ධනාගාරගත කිරීම අවශ්‍ය නැහැ. අපරාධ නීතිය යටතේ ඇප දීමට නොහැකි වරදක් සිදු කර නැහැ. මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට බන්ධනාගාරගත කළ යුතුම නැහැ. දැඩි ඇප කොන්දේසි යටතේ මුදාහරින්න. ඇප කොන්දේසි කඩ කළොත් නැවත බන්ධනාගාරගත කරන්න. අධිකරණයට ඇප දීමේ විශාල අභිමතයක් තිබෙනවා. ප්‍රචාරණය නැවැත්විය හැකියි. රංගනය නැවැත්විය හැකියි.

මහේස්ත්‍රාත්: ඒවා කරන්න පුළුවන් පියවි සිහියෙන් ඉන්න කෙනකුට.

කාලිංග ඉන්දතිස්ස මහතා: නීති දමා ඇප දිය හැකියි. ඒවා කඩ කරන්නේ නම් ඇප අවංගු කළ හැකියි.

මහේස්ත්‍රාත්: හෝද හෝද මඩේ දානවට වඩා ප්‍රතිකාර දුන්නම හොඳයි නේද?

කාලිංග ඉන්දතිස්ස මහතා:

ඇපකරුවන්ට දැනුම් දිය හැකියි නේද? කොන්දේසි කඩ කළ හොත් අධිකරණ බලයට යටත් විය යුතුයි.

දිලීප පීරිස් මහතා: සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර මානසික වෛද්‍ය වාර්තාවක් කැඳෙවුවේ සාධාරණ කාලයක් වන දින 7න්. කෙටි දිනකින් ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස පෞද්ගලිකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මා දැනුම් දුන්නා. ඔහුට කිසිදු ඥාතියෙක් නැහැ. ඔහුට සිටින්නේ රහතුන්, අගසව්වන් සහ අනුගාමිකයන් විතරයි. ඇප දුන්නොත් බෞද්ධ සමාජය තුළ විශාල කැලඹීමක් ඇති විය හැකියි. මට ඔහු සිර කරන්න අවශ්‍ය නැහැ. එහෙත් මානසික ප්‍රතිකාර සඳහා නිර්දේශ කර තිබෙනවා. ආරක්ෂකයන් 10ක් තබාගෙන ඇත්තේ ප්‍රහාර එල්ල වේවි කියා බියෙන්. ඇප දීම සුදුසු නැහැ. ඊට විරුද්ධයි.

මහේස්ත්‍රාත්: පෙර දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශ කිරීම හේතුවෙන් සමාජයේ ඇති වූ තත්ත්වයක් හේතුවෙන්. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ පරිගණක අපරාධ පනත සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ගොනු කර තිබෙනවා. සැකකරු පරීක්ෂා කර බැලීමෙන් පසු ඔහුට ප්‍රතිකාර අවශ්‍ය බව දන්වා තිබෙනවා. සැකකරු තවදුරටත් පරීක්ෂා කිරීමට තොරතුරු ප්‍රමාණවත් නැති බැවින් තොරතුරු ඉල්ලා තිබෙනවා. කොන්දේසි සහිතව හෝ මුදාහැරියොත් මෙවැනි ආකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ නැවත කළ හැකියි. සමාජයට නැවත මුදාහැරීමෙන් ප්‍රතිකාර ගැනීමට අවස්ථාව නැති වේවි. සමාජයත් ඉන් කැලඹීමට පත් වේවි.

එහිදී ඇප දීමට සුදුසු ඇපකාරයකු සිටීදැයි මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේය. පියා සිටින බව දැනුම් දුන් විට පියා ඉදිරියට කැඳවා ඔහු රැක බලාගැනීමට හැකිදැයි වීමසීය.

මහේස්ත්‍රාත්: පියාගේ වයස කීයද?

සැකකරුගේ පියා: 78යි.

මහේස්ත්‍රාත්: පුතා ඔබ බැලීමට පැමිණියාද?

සැකකරුගේ පියා: මම ඔහු බැලීමට ගුවන්තොටුපොළට ගියා.

“සැකකරුට ප්‍රතිකාර සඳහා සහාය වීමට තරම් පියාට හැකියාවක් නැහැ. ඔහු වයෝවෘද්ධයි” යැයි කී මහේස්ත්‍රාත්වරයා සැකකරුට ප්‍රතිකාර දීමට නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද, සැකකරුට අදාළ වාර්තා කඩිනමින් යොමු කරන ලෙසද නියෝග කළේය.


Top Stories
wedivistara

මේක විකාර දේශපාලනයක් -දිලිත්

wedivistara

පේදුරුතුඩුවේ සිට පානම දක්වා සංචාරක කලාපයක් කරනවා - රනිල්

wedivistara

රනිල් වෙනුවෙන් මහා සංඝරත්නය මහින්දගෙන් කළ ඉල්ලීම

wedivistara

අනුර VAT අයින් කරන්න සුදානම්

wedivistara

සියලු ජනතාව රැකබලාගන්නවා - සජිත්

wedivistara

අභියෝගවලට ආදරේ නාමල්

Trending
wedivistara

තවමත් ලංකාව අර්බුදයේයි.. අමාරුවෙන් ලැබූ ජයග්‍රහණ රැකගැනීම වැදගත්… - IMF මාධ්‍ය හමුවක

wedivistara

සියළුම වාහන ආනයනයට අවසර ලැබේ..

wedivistara

IMF ගමන වැටුනොත් රට ලොකුම අමාරුවක වැටෙනවා.. මෙහෙම හරි දුවන්නේ IMF නිසයි..

wedivistara

මිල වැඩි කර පෝලිම් නැති කර වැඩක් නෑ.. මට දුන්නොත් මං ආර්ථිකේ ටොප් එකට ගේනවා..

wedivistara

අවිගත් කැරැල්ලට සම්බන්ධයක් නෑලු නම අවභාවිතා කරනවට නඩු දැමිය යුතුයි -ජනපති රනිල්-

wedivistara

නිදහස් සෞඛ්‍යයේ ස්වර්ණමය යුගය 21න් පසු බිහිකරනවා - සජිත්


NEWS ALERT