Local

ධාවනයෙන් ඉවත් කර තිබූ කෝටි 100කට වඩා වටිනා ලංගම බස් රථ – කෝටියකින් පිළිසකර කර යළි ධාවනයට එක් කරයි

Thursday, 01 February 2024 - 9:57 pm

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සංචාරක ප්‍රවාහන සේවයටය අයත් භාවිතයෙන් ඉවත් කර තිබූ අධිසුඛෝපභෝගී බස් රථ 17ක් පිළිසකර කර නැවත ධාවනයට එක් කිරීම ප්‍රවාහන මහමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අධිසුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් රත්මලාන පරිශ්‍රයේ දී පිළිසකර කෙරුණු මෙම බස් රථ අලුත්වැඩියාවන් සඳහා වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ 100කට වඩා අඩු මුදලක් වීම විශේෂත්වය වන අතර එම එක් බස් රථයක් අධිවේගී මාර්ග තුළ ධාවනය කිරීම තුළින් දිනකට රුපියල් ලක්ෂයකට අධික ආදායමක් උපයා ගත හැකි වේ.

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉංජිනේරු කුශාන් වෑගොඩපොළ මහතා මෙහි අධීක්ෂණ නිලධාරී ලෙස පත් කර මෙම බස් රථ පිළිසකර කිරීම පිළිබඳ වගකීම පවරන ලදී.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසය වන විට මිලියන 19ක් වූ ආයතනයේ ආදායම මෙම ජනවාරි මාසය වන විට මිලියන 42 දක්වා වර්ධනය වී ඇත.

මෙහිදී අදහස් දැක් වූ ඇමැතිවරයා

අද දිනය ශ්‍රී ලංකාවේ කළමනාකරණ ක්ෂේත්‍රයට නව ආදර්ශයක් සහ අලුත් අගයක් එකතු කරන දිනයක්. කලක් තිස්සේ පැවති අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය තුළ දැවැන්ත කඩාවැටීමක් සිදු වී පැවතුණා. මේ තත්ත්වය මත ලංකා ගමනාගමන මණ්ඩලය වෙත මා නව සභාපතිවරයකු පත් කරනු ලැබුවේ වංචාව දූෂණය, අක්‍රමිකතාව පිටුදැක ඵලදායී, කාර්යක්ෂම ලාභ ලබන ආයතනයක්‌ බවට පත් කිරීමේ වගකීම සමඟයි. 2025 වසරේ දී නිසි ආකාරයෙන් මහජන සේවය සපයන ආයතනයක් බවට ලංගම පත් කිරීමේ ඉලක්කය ලබා දී තිබෙනවා.

මීට වසරකට පෙර මෙම ස්ථානයට අප පැමිණෙන විට පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වෙනුවෙන් ගෙන්වන ලද ඉතාමත් වටිනාකමින් ඉහළ අධිසුඛෝපභෝගී මෙම බස් රථ කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි පරිදි ගාල්කර පැවතුණා. අමතර කොටස්, එන්ජින් ආදී යාන්ත්‍රික කොටස් හිඟය, විදේශ විනිමය හිඟය ආදී කරුණු සලකා බලමින් මෙම බස් රථ පිළිසකර කිරීම සඳහා දේශීය හා විදේශීය ඉංජිනේරු ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල වෘත්තිකයකු වන කුෂාන් වෑගොඩපොළ මහතා වෙත එම වගකීම පවරනු ලැබුවා. පසුගිය වසරේ චීනයේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේ මෙම බස් රථ නිෂ්පාදන සමාගම සමඟ සාකච්ඡා කර බස් රථවලට අවශ්‍ය අමතර කොටස් අතරමැදියන්ගෙන් තොරව ඍජුවම සහනදායී මිලකට ලබා ගැනීම සඳහා සාකච්ඡාවක නිරත වුණා.

එලෙස ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ සාර්ථකත්වයට පත්කරමින් මේ වන විට අධිවේගී මාර්ගයේ ධාවනය කළ හැකි මට්ටමට බස්රථ 17ක් පිළිසකර කිරීමට හැකියාව ලැබීම සියලු දෙනාගේම සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ඒ තුළින් කෝටි සියයකට වඩා වටිනාකමින් යුතු බස් රථ ප්‍රමාණයක් රුපියල් කෝටියක පමණ වියදමකින් ධාවනයට එක් කිරීමට ලැබීම ලංකා ගමනාගමන මණ්ඩල ඉතිහාසයේ අතිශය වැදගත් කඩඉමක් බවට පත් වනවා.

වර්තමානයේ මෙම අධිසුඛෝපභෝගී බස් රථයක වෙ‍ෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 600කට වඩා අධික වනවා. එවැනි ඉහළ වටිනාමකමකින් යුතු මෙම බස් රථ රුපියල් කෝටියක පමණ අවම පිරිවැයකින් අලුත්වැඩියා කිරීමට දායක වූ සියලු දෙනාට විෂය භාර ඇමැතිවරයා ලෙස මාගේ ගෞරවය පිරිනමනවා. තවත් නොබෝ දිනකින් ලංගම සේවා ව්‍යවස්ථාව අවසන් කිරීමෙන් අනතුරුව පවත්වන සමුළුවේ දී මීට දායක වූ සියලු දෙනාටම විශේෂ ඇගැයීමක්‌ සිදු කිරීමට ද අප පියවර ගන්නවා.

අවංක කැපවීමකින් කටයුතු කරන්නේ නම් වැටුණු රට ගොඩගැනීම සඳහා මෙලෙස ඉවත දමා ඇති රාජ්‍ය අංශය සතු වත්කම් රාශියක් පිළිසකර කිරීමට අවශ්‍ය ශක්තිය සහ හැකියාව සහිත වෘත්තිකයන්, කාර්මිකයන් අපේ රට තුළ සිටිනවා. ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් සහ නිවැරදි මඟපෙන්වීමක් සිදු කිරීම තුළින් අම්බලන්ව පවතින ඉතිරි බස් රථ ප්‍රමාණය ද මාස කිහිපයක් ඇතුළත පිළිසකර කර ධාවන තත්ත්වයට පත් කළ හැකි බව මා විශ්වාස කරනවා. ඒ තුළින් අධිවේගී මාර්ග තුළ ලංගමට ධාවනය කළ හැකි මුළු බස් රථ ප්‍රමාණයම ධාවනය යෙදවීම තුළින් මේ වසර පුරාම ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකියාව ලැබෙනු ඇති. ඒ සඳහා අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතන මඟින් ලැබෙන දායකත්වය ද විශේෂයෙන් අගය කළ යුතු වනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක, අධිසුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයේ අධීක්ෂණ නිලධාරී ඉංජිනේරු කුෂාන් වෑගොඩපොළ, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහත්වරුන්, නිලධාරීන්, ලංගම කාර්ය මණ්ඩල සාමාජිකයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

සජිත්ට සමගි ජන බලවේගයේ ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව දෙන්නේ නෑ - සේනක ද සිල්වා

wedivistara

රට වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක එකතු වෙන්නත් කැමතියි, වෙන් වෙන්නත් කැමතියි - බැසිල්

wedivistara

BMW රථ 1728 ක් ආනයනයේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ​ව නව විමර්ශනයක් කිරීම​ට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනාධිකරණයෙන් නියෝ​ග

wedivistara

සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා ගැන CID යට පැමිණිල්ලක්

wedivistara

කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

කෙසෙල් කෑවොත් බර අඩු වෙයි – ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළිවෙයි

wedivistara

සමහරු මට බනිනවා මං කරන්නේ බෙදන එකලු - සජිත් ප්‍රේමදාස

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT