අසාත්මිකතාවයක් යනු අපගේ සිරුරට ආගන්තුක යමක් එක්වූ විට ඊට එරෙහිව සිරුරේ ප්‍රතිශක්ති පද්ධතිය ක්‍රියාත්මක වීමයි. අසාත්මිකතාවය ලෝකයේ දිනෙන් දින ඉහළ යමින් පවතින රෝගී තත්ත්වයකි. අසාත්මිකතා හඳුනා ගැනීම හා ඊට ප්‍රතිකාර කිරීම මැනවින් විමසා බලා සිදු කළ යුතු බැරෑරුම් කටයුත්තකි. මේ සම්බන්ධයෙන් සහ ලෝක ආහාර අසාත්මිකතාව පිළිබඳව දැනුම්වත්වීමේ සතිය නිමිත්තෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය නදීෂා බදනසිංහ සමඟ සිදු කළ සාකච්ජාවකි මේ.
අසාත්මිකතාවයක් යනු කුමක්ද ?
අසාත්මිකතාවක් කියන්නේ ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අනවශ්‍ය ලෙස ක්‍රියාකාරීවීම නිසා ඇති වන තත්ත්වයක්. සාමාන්‍යයෙන් ප්‍රතිශක්තියකරණ පද්ධතිය මඟින් සිදුවන්නේ ශරීරයට හානිකර දේවල් එනම්, විෂබීජ වැනි දේවලට එරෙහිව ක්‍රියා කිරීමයි. නමුත් අසාත්මිකතා සහිත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශරීරයට හානිකර නොවන දේවල්වලට එරෙහිව ක්‍රියා කරනු ලබනවා. ආහාර, ඖෂධ, කෘමී සතුන්, පරාග වැනි අපේ ශරීරයට හානිදායක නොවන දේවල් ඇතුළු වුණාම අසාත්මිකතා තිබෙන අයගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් ඒ ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියක් ඇති කරනවා. මෙය අසාත්මිකතාවයක් ලෙස හඳුන්වනු ලබනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සාමාන්‍ය ස්වභාවය වන්නේ එක් වරක් හානිදායක ලෙස හඳුනාගත් දෙයක් මතක තබාගෙන නැවත නැවත එයට නිරාවරණය වූ විට එයට විරුද්ධව ක්‍රියාත්මක වීමයි. එම නිසා අසාත්මිකතාවයක් තිබෙන අය එම ද්‍රව්‍යට නිරාවරණය වූ සෑම අවස්ථාවකදීම අසාත්මිකතාවයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබනවා.
ආහාර අසාත්මිකතාවයක් ඇති වන්නේ කොහොමද ?
ඇතැම් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් සමහර ආහාර වර්ගවල ඇති ප්‍රෝටීන ශරීරයට හානිකර දේවල් ලෙස හඳුනාගෙන එයට එරෙහිව IgE නම් ප්‍රතිදේහ සාදනු ලබනවා. මෙය සෑම පුද්ගලයකු තුළම සිදුවන්නේ නැහැ. එක් එක් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් ආහාර ප්‍රෝටීන හඳුනා ගන්නා ආකාරය මත ආහාර අසාත්මිකතාවයක් ඇතිවේද නැද්ද යන බව තීරණය වෙනවා. IgE ප්‍රතිදේහ සුදු රුධිරාණු මත ක්‍රියා කර එම සෛල මඟින් රුධිරයට මුදා හරින රසායනික ද්‍රව්‍ය (Histamin) නිසා ආහාර අසාත්මිකතාවයක් ඇති වෙනවා. යම් ආහාරයකට අසාත්මිකතාවයක් දක්වන පුද්ගලයෙක් ඒ ආහාරයේ කුඩා ප්‍රමාණයක් ආහාරයට ගත්ත ද අසාත්මිකතාවය ඇති වෙනවා.
ආහාර අසාත්මිකතා සඳහා හේතුවන වෙනත් යන්ත්‍රණ තිබෙනවාද ?
ආහාර අසාත්මිකතා ඇති සමහර පුද්ගලයන් තුළ යම් ආහාරයක් සඳහා අසාත්මිකතාවයක් ඇති වූ විට එම ආහාරයේ ඇති ප්‍රෝටීනවලට සමාන ප්‍රෝටීන ඇති වෙනත් ආහාර සඳහා ද අසාත්මිකතාවක් ඇති වෙන්න පුළුවන්. ඒවා Cross – allergy නමින් හඳුන්වනවා. මෙයට උදාහරණ වශයෙන් හරක් මස්වලට අසාත්මිකතාවයක් දක්වන කෙනෙක් ඌරු මස්වලට අසාත්මිකතාවයක් දක්වන්න පුළුවන්. එයට හේතුව මෙම මස් වර්ග දෙකේ සමාන ප්‍රෝටීන තිබිය හැකි වීමයි. නමුත් කිසිම සමානකමක් නැති විවිධ ආහාර වර්ගවලට එක් පුද්ගලයෙකුට අසාත්මිකතාවය ඇති ඇති විය නොහැකිය. එයට හේතුව වන්නේ එම ද්‍රව්‍යවල තිබෙන ප්‍රෝටීන සහ අනෙකුත් සංඝටක වෙනස් වීමයි. සාමාන්‍යයෙන් දක්නට ලැබෙන අසාත්මිකතාවලින් වෙනස් වන Exercise induced අසාත්මිකතා නමින් හඳුන්වන තත්ත්වයක්ද පවතිනවා. යම් ආහාරයක් අරගෙන හයියෙන් ඇවිද්දොත්, ශාරීරික ව්‍යායාමවල නිරතවන අවස්ථාවල යෙදුණොත්, කෝච්චියට බස් එකට දුවනකොට වගේ අවස්ථාවල Exercise induced අසාත්මිකතා තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ආහාර සමඟ ක්‍රියාශීලී තත්ත්වයක් ඇති වුණොත් පමණක් මෙම අසාත්මිකතාවය ඇති වන අතර ආහාර ගත් පමණින්ම මේ අසාත්මිකතා තත්ත්වය ඇති වෙන්නේ නැහැ.
මෙම ආහාර අසාත්මිකතා බහුලව දක්නට ලැබෙන්නේ කුමන ආහාර සඳහා ද? කවර පුද්ගල කණ්ඩායම් සඳහා ද ?
විවිධ රටවල ආහාර රටාව අනුව අසාත්මිකතා බහුලව ඇතිවන ආහාර වර්ග වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් බටහිර රටවල මස්, එළකිරි, බිත්තර, රටකජු, තිරිඟු, ඉස්සෝ, දැල්ලෝ සඳහා වූ අසාත්මිකතා බහුලයි. නමුත් ශ්‍රී ලංකාව තුළ ඉහත ආහාරවලට අමතරව දේශීයව පවතින මුරුංගා, සාරණ, කොස්, ජම්බූ, අන්නාසි, තල වැනි ආහාර සඳහා ද අසාත්මිකතා ඇතිවීම දැකගන්න පුළුවන්. එදිනෙදා කිසිදු ගැටලුවක් නැතිව ආහාරයට ගත්ත ආහාරයකට යම් දවසක අසාත්මිකතාවයක් ඇති වෙන්න පුළුවන්. ආහාර අසාත්මිකතාවය ඕනෑම වයසකදී ඇති විය හැකියි. උදාරණයක් වශයෙන් ළදරු අවධියේදී වයස අවුරුද්දකටත් වඩා අඩු කාලයකදී එළකිරි සඳහා වන අසාත්මිකතාව බහුලව දකින්න පුළුවන්. සමහර පුද්ගලයන්ට තමන්ගේ ශරීරයෙන්ම අසාත්මිකතාව ඇති වෙන්න පුළුවන්. එම පුද්ගලයන් Atopic ලෙස හඳුන්වනු ලබනවා. ඔවුන්ගේ ශරීරයේ අනවශ්‍ය ආකාරයට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වීම ඊට හේතුවයි. යම් කෙනෙකුට වසර ගණනාවක් පැවති අසාත්මිකතාවයක් කාලයක් ගත වුණාට පසුව ඉබේම නැති වී යනවා. ඒ සඳහා ගතවන කාලය අපිට නිශ්චිතවම කියන්න බැහැ.
ආහාර අසාත්මිකතාවයකදී ඇති වන රෝග ලක්ෂණ මොනවාද?
ආහාර අසාත්මිකතාවයකදී බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණ වන්නේ සම කැසීම, රතුවීම, සමෙහි පළු මතුවීම (කරප්පන්), මුහුණ, තොල් හා ඇස් ඉදිමීම, ඇතැම් විට හුස්ම ගැනීමේ අපහසුතාව, හුස්ම හිරවීම, දිව ඉදිමීම, පපුවේ තද ගතිය, බඩේ කැක්කුම, ක්ලාන්ත ගතිය, කරකැවිල්ල, නැවත නැවත වමනය වැනි රෝග ලක්ෂණ ද ඇති වෙන්න පුළුවන්. මෙම රෝග ලක්ෂණ දරුණු වීම හරහා ජීවිතයට පවා හානි වෙන්න පුළුවන්. මේ තත්ත්වය Anaphylaxis ලෙස හඳුන්වනු ලබනවා. Anaphylaxis නමින් හඳුන්වන භයානක රෝගී තත්ත්වය අපේ ශ්වසන පද්ධතියට සහ රුධිර සංසරණය පද්ධතියට බලපෑම් ඇති කරනවා. ඒ හරහා ශරීරයේ තිබෙන ශ්වසන නාල අවහිර කරනු ලබනවා. ඒ වගේම රුධිර සංසරණය පද්ධතියේ රුධිර පීඩනය ගොඩක් අඩු කරනවා. ඒ නිසා මොළයට ගමන් කරන රුධිර ප්‍රමාණය අඩු වෙලා ජීවිතය පවා නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අසාත්මිකතාවයක් තිබෙන ආහාරයක් ගෙන මිනිත්තු කීපයක් ඇතුළතදී රෝග ලක්ෂණ මතු වීමේ හැකියාව බහුලව දක්නට තිබෙනවා. එනමුත් කලාතුරකින් එය පැය හයක් දක්වා ප්‍රමාද වීමට ද ඉඩ තිබෙනවා. යම්කිසි ආහාරයකට අප තුළ අසාත්මිකතාවයක් ඇති වුණාම අප විසින් ඒ ආහාරය ගන්නා සෑම අවස්ථාවකම ප්‍රතිශක්තිකරණ ක්‍රියාත්මක වෙලා රෝග ලක්ෂණ ඇති කරනු ලබනවා.
කෑම අජීර්ණය (food intolerance) හා ආහාර විෂ වීම යනු ආහාර අසාත්මිකතාවයමද?
මේ රෝග තත්ත්වයන් ඇත්තටම එකිනෙකට වෙනස්. ආහාර අසාත්මිකතාවය කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් ඇති කරන රෝගී තත්ත්වයක්. ආහාර අජීර්ණය (food intolerance) ඇතිවන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන යම් වෙනස්කමක් නිසයි. මේ රෝගය සඳහා ප්‍රතිශක්තිකරණ කිසිදු අයුරින් සම්බන්ධ වන්නේ නැහැ. අසාත්මිකතාවයකදී රෝග ලක්ෂණ සමට සහ වෙනත් පද්ධතිවලටද බලපානු ලබනවා. යම් කෙනෙකු තුළ ආහාර ජීර්ණයට අවශ්‍ය එන්සයිම අඩු වීම නිසා ආහාර අජීර්ණය ඇති වෙනවා. ආහාර අජීර්ණයේදී බඩ පිපුම, බඩේ කැක්කුම, පාචන තත්ත්වය වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මෙම රෝග ලක්ෂණ ආහාර අසාත්මිකතාවය නිසා ඇතිවන රෝග ලක්ෂණ නෙවෙයි. ආහාරයකට යම් රසායනික ද්‍රව්‍යයක් නැත්නම් විෂබීජයක් එකතුවීම මඟින් ආහාර විෂ වීම ලෙස හඳුන්වනවා. ආහාර විෂ වීමේ රෝග ලක්ෂණ ඇති වන්නේ ද ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතවයි. මේ සඳහා ද ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්බන්ධ වන්නේ නැහැ.
ආහාර අසාත්මිකතා ඇති දැයි හඳුනා ගැනීමට සිදු කරන පරීක්ෂණ මොනවාද?
අසාත්මිකතාවක් බවට තහවුරු කර ගැනීමට පරීක්ෂණ කිහිපයක් තිබෙනවා. ඉන් එකක් තමයි Skin prick test කියන පරීක්ෂණය. කෙනෙක් යම් ආහාරයක් සඳහා අසාත්මිකතාවයක් දක්වනවා නම්, ඒ ආහාරයේ කුඩා කොටසක් ගෙන එම පුද්ගලයාගේ සමට ඇතුළු කර අසාත්මිකතාවයක් ඇති දැයි පරීක්ෂා කරනු ලබනවා. ඒ වගේම රුධිරයේ පවතින IgE මට්ටම පරීක්ෂා කිරීම හරහා ද යම් ආහාරයකට අසාත්මිකතාවයක් තිබෙනවාද යන්න පිළිබඳව සැක හැර දැන ගැනීමේ හැකියාව තිබෙනවා. මේ පරීක්ෂණවලින් පසුව ඔබට තවමත් සැකයක් තිබෙනවා නම්, අසාත්මිකතාවය තිබෙන ආහාරයේ සුළු ප්‍රමාණයක් අදාළ පුද්ගලයාට ලබා ගැනීමට සලස්වා ඔහුව පරීක්ෂාවට ලක් කිරීම කරනු ලබනවා. එය Graded oral challenge හඳුන්වනු ලබනවා.
ආහාර අසාත්මිකතා වළක්වා ගැනීමට කරනු ලබන ක්‍රියාමාර්ග හා ප්‍රතිකාර ක්‍රම මොනවාද?
අසාත්මිකතා ඇති ආහාර සහ එයට සමාන ආහාර හඳුනාගෙන එම ආහාර ගැනීමෙන් වැළකී සිටීම ආහාර අසාත්මිකතා ඇති වීම වැළැක්වීමේ ප්‍රධාන පියවර වෙනවා. අසාත්මිකතාවය තිබෙන පුද්ගලයෙකුගේ එම ආහාර වර්ග කුමක්ද සහ ආහාර අසාත්මිකතාවක් ඇති වූ අවස්ථාවකදී කුමක් කළ යුතුද යන්න එම පුද්ගලයාගේ සමීපතමයන් දැනුවත් විය යුතුයි. කුඩා දරුවෙකුට මෙවැනි ආහාර අසාත්මිකතාවයක් තිබෙනවා නම්, පාසලේ සිටින ගුරුවරුන් දැනුවත් කිරීම ඉතා වැදගත්. පාසලේ දරුවන් කෑම හුවමාරු කර ගන්නා නිසා යම් දරුවෙකු යම් ආහාරයකට අසාත්මිකතාවයක් දක්වනවා නම්, ඒ පිළිබඳව ගුරුවරුන් දැනුම්වත් කර තිබීම වැදගත් වෙනවා. ඒ වගේම සාදයකට, හෝටලයකට ගිහින් නොදන්නා ආහාර ගැනීමේදී මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. යම් ආකාරයක සැකයක් තිබෙනවා නම්, ඒ ආහාරය ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. ඒ වගේම ආහාර මිලදී ගැනීමට පෙර එහි ඇති අඩංගු ද්‍රව්‍ය සහිත ලේබලය පරීක්ෂා කිරීමට ද පුරුදු වීම ඉතා වැදගත්.
අසාත්මිකතාවයේ ස්වභාවය අනුව කරනු ලබන ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙනවා. මූලික වශයෙන් වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධ හැකි ඉක්මණින් ලබා ගැනීම වැදගත් වෙනවා. නමුත් දරුණු තත්වයකදී හදිසි ප්‍රතිකාර ලබාදිය යුතුයි. ඒ නිසා හැකි ඉක්මණින් රෝගියාව ළඟම ඇති රෝහලක් වෙත ගෙන යාම සිදු කළ යුතුයි. මෙහිදී රෝගියාට ශ්වසන ආධාර මෙන්ම රුධිර පීඩනය නිසි ලෙස පවත්වා ගැනීම සඳහා එන්නත් මඟින් ඖෂධ ලබා දීම සිදුකළ යුතු වෙනවා. මින් පෙර අවස්ථාවකදී Anaphylaxis වැනි තත්ත්වයක් ඇතිවූ පුද්ගලයකු නම්, ඔහුට තමා විසින්ම එන්නත් කරගත හැකි ඖෂධයක් (Adrenaline auto injectable) වෛද්‍යවරයකු විසින් නිර්දේශ කරනවා. මෙම එන්නත ලබා දිය යුත්තේ කකුලේ කලවා ප්‍රදේශයේ මස්පිඬුවලටයි. මෙම එන්නත ලබාදෙන ආකාරය පිළිබඳව ද තමාගේ සමීපතමයන් දැනුම්වත් කිරීම වැදගත් කාරණයක්. දරුණු ආහාර අසාත්මිකතා රෝග ලක්ෂණ ඇති වූ විට වහාම මෙම ඖෂධය වෛද්‍යවරයා නිර්දේශ කළ ආකාරයටම රෝහලට පැමිණීමට පෙර ලබා ගැනීම වැදගත් වෙනවා.
ආහාර අසාත්මිකතා වළක්වා ගැනීම පිළිබඳව ජනතාවට ලබාදිය හැකි පණිවිඩය කුමක්ද?
යම් ආහාරයක් සඳහා අසාත්මිකතාවක් ඇති බවට සැක කරන්නේ නම් වෛද්‍යවරයකු මාර්ගයෙන් එය තහවුරු කිරීමේ පරික්ෂාවක් සඳහා යොමුවීම වැදගත් වෙනවා. එසේම අසාත්මිකතා ඇති බවට හඳුනාගත් ආහාර හා එයට සමාන ආහාර අනුභවයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම ද වැදගත් කාරණයක්. ආහාර අසාත්මිකතාවකදී ජීවිත අවදානමක් සහිත තත්ත්වයකට පත්විය හැකි බැවින් වෛද්‍යවරයා ලබාදෙන උපදෙස් අනුව ක්‍රියා කිරීම වැදගත් වෙනවා. මීට අමතරව එවැනි අසාත්මිකතා සහිත පුද්ගලයන් සෑමවිටම වෛද්‍යවරයා නිර්දේශ කළ ඖෂධ තමා ළඟ තබා ගත යුතුයි.