Local

සුරක්ෂිත ධීවර රැකියාවකට ‘ධීවර සුව සවිය’ ඇරඹේ

Tuesday, 30 January 2024 - 4:51 am

නිරෝගී ‌මෙන්ම සෞඛ්‍ය අතින් සුරක්ෂිත ධීවර කාර්මිකයකු ධීවර රැකියාවට යොමු කරන ‘ධීවර සුව සවිය’ වැඩපිළිවෙළේ සමාරම්භක වැඩසටහන පසුගිය 26 වැනිදා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා ‌සහ ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වැල්ලමංකර ධීවර වරාය පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ධීවර අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මේ වැඩසටහනෙන් ධීවර කාර්මිකයන් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර වෛද්‍ය සහතික දීම, ධීවරයන්ට ප්‍රථමාධාර පිළිබඳ පුහුණුවක් දී සහතිකයක් නිකුත් කිරීම, රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගත යුතු ධීවරයන්ට ප්‍රතිකාර දීම, සෑම ධීවර යාත්‍රාවකටම ප්‍රථමාධාර පෙට්ටියක් සවි කිරීම සහ මුහුදේ හදිසි අවස්ථාවකදී අවශ්‍ය විය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කළ ඖෂධ සහ උපකරණ අඩංගු ප්‍රථමාධාර කට්ටලයක් ස්ථාපිත කිරීම සිදු කෙරේ.

‘ධීවර සුව සවිය’ සමාරම්භය සනිටුහන් කරමින් පැවති උත්සවයේදී ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා මෙලෙස අදහස් දැක්වීය.

“මේ වසරේ ධීවර ජනතාවට කෙරෙන විශාලතම සේවය ධීවර සුව සවියයි. පසුගිය කාලයේ මහ මුහුදේ ධීවර කර්මාන්තයේ නිරත වූ ධීවරයන් මුහුණ දුන් ප්‍රධානතම ගැටලුවක් වූයේ ධීවරයන් හදිසියේ රෝගාතුර වූ පසු ඔවුන්ට ප්‍රතිකාර දෙන්නේ කෙසේද යන්නයි. එමෙන්ම පසුගිය කාලයේ එලෙස ධීවර යාත්‍රා තුළ රෝගී වූ ධීවරයන් අතරින් බොහෝ පිරිසක් මහ මුහුදේම මිය ගියහ. ඇතැම් රෝගාතුර වූ ධීවරයන්ට ප්‍රතිකාර දීමට රැකියාව සිදු කළ ප්‍රදේශයට ආසන්නයේ පිහිටි විදේශ රටවල සහාය ගැනීමට ද සිදු වුණා. එම ධීවරයන් කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව මැදිහත් වුණා. ඒ සඳහා අති විශාල මුදලක් වැය කිරීමටත් සිදු වුණා. මේ කරුණු සැලකිල්ලට ගෙන අදාළ ගැටලු සඳහා පිළියමක් ලෙස මේ සුභසාධන වැඩපිළිවෙළ ආරම්භ කළා. මින් ඉදිරියට ඉතා සාර්ථකව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ධීවර ප්‍රජාව නියෝජනය කරන ප්‍රදේශ 24ක රෝහල්වල සහාය ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

ධීවර ජනතාව වර්තමානයේ මුහුණ දෙන සියලු ගැටලු සඳහා විසඳුම් දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් සැලසුම් සකස් කර තිබෙනවා. ‘ධීවර සුව සවිය’ වැඩපිළිවෙළ ආරම්භ කළ ධීවර දෙපාර්තමේන්තුවටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයටත්, ශ්‍රී ලංකා නාවික හමුදාවටත් මගේ ස්තූතිය පිරිනමනවා.”

ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා

“ගෝලීය ආර්ථිකය කඩා වැටීමත් සමඟ ධීවරයන්ට දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. මේ සුවිශේෂී වැඩසටහන මේ කාලයේ ධීවරයන්ට අතිශය වැදගත්. දිවයින පුරා රෝහල් 24ක් දායක කරගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. බහුදින ධීවර යාත්‍රා හිමියන්ට ‘ධීවර සුව සවිය’ වැඩපිළිවෙළ අතිශය වැදගත්. මාස ගණනක් මහ මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන ධීවරයන්ට ප්‍රථමාධාර කට්ටල පරිත්‍යාග කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.”

ප්‍රථමාධාර පුහුණුව අවසන් කළ ධීවරයන්ට සහතිකපත් ද වෛද්‍ය පරීක්ෂණ අවසන් කළ ධීවරයන්ට වෛද්‍ය සහතික දීම ද ධීවර ඇමැතිවරයාගේ සහ රාජ්‍ය ඇමැතිවරයාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මේ අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් එන්. කේ. සෝමරත්න, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂිකා චම්පිකා, නාවික හමුදාවේ වෛද්‍ය බළකායේ වෛද්‍ය දිනේෂ් ආරියදේව, ධීවර වරාය නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සත්‍යනාදන් සහ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී අර්වින් ප්‍රනාන්දු මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT