Local

නාවික හමුදා-සීෂෙල්ස් ඒකාබද්ධ මෙහෙයුමෙන් ලො‍ෙරන්ස් පුතා-4 ධීවරයන් 6ත් සමඟ නිරුපද්‍රිතව බේරා ගනී

Tuesday, 30 January 2024 - 4:56 am

සෝමාලියානු කොල්ලකරුවෝ තුනක් අත්අඩංගුවට

දරුවන්ගේ කටහඬ ඇසීමත් සතුටක් – ඥාතීහූ පවසති

මංගල මුහුදු ගමන යමින් සිටියදී ඉකුත් 27 වැනිදා අරාබි මුහුදේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වූ ‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින මුහුදු යාත්‍රාව සහ එහි සිටි ධීවරයන් 6 දෙනා සීෂෙල්ස් හා ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මෙහෙයුමක් මඟින් නිරුපද්‍රිතව බේරා ගැනීමට ඊයේ (29) හැකියාව ලැබිණ.

මේ බව සීෂෙල්ස් නාවික හමුදාව විසින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත ඊයේ (29) නිල වශයෙන් දැනුම් දී තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා ‘දිනමිණ’ට පැවසුවේ මෙරට නාවික හමුදාව සමඟ සීෂෙල්ස් නාවික හමුදාව ඉතා සමීපව දීර්ඝ කාලයක සිට කටයුතු කරන බවත් එම හේතුවෙන් අප ධීවරයන් පැය කිහිපයක් තුළදී බේරාගත හැකිවූ බවය.

ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ එම ධීවර යාත්‍රාව සහ ධීවරයන් හයදෙනා නිරුපද්‍රිතව බේරාගත් බවට සීෂෙල්ස් තානාපති කාර්යාලය මඟින් තහවුරු කළ බවයි.

මෙම යාත්‍රාව නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, බහරේනයේ පිහිටි ත්‍රස්ත මර්දන කටයුතුවල නිරත ඒකාබද්ධ නාවික හමුදාවේ සහාය ඉල්ලූ බවත්, රටවල් 39කින් සැදුම්ලත් ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ සාමාජිකත්වය ශ්‍රී ලංකාව ද දරන අතර, එහි මූලස්ථානය පිහිටා ඇත්තේ බහරේනයේ බවත් නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙරට බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධ සියලුම තොරතුරු ගමන් මාර්ග ආදී සියල්ල ලබාදීමත් සමඟ වහා ක්‍රියාත්මක වී ඇති සීෂෙල්ස් නාවික හමුදාව මෙරට නාවික හමුදාව සමඟ සම්බන්ධතා පවත්වමින් මෙම විශේෂ මෙහෙයුම දියත් කළ බවද නාවික හමුදා ප්‍රකාශවරයා පැවසීය. එම විශේෂ මෙහෙයුමේදී මුහුදු කොල්ලකරුවන් තිදෙනෙක්ද සීෂෙල්ස් නාවික හමුදාව භාරයට ගෙන ඇති බවත් යාත්‍රාවේ සිටි ධීවරයින් 06දෙනා සහ යාත්‍රාව ද නිරුපද්‍රිතව බේරාගත් බව එරට නාවික හමුදාව තහවුරු කළ බවද නාවික හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම මෙහෙයුම සඳහා සිෂෙල්ස් හි හෙලිකොප්ටර් යානා දෙකක් සමඟ ටොපෑස් යන නාවික යාත්‍රාව යොදවමින් විශේෂ සෝදිසි මෙහෙයුම දියත් කර එම මෙහෙයුමේදී සැක කටයුතු නෞකාවක් දැඩි පරික්ෂාවට භාජනය කර එහි අවි ගත් මුහුදු මංකොල්ලකරුවන් සිටින බවට ද හඳුනා ගැනීමෙන් පසු විශේෂ මෙහෙයුමකින් පසු සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් තිදෙනෙකු සමඟ ශ්‍රී ලංකා ධීවරයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වී තිබේ. ඒ අනුව මුදා ගත් ධීවර යාත්‍රාව සීෂෙල්ස්හි වික්ටෝරියා අගනුවර වෙත ඊයේ (29) දහවල් රැගෙන ගොස් ඇති බවද එරට නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාවට දන්වා තිබුණි. දෙරටේ නාවික හමුදාවන්හි පවතින ශක්තිමත් සබඳතා හේතුවෙන් මෙරට විදේශ තානාපති කාර්යාලය සමඟ එක්වී ඉතා ඉක්මනින් එම ධීවරයන් හයදෙනා සහ යාත්‍රාව මෙරටට ගෙන්වාගත හැකි බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කරමින්…

අරාබි මුහුදේ මේ සිද්ධිය වුණේ. අපි බලාපොරොත්තු වුණේ මේ යාත්‍රාව සෝමාලියාවට ගෙනියයි කියලා. නමුත් ගිහින් තියෙන්නේ සීෂෙල්ස්වලට. ධීවර දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය, නාවික හමුදාව මේ අවට රටවල් දැනුවත් කළා. ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව සෝමාලියානු කොල්ලකරුවන් පැහැරගත් බවට. ඒ නිසා රටවල් අවදියෙන් සිටියා.

සීෂෙල්ස් මුහුදු තීරයට මේ කොල්ලකරුවන් එක්ක අදාළ යාත්‍රාව ඇතුළු වූ වහාම සීෂෙල්ස් වෙරළාරක්ෂක බළකාය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගත්තා. කැරලිකරුවන් තිදෙනෙක් ලොරෙන්සෝ පුතා යාත්‍රාවේ ඉඳලා තියෙනවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ අපේ ධීවරයන් 06දෙනා නිරුපද්‍රිතව බේරා ගත්තා. මේ බව සීෂෙල්ස් තානාපති කාර්යාලය තහවුරු කළා ධීවර දෙපාර්තමේන්තුවට. ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ පණිවුඩ හුවමාරු යන්ත්‍ර දැන් සක්‍රියයි. එම ධීවරයන් 06 දෙනා යාත්‍රාවේ අයිතිකරුට යාත්‍රාවේ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් කතා කරලා බේරාගත් බව දන්වා තිබෙනවා.

දික්ඕවිට ධීවර වරායෙන් පසුගිය 12 වනදා සිය මංගල ගමන පිටත්වූ Òලොරෙන්සෝ පුතා – 04Ó නම් බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 06 දෙනෙකු සමඟ අරාබි මුහුදේ දී ආයුධ සන්නද්ධ මුහුදු කොල්ලකරුවන් පිරිසක් 27 දින පැහැරගෙන ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණි. අඩි 50ක් දිග මෙම යාත්‍රාව පැහැර ගැනීම සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් සිදු කර ඇති බවට අනාවරණය කරගෙන තිබූ අතර, මෙරට මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 1160ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී එම පැහැරගැනීම සිදු කර තිබුණි.

ඒ අනුව අතුරුදන් යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බහරේනයේ පිහිටි රටවල් 40කින් සමන්විත ඒකාබද්ධ සමුද්‍රීය බළකායට දැනුම් දෙනු ලැබූහ. ඒ අනුව මොවුන් බේරා ගැනීමට හැකියාව ලැබුණු බව ද එම රජය මෙරටට දැනුම් දී තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ මඟපෙන්වීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ අධීක්ෂණය යටතේ ධීවර යාත්‍රාව මෙරටට ගෙන ඒමේ මෙහෙයුම් දියත් කර ඇති අතර, මේ වන විට එය සීෂෙල්ස්හි, වික්ටෝරියා වරාය වෙත ගෙන ගොස් තිබෙන බව සීෂෙල්ස් වෙරළාරක්ෂක බළකාය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

අපේ යාත්‍රාව සෝමාලියා මුහුදු කොල්ලකරුවන් අල්ලා ගත් බව කියලා ආරංචිය ආපු ගමන් මම ලොකු බයකින් හිටියේ අපේ හය දෙනාට මොනා හරි හානියක් කරයි කියලා. නමුත් මේ සිද්දියෙන් පස්සේ රජය,ධීවර දෙපාර්තුමේන්තුව, නාවික හමුදාව විදේශ කටයුතු අමාත්‍යංශය මේ සදහා විශාල කැපවිමක් කර තිබේනවා. ඒ ගැන මම සියලු දෙනාටම ස්තුතියි කරනවා යැයි බහුදින යාත්‍රා හිමිකරු වන ප්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා මහතා පැවසීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු යාත්‍රා හිමිකරු මෙසේ ද පවසන්නට විය මට යාත්‍රාවට කෝටි ගානක් ගියත් ඒ මුදල් මට කවදා හරි හොයා ගන්න පුළුවන්. හැබැයි මගේ මිනිස්සුන්ට මොනා හරි උනා නම් ඒ පාඩුව මට ජීවත් වෙනකම් දරා ගන්න බැහැ. නමුත් මේ තොරතුර දැනගත් මෙහොතේ ඉදලාම ධීවර දෙපාර්තුමෙන්තුව ලොකු කැපවිමක් කලා. ඒ සමගම නාවික හමුදාව නැත්නම් මේ කිසිවක් කර ගන්න බැරි වෙනවා මේ සියල්ලම වෙලා අපේ පිරිස සිෂේල්ස් රාජ්‍ය නාවික හා ගුවන් හමුදාව එක්ව කල මෙහෙයුමේන් බේරා ගත්තාට පසු අපේ අය තොඩුවාව රේඩියෝ මධ්‍යස්ථානයට කථා කලා මට පුදුම සතුටක් ඇති වුනේ ඒ අයගේ කටහඩ ඇසුවාම ආපු සතුට දරා ගන්න බැහැ යැයි පවසන්නට විය .ඒ සමගම අදහස් දැක්වු ධීවර කාර්මිකයකු වන සමිත් කුමාරගේ බිරිද වන ඉරේෂා මදුවන්ති මහත්මිය මෙසේ පවසන්නට විය.

‘‘මට පුදුම සතුටක් දැනෙන්නේ අපේ අය හොදින් ඉන්නවා කියලා දැන ගත්තාම. හරිම සතුටුයි අනේ මේ සදහා මැදිහත් වුන සේරටම ගොඩාක් ස්තුතියි කියලා මම මේ වෙලාවේ කියනවා යැයි ඔහු පවසන්නට වුවාය.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT