Local

ජනක රත්නායකගේ නඩුව නිරීක්ෂණයට නීතිඥ සංගමයත් එයි

Friday, 19 April 2024 - 8:02 am

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝ පට හෝ හඬපට ප්‍රචාරය කිරීම හෝ බෙදාහැරීම තහනම් කරමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ඇතුළු වගඋත්තරකරුවන් 8 දෙනකුට එරෙහි නඩුව තම සංගමයේ නිරීක්ෂණයට නතු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත ඉදිරියේ (18) කරුණු ඉදිරිපත් කළේය. මේ නඩුකරය සමාජ මාධ්‍ය පනත යටතේ අධිකරණයක පැවරූ පළමු නඩුව වන බැවින් ජනතාවට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය කෙරෙහි එය බලපාන හෙයින් නඩුව නිරීක්ෂණයට තම සංගමය අධිකරණයේ පෙනීසිටින බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මේ නඩුවට අදාළව වගඋත්තරකරුවන්ට අධිකරණයෙන් නිකුත් කළ ආඥාව සම්බන්ධයෙන් වන ලේඛන මෙතෙක් තම පාර්ශ්වයට නිසි ලෙස ලැබී නැති බැවින් මූලික විරෝධතා ගොනු කිරීමට කාලය අවශ්‍ය බවද වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරු සඳහන් කළහ. අදාළ නඩුකරය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාග වන බැවින් ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ ඒ සඳහා ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස මෙහිදී අධිකරණය දැනුම් දුන්නේය.

මේ සිද්ධියට අදාළව ඉකුත් නඩු දිනයේදී කොන්දේසි සහිත ආඥාවක් නිකුත් වූයේ පෙත්සම්කාර ජනක රත්නායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරියක වූ මිරිස්වත්ත, පුවක්පිටිය පදිංචි (මේ වන විට තායිවානයේ වෙසෙන) පොල්වත්තේ ඉල්ලන්පෙරුම ආරච්චිගේ ගයත්‍රි බිම්බා, ඇයගේ සැමියා වන (තායිවානයේ පදිංචි) ජනක රාජපක්ෂ, පිළියන්දල පදිංචි ඕශල හේරත්, පාණදුර පදිංචි යසලාල් පෙරේරා, කැස්බෑව පදිංචි කල්ප ගයාන් කවීශ්වර ගුණරත්න, පාණදුර පදිංචි ජාමුණු කමන්ත තුෂාර, අමෙරිකාවේ සමාජ මාධ්‍ය ජාලා දෙකක් වන වට්ස්ඇප් එල්එල්සී හෙඩ්ක්වාටස් සහ ගූගල් එල්එල්සී යූටියුබ් චැනල වෙතය.

2024 අංක 09 දරන මාර්ගත ක්‍රමවල සුරක්ෂිතාව පිළිබඳ පනතේ 24 වැනි වගන්තිය යටතේ මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත නීතිඥ මිතුන් ඩයස්  මඟින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ කොළඹගේ මාවත, කිරුළපන, කොළඹ 5 ලිපිනයේ පදිංචි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක විසිනි.

මේ නඩුවේ පෙත්සම්කරුට අදාළ කිසිදු පෞද්ගලික තොරතුරක්, ඡායාරූපයක්, හඬපටයක් හෝ වීඩියෝ පටයක් හා වෙනත් පෞද්ගලික තොරතුරු සන්නිවේදනය කිරීමෙන්, සම්ප්‍රේෂණය කිරීමෙන්, බෙදාහැරීමෙන්, හුවමාරු කරගැනීමෙන්, ජනනය කිරීමෙන්, ප්‍රචාරය කිරීමෙන්, පළ කිරීමෙන් හා ඈඳීමෙන් වළකින ලෙස වගඋත්තරුවන්ට අදාළ කොන්දේසි සහිත ආඥාවෙන් නියෝග කර ඇත. නඩුවේ වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස, නීතිඥ හෆීල් ෆාරිස්, නීතිඥ චමින්ද අතුකෝරල මහත්වරු සහ පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ. සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය මැයි 2 දින තෙක් කල් තැබිණි.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT