Local

රට තුළ බෞද්ධ පුනරුදයක් ඇති කරන්න දිවංගත ඩී.බී. ජයතිලක ශක්තිමත් පදනමක් ඇති කළා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Tuesday, 09 January 2024 - 9:06 am

සියලු පුරවැසියන් දායක කර ගනිමින් සමාජ, සංස්කෘතික, ආගමික සහ අධ්‍යාපනික වශයෙන් රට තුළ ශක්තිමත් පදනමක් ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ දිවංගත ඩී.බී. ජයතිලක මැතිතුමා ගෙන ගිය අන්දමේ වැඩපිළිවෙළක් නැවත රටට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පෙරේදා (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 125 වැනි සංවත්සර උත්සවය අමතමිනි.

කොළඹ තරුණ බෞද්ධ සංගමය 1898 ජනවාරි 08 වැනි දින ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහි ආරම්භක සභාපතිවරයා ලෙස ඩී.බී. ජයතිලක මහතා පත් වූ අතර, මෙරට පැරණිතම වූත්, විශාලතම වූත් බෞද්ධ සංවිධානය ලෙස කොළඹ තරුණ බෞද්ධ සංගමය රට වෙනුවෙන් පුළුල් මෙහෙවරක් ඉටු කරමින් සිටියි.

‘ලංකාභිමානය – එක ශ්‍රී ලංකාවක කතිකාව’ යන තේමාව යටතේ මෙවර සංවත්සර උත්සවය සංවිධානය කැර තිබිණි.

125 වැනි සැමරුම නිමිත්තෙන් එළිදැක්වූ සමරු කලාපය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දසදෙ‍ෙනකුට ශිෂ්‍යත්ව පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙහිදී සිදු කෙරිණි.

අනතුරුව ජනාධිපතිවරයා සංගමයේ ප්‍රධානීන්, පාලක මණ්ඩල සාමාජිකයන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

වර්තමානය දෙස නොව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සියලු දෙනා එකට එක්ව ඉදිරියට යා යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කොළඹ තරුණ බෞද්ධ සංගමය ආරම්භ කර වසර 125ක් සම්පූර්ණ වී තිබෙනවා. මෙම සංගමය ලංකාවේ ඉතිහාසය නිර්මාණය කළ සංගමයක් බව කිව යුතුයි. එම සමයේදී බටහිර රටවල ක්‍රිස්තියානි තරුණ සමිති ඇති කළා. එවකට අප සිටියේ බෞද්ධ පුනරුදය සමඟයි. එදා අපේ රටේ බෞද්ධ පුනරුදය නඟා සිටුවීමට හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, ඕල්කට්තුමා වැනි අය නායකත්වය ගනු ලැබුවා. එවන් පසුබිමක අප තරුණ බෞද්ධ සංගමය ආරම්භ කරනු ලැබුවා.

මෙම සංගමයේ දැක්ම බටහිර රටවලට වඩා වෙනස්. බෞද්ධ අධ්‍යාපනයෙන් රට ඉදිරියට ගෙන යෑමට මෙම සංගමය මනා පිටිවහලක් වුණා. මෙහි නායකත්වය ගනු ලැබුවේ ඩී. බී. ජයතිලක මැතිතුමා. එම මැතිනියත් කැලණිය රජමහා විහාරය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළා.

තරුණ බෞද්ධ සංගමය අපේ නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වූ ප්‍රධාන බලවේගයක් ලෙස අප සලකනවා. මෙහි 125 වැනි සංවත්සරය සමරන අවස්ථාවේ මෙම සංගමයට උපකාරයක් කිරීමට මම සිතුවා. කොළඹ කොටුවේ පිහිටි රජයට අයත් ඉඩම තවත් වසර 99කට මේ සංගමයට ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම එම ඉඩම අවට ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 125 වැනි සංවත්සරයේ තේමාව වන්නේ ‘ එක ශ්‍රී ලංකාවක කතිකාව’ යන්නයි. අද රටට අවශ්‍ය වන්නේ ද මෙයයි. අද සියලු දෙනා පවසන්නේ එකම ශ්‍රී ලංකාවක් අවශ්‍ය බවයි.

යුද්ධයට සම්බන්ධ සියලු ප්‍රශ්නවලට 2025 වන විට විසඳුම් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. අවතැන්වූවන්ගේ මෙන්ම අතුරුදන්වූවන්ගේ ගැටලුවලට අදාළ දේශපාලන විසඳුම් ලබා දෙනවා.

එසේම නාගදීපය කේන්ද්‍ර කර ගත් ආගමික මධ්‍යස්ථානය තවත් පුළුල් කිරීමට වගේම සුවිශේෂී හින්දු දේවස්ථානයක් යාපනයේ ස්ථාපිත කිරීමට අප අපේක්ෂා කරනවා. අපි එකතු වෙලා ඉදිරියට යමු. අප මෙහිදී තරුණයන් සමඟ සාකච්ඡා කළ යුතුයි. ඔවුන්ගේ යෝජනා, සැලසුම් සහ අදහස් රට ගොඩනැඟීමට අවශ්‍යයි.

වර්තමානය දෙස නොව අනාගතය දෙස අප බැලිය යුතුයි. එහිදී ඩී. බී. ජයතිලක මැතිතුමා එදා ඇති කළ ආකාරයේ සැලස්මක් නැවත අවශ්‍යයි. ඒ වගේම සියලු දෙනා එකට එකතුවී රටක් ලෙස ඉදිරියට යා හැකි සැලැස්මක් අවශ්‍යයි.

අතීතයේ සිටම ශ්‍රී ලංකාව කෘෂිකර්මය කේන්ද්‍ර කර ගත් රටක්. සුරක්ෂිත කෘෂිකර්මාන්තයක් තුළින් අපේ ආහාර භෝග අපනයනය කළ හැකියි. මෙවැනි විශාල වැඩ කොටසක් අපට ඉදිරියට කිරීමට තිබෙනවා.

ඒ වගේම දූෂණ විරෝධී කොමිසම සම්මත කර තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාවෙන් ඊට අදාළ කමිටුව පත් කර තිබෙනවා. එතැනින් නතර නොවී අපේ මූල්‍ය රෙගුලාසි වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවට අනුව මූල්‍ය පාලනය පිළිබඳ වාර්තාවක් දී තිබෙනවා. ටෙන්ඩර් කැඳවන්නේ, මුදල් වියදම් කරන්නේ කෙසේද යන්න ඇතුළු සියල්ලක්ම එහි ඇතුළත් කර තිබෙනවා. ඒක ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ වෙනම කොමිසමක් පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී සිය වගකීම නිසි පරිදි ඉටු කිරීමට රජයේ මූල්‍ය භාර නිලධාරීනුත් කටයුතු කළ යුතුයි.

ඇත්කඳ රජමහා විහාරාධිපති, මහාවිහාර වංශික ශෂ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී

ධම්මදස්සී නාහිමි

අපේ ජනාධිපතිතුමා හොඳට ඉතිහාසය පිළිබඳව පුරාවෘත්ත පිළිබඳව නිතර පොත් පරිහරණය කරමින් ඒ වගේම බොහෝ කරුණු ඉගෙන ගෙන කටයුතු කරනවා. ඒ පිළිබඳව අමුතුවෙන් සිහිපත් කර දෙන්නත් ඕනේ නැහැ. තම තමන්ට නියමිත කාර්යය අප හඳුනා ගන්න ඕනේ. මහා සංඝරත්නය තමන්ට නියමිත කාර්යය හඳුනාගත යුතුයි. තමන්ගෙ සීමාව, මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවය ආරක්ෂා කර ගන්න ජාතියේ මුර දේවතාවුන් වශයෙන් කටයුතු කරන්න උන්වහන්සේලාට වගකීමක් තිබෙනවා. එයින් මහා සංඝරත්නයට ඉවත් වෙන්න බැහැ. ඉන් අදහස් කරන්නෙ නැහැ අනෙකුත් ජාතීන් ඉවත්විය යුතු බව. නිදහස් සටනේදී අන්‍ය ආගමිකයින් ද පුරෝගාමීව කටයුතු කළා. ඒ එක රටක් ලෙස ඉදිරියට යන්න.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ වත්මන් සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා –

කොළඹ තරුණ බෞද්ධ සංගමයට වසර 125ක් සම්පූර්ණ වන අවස්ථාවේදී මෙම රැස්වීම ඇමතීමට අවස්ථාව ලැබීම පිළිබඳ මම ආඩම්බර වෙනවා. කොළඹ තරුණ බෞද්ධ සංගමය ලෝකයේ දැනට ක්‍රියාත්මක වන ප්‍රධානතම සහ පැරැණිතම සංගමයයි. 1898 වසරේදී ශ්‍රීමත් ඩී. බී. ජයතිලක බෞද්ධ තරුණයාගේත්, සී. එස්. දිසානායක යන කතෝලික තරුණයාගේත් ප්‍රධානත්වයෙන් ආරම්භ වූ කොළඹ තරුණ බෞද්ධ සංගමය රටේ ජාතික සහ ආගමික සමගියට මෙන්ම ජාතීන් එකමුතු කිරීමට අතිවිශාල සේවාවක් ඉටු කළා.

ඒ වගේම ජාතික දේශපාලනයේ ප්‍රබලයන් වශයෙන් ඉදිරියට පැමිණි ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, ඩී. එස්. සේනානායක, ශ්‍රීමත් අර්නස්ට් සිල්වා වැනි තරුණ නායකයන් කොළඹ තරුණ බෞද්ධ සෙවණේ හැදී වැඩුණා. කොළඹ තරුණ බෞද්ධ සංගමය හරහා 1919 – 1920 කාලයේදී ජාතික සභාව ආරම්භ වුණා. මේ ජාතික සභාව ආරම්භ වන විට එවකට සිටි ද්‍රවිඩ නායකයන් වන පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුනාචලම්, ඉස්ලාම් නායකයන් වන ශ්‍රීමත් රසීක් ෆරීඩ්, ටී. බී. ජයා වැනි අය කොළඹ තරුණ බෞද්ධ සංගමය හරහා ජාතික දේශපාලනයට සම්බන්ධ වුණා.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන මහනායක ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, ශාස්ත්‍රවේදී කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නා හිමි, ප්‍රමුඛ නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද හින්දු, කතෝලික, ඉස්ලාම් ආගමික නායකයන් ද හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු කථානායක කරු ජයසූරිය, රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පාලක මණ්ඩලයේ සභාපති අජිත් ද සොයිසා, එම සංගමයේ මහලේකම් ප්‍රසන්ත අබේකෝන් මහත්ම, මහත්මීන්ද විදෙස් තානාපතිවරු, විද්වතුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 


Top Stories
wedivistara

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්

wedivistara

එදා අරලියගහ මන්දිරයට ආපු කිසි කෙනෙක්ගෙ අතේ ආයුධයක් තිබුනෙ නෑ - මහින්ද කහඳගම

wedivistara

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

wedivistara

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී 20 වනදා දක්වා රිමාන්ඩ්

wedivistara

අනුර කුමාර දිසානායක හා UN නේවාසික සම්බන්ධීකාරක අතර හමුවක්

Trending
wedivistara

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

wedivistara

එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි

wedivistara

විදුලි පේනුවක් අලුත්වැඩියා කරමින් සිටි තිදරු පියා විදුලිසර වැදී මරුට

wedivistara

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර


NEWS ALERT