Local

වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ 10 දක්වා රිමාන්ඩ්

Saturday, 06 January 2024 - 1:52 pm

බාල ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර යන අය ලබන 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ නියෝග කළාය.

සැකකරු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාචික දේශනයට අනුව ඔහුට එරෙහිව ඉදිරිපත් කළ කරුණු පොදු දේපළ පනත යටතේ ගැනෙන බව බැලූ බැල්මට පෙනී යන බවත්, ඇප ප්‍රදානය කිරීමට සුවිශේෂ කරුණු ඉදිරිපත් නොකළ බවත් කියමින් මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළාය.

බාල එන්නත් සැපයූ අයිසොලෙට් බයෝෆාමා හිමිකරු සුගත් ජානක ප්‍රනාන්දු යන අය ගෙන්වූ එන්නත්වල තිබී ඇත්තේ පරීක්ෂා කිරීමටවත් නුසුදුසු තත්ත්වයක තිබූ බැක්ටීරියා ආසාදිත ද්‍රාවණයක් පමණක් බව සිදු කළ පරීක්ෂණ මඟින් තහවුරු වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙණෙවිය අධිකරණය හමුවේ කියා සිටියාය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙණෙවිය මෙසේ කරුණු දැක්වූවාය:

එය සංකීර්ණ තත්ත්වයක්. විශ්ලේෂණය කිරීමට පවා නොහැකි වී තිබෙනවා. ඒ අනුව රෝගීන් තුන්දෙනෙකුට ඖෂධ එන්නත් කර නිරීක්ෂණය කර තිබෙනවා. එහිදී රෝගීන් දෙදෙනකුට එන්නත ප්‍රතික්ෂේප කරමින් මාරාන්තික තත්ත්වයක් පෙන්නුම් කර තිබෙනවා. එහි බැක්ටීරියා ආසාදිතව තිබීම හේතුවෙන් එම රෝගීන් දෙදෙනාට මාරාන්තික තත්ත්වයක් ඇති වූ බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා. වෛද්‍ය සැපයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හත්වැනි සැකකරු ලෙස නම් කරනවා. හදිසි ප්‍රසම්පාදන කටයුතු කර ඇත්තේ මොහුයි. 2022.10.28 දින හයවැනි සැකකරුට ඔහුව දැනුවත් කරමින් හත්වැනි සැකකරු වන මොහු තෝරාගන්නා ලද පුද්ගලයන්ට ගැනුම් ඇණවුම් පිළිගැන්වීමේදී ක්‍රියා කළ යුතු උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. කුමන ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුද යන්න සහ තෝරාගත් සැපයුම්කරුවන්ට ලිපි නිකුත් කිරීමට අදාළව මේ උපදෙස් මාලාව නිකුත් කර තිබෙනවා. එය පදනම්ව ගැනුම් ඇමුණුම් නිකුත් කරන ලෙස ඔහු උපදෙස් දී තිබෙනවා. එන්නත් ලැබීමේදී ටෙන්ඩරයට අනුව තොගයක් ලෙස, කොටස් වශයෙන්ද යන්න සහ එලෙස ලැබෙන්නේ නම් කාලසටහනක් කුමනා ආකාරයටද යන්න, භාණ්ඩ ලැබීමේදී ඉන්වොයිස් සටහන් ලේඛන, ඖෂධ නිෂ්පාදන ආයතනය ලියාපදිංචිය නැති නම් ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතිකය ගැනීමේ වගකීම ඇත්තේ කාටද යනාදි උපදෙස් නිකුත් කර තිබෙනවා. ඖෂධ නියාමන සංස්ථාවේ හයවැනි සැකකරුට එහි වගකීම දී තිබෙන්නේ මොහුයි. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සම්පූර්ණ වගකීම හත්වැනි සැකකරු වන මොහුට සහ ඔහු යටතේ සිටි අනෙක් නිලධාරින්ට පැවරෙනවා. ප්‍රසම්පාදනයෙන් පසු ගැනුම් ඇණවුම් නිකුත් වීම පද්ධතියක් හරහා සිදු වනවා. ඇමණුම් ලැයිස්තුව, ඖෂධ වර්ගය කොපමණද, අවශ්‍ය කොන්දේසි මොනවාද යනාදි කරුණු ඇතුළත් වනවා. ටෙන්ඩරයේ ප්‍රමාණය කාලයට යටත්ව සැපයුම්කරුට සැපයීමේ වගකීම් මොවුන්ට පැවරෙනවා. හත්වැනි සැකකරු ටෙන්ඩර් පිටපතක් යවනවා. තොග පරීක්ෂා නොකර ඉක්මනින් ඇණවුම් ලැයිස්තුව නිකුත් කරන ලෙස තොග පාලන නිලධාරියා ලැබී තිබෙන සහ ලැබිය යුතු තොග තුන්වැනි සැකකරුට ඉදිරිපත් කරනවා.

එන්නත්වල ජාතික අවශ්‍යතාවට අනුව මාසික පරිභෝජනය 7,500ක් බවත් 2023 අවශ්‍යතාව 90,000ක් බවත් පස්වැනි සැකකරු මාස 2කට අවශ්‍ය ප්‍රමාණවත් තොග තිබෙන බවත් දන්වා තිබෙනවා. එවන් අවස්ථාවක තුන්වැනි සැකකරු ලැයිස්තුව හත්වැනි සැකකරුගේ උපදෙස් මත නිකුත් කරනවා. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන මේ මුදල ආධාරයක්; ප්‍රදානයක් නොවේ. වසර 2කට පසුව ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ අමෙරිකානු ඩොලර් බිලියනය අපේ රට ගෙවිය යුතුයි. ප්‍රසම්පාදන කමිටුව හදිසි ඖෂධ ගෙන්වීම සඳහා මේ මුදල් භාවිත කරන්නේ අතිරික්ත ගෙන්වීමකට. ඒ අනුවයි මේ ක්‍රියාවලිය සිදු වන්නේ. ඖෂධ නියාමන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රකාශයට අනුව මාත්‍රා 75,000ක් ලැබීමට නියමිතව තිබූ බව කියා තිබෙනවා.

2022 සැප්තැම්බර් සිට 2023 ඔක්තෝබර් දක්වා එන්නත් 56,250ක් වෛද්‍ය සැපයීම් අංශයට දී තිබෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වසර මුල ටෙන්ඩර් ප්‍රදානය සිදු කර, ඒ ඖෂධය භාර දිය යුතු ගිවිසුමකට අනුව තමයි කටයුතු කරන්නේ. ඒ අනුව 2022 සැප්තැම්බර් මාසයේ ලෝක බැංකු ආධාර යටතේ එන්නත් 9,500ක් ඔක්තෝබර් එන්නත් 9500ක්, නොවැම්බර් එන්නත් 9,500ක්, දෙසැම්බර් එන්නත් 9,500ක්, 2023 ජනවාරි එන්නත් 11,750ක් එන්නත් ලැබීමට නියමිතව තිබුණු බවට ප්‍රකාශ දී තිබෙනවා. 2022 නොවැම්බර් 4 දා එන්නත් 5,000ක්, 18 දා 7,500ක් ලැබීමෙන් පසුවයි මෙලෙස කටයුතු කර තිබෙන්නේ. සැපයුම්කරු සමඟ ගිවිසුමකට පැමිණිය යුතුයි ගැණුම් ඇණවුම් නිකුත් කරන විට. එවැනි ගිවිසුමක් තිබී නැහැ. ගිවිසුම්ගතව නැහැ. ගැනුම් ඇණවුම් සහතිකය ලබාගැනීමේ වගකීම දැරිය යුතු ආකාරය සම්බන්ධයෙන් ලිඛිත ගිවිසුමකට එළඹ නැහැ. පසුව ඡායා පිටපත් ගෙනත් දී තිබනෙවා. හැමදාම ලැබුණේ එහෙමයි ඒ අනුව භාර ගත්තා කියා ඡායා පිටපත් මත කෙසේද ඖෂධ භාර ගන්නේ. රිටොක්සිමැබ් ඖෂධය ගෙන්වීමට අදාළව හත්වැනි සැකකරු අවස්ථා දෙකකදී රුපියල් මිලියන 50 බැගින් චෙක්පත් දෙකක් ගෙවමින් ශ්‍රී ලංකා රජයේ වැයශීර්ෂයේ මුදල් ගෙවීමට කටයුතු කර තිබෙනවා. 2023.02.11 ගැනුම් ඇණවුම් සහතිකය මත කටයුතු කර මේ අනුමැතිය දී තිබෙනවා. පෙබරවාරි 13 රිටොක්සිමැබ් ආනයනය කිරීමට ලිපි යොමු කරමින් ගැනුම් ඇණවුම් සහතික නොමැතිව ඡායාපිටපත් මත පදනම්ව වවුචර් දෙකකට අදාළව රුපියල් ලක්ෂ 1,070ක් ගෙවීමට හත්වැනි සැකකරු අනුමැතිය දී තිබෙනවා.

දෙවැනි සැකකරුගේ සිට හත්වැනි සැකකරු දක්වා එක්ව ක්‍රියා කර ශ්‍රී ලංකා ජනරජයේ මුදල් අයුතු ලාභයක් සැපයුම්කරුට දෙමින් රජයට අයුතු පාඩුවක් සිදුවන ආකාරයට ගනුදෙනු සිදු කර තිබෙනවා. එකඟකාරී කුමන්ත්‍රණකාරී කටයුතු කරමින් ශ්‍රී ලංකා රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට ඒ අනුව පළමු සැකකාර සැපයුම්කරුට හැකි වී තිබෙනවා. මේ ඖෂධය භාරගෙන තිබෙන්නේ පස්වැනි සැකකරු. ඖෂධ පාලක නිලධාරියා පත් කරන්නේ තොත පාලක නිලධාරියායි. ඖෂධවේදීන්ට මේ රාජකාරිය පසුව පැවරුවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් කිසිදු ලේඛනයක් අධිකරණයේ සහායට ඉදිරිපත් කර නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලේඛන භාරයට ගන්න ලේඛන මත පමණයි විමර්ශන සිදු කරන්නේ. ප්‍රශ්නගත ඖෂධ උෂ්ණත්වය (ශීතාගාරදාමය) පරීක්ෂා කර බැලිය යුතුයි. භාර දිය යුතු වන්නේ උපකරණ සමඟ. වෛද්‍ය සැපයීම් අංශයේ පරිගණක දත්ත කියවීමෙන් ශීතාගාර දාමය කියවිය හැකියි. ඒ වාර්තා පවත්වා ගෙන යා යුතු වුවත් මොවුන් පවත්වාගෙන ගොස් නැහැ. ඒ සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක් නැහැ. ඖෂධ භාර ගැනීමේ ලේඛන ලැයිස්තුවක් තිබෙනවා. ගුදම් ලේඛන අවශ්‍යයි. ඖෂධ නිෂ්පාදන සංස්ථාව මේ ඖෂධ ප්‍රසම්පාදනය කරන විට ඔවුන්ට සිටියා ගුදම් නිලධාරියෙක්. වෛද්‍ය සැපයීම් අංශයට ඔහු එනවා ඖෂධ සපයන අවස්ථාවලදී. මේ අවස්ථාවේ ඔහුගේ සහාය ලැබී නැහැ. තොග පාලක නිලධාරියා ලේඛන පරීක්ෂා කළ යුතු බව දක්වා තිබෙනවා. ඒ සඳහා අවධානය යොමු කරනවා.

2009 ජනවාරි සිට 2023 ඔක්තෝබර් කාලයට අදාළ තොග පාලන රාජකාරි ලැයිස්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කරන ලෙස වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන්න.

ප්‍රශ්නගත හියුමන් ඉමියොනිග්ලොබින් එන්නත සහ රිටොක්සිමැබ් එන්නත් තොග වෛද්‍ය සැපයීම් අංශයට භාර දීමේදී තහවුරු කර ගත් ශීතාගාරදාමයට ඇතුළත් කරනවා. තොග පාලන නිලධාරියා පරීක්ෂා කළ යුතු ලේඛන, ප්‍රතික්ෂේප කිරීමේදී ප්‍රශ්නාවලිය ඇතුළු මේ සිද්ධියට අදාළ සියලු ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කරන ලෙස වෛද්‍ය සැපයීම් අංශයේ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්න.

සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු වුණේ හත්වැනි සැකකරු 2023.02.15 දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාට ලියූ ලිපියකට අනුවයි. එහි සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය ඖෂධ 182ක් අවශ්‍ය බව එසේ නෙවාන්නේ නම් සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙන බව එහි දක්වා තිබෙනවා. එහෙත් අවශ්‍ය බව කියූ ඖෂධ 182න් ලැබී තිබෙන්නේ ඖෂධ 9යි. ඔහු දක්වා තිබුණේ ඉදිරි සති තුන තුළ සෞඛ්‍ය අංශ කඩා වැටීමක් සිදු වනු ඇති බවයි. ඒ අනුව ඔහු විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාට 2023.02.15 දාතමින් යවන ලද ලිපිය සහ ඊට ලැබුණු පිළිතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්න.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මේ ක්‍රියාවලියට යාවජීවව බැඳී සිටින පුද්ගලයෙක් ඔහු. ලියාපදිංචි වී සිටින, ලියාපදිංචිය ලබා ගැනීමට සිටින, ටෙන්ඩර් ලබා දුන් එකී ඖෂධ 182ට අදාළ සියලු ලේඛන පිටපත් මේ විමර්ශනයට වැදගත්. විමර්ශන අවස්ථාවේ පිටපත් ගොනු ලබා දී නැහැ. ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඖෂධ 182 ප්‍රසම්පාදනය කළ ටෙන්ඩර් පිටපත්වල මුල් පිටපත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට නියෝගයක් නිකුත් කරන්න.

මහේස්ත්‍රාත්වරිය: ප්‍රශ්නගත ඖෂධ රස පරීක්ෂකවරයාට යැවීමට ගත්තේ කොහේ තිබිලාද?

නීතිපති: ඖෂධ නියාමන අධිකාරිය වෛද්‍ය පර්යේෂණ ආයතනය යොමු කළ සාම්පල් එන්නත්.

මහේස්ත්‍රාත්වරිය: ඒ ඖෂධ ලබා ගත්තේ කොහේ තිබිලද?

නීතිපති: දිවයින පුරා තිබූ රෝහල්වලට බෙදාහැර තිබූ එන්නත් ඖෂධ නියාමන අධිකාරිය මගින් එකතු කර ගත්තා.

මහේස්ත්‍රාත්වරිය: රෝහල්වලට බෙදාහරින ලද ඖෂධද රජයේ රෝහල් මගින් ලබා ගත්තේ.

නීතිපති: එසේයි ස්වාමීනි. 2023.10.12 ඖෂධ නියාමන අධිකාරිය ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් මේ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරන්න උපකාර ඉල්ලා තිබෙනවා.

මහේස්ත්‍රාත්වරිය: ප්‍රශ්නගත එන්නත්වල මොනවා ඇතුළත් බවටද හඳුනාගත්තේ?

නීතිපති: එය සංකීර්ණ තත්ත්වයක්. විශ්ලේෂණය කිරීමට පවා නොහැකි වී තිබෙනවා. ඊට අදාළ තත්ත්වයන් තිබී නැහැ. ඒ අනුව රෝගීන් තුන්දෙනකුට ඖෂධ එන්නත් කර නිරීක්ෂණය කර තිබෙනවා. එහිදී රෝගීන් දෙදෙනකුට එන්නත ප්‍රතික්ෂේප කරමින් මාරාන්තික තත්ත්වයක් පෙන්නුම් කර තිබෙනවා. එහි බැක්ටීරියා ආසාධිත බව තිබීම හේතුවෙන් එම රෝගීන් දෙදෙනාට මාරාන්තික තත්ත්වයක් ඇති වූ බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා. පරීක්ෂා කරන්නවත් සුදුසු තත්ත්වයක තිබී නැහැ. එය බැක්ටීරියා ආසාධිත ද්‍රාවණයක් පමණයි. පරීක්ෂා කළ යන්ත්‍රණය පරීක්ෂා කිරීමටවත් සුදුසු තත්ත්වයේ තිබී නැහැ. ඒ නිසා තමයි රෝගීන් තිදෙනකු වෙත යොමු කර තිබෙන්නේ. තිබිය යුතු තත්ත්වයට සමපාත වී නැහැ. එන්නතේ පිටත තිබූ ලේබල් එකක ස්පෙලින් මිස්ටේක් එකක් පවා තිබී තිබෙනවා. වර්ණය පවා වෙනස්. බැක්ටීරියා ආසාදිත බවට වාර්තා නිකුත් වී තිබෙනවා.

හත්වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා රජය වෙනුවෙන් කරුණු දැක්වූ උගත් මිතුරිය ඕනම කරුණකට පිළිතුරු දෙන බව ප්‍රකාශ කළා. තවත් ටිකක් ගියා නම් මිනීමැරීමට තැත් කළා, මිනීමැරුවා කියා කරුණු මතු කරයි. මේ රටේ විධායකය බලකණුවක් වන අමාත්‍ය මණ්ඩලය පත්‍රිකාවකින් සෞඛ්‍ය ඇමැතිවරයා නිකුත් කළ අනුමැතියකින් තමයි මේ එන්නත් යොමු වන්නේ. වංචාව ආරම්භ වන්නේ මේ කාලයේයි. වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය වන්නේ හදිසි අවශ්‍යතා මත හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමු වීමයි. ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය යටතේ පුද්ගලික අංශයේ ආනයනයකරුවකුට අවසර දීලා. 2023.12.23 විගණන විමසුමේ සඳහන් වන ආකාරයට ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය අනිවාර්ය බව දක්වා තිබෙනවා. ඊට යටත්ව කටයුතු කළා නම් අපි මේ ඉන්නෙ නැහැ. ලියාපදිංචිය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දී තිබෙනවා. මේ ක්‍රියාවලි වසර ගණනාවක සිට මෙලෙස සිදු වී ඇති බවත් අද වන තුරු පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් නැති බවත් වාර්තා වී තිබෙනවා. අප කුමන්ත්‍රණයක් කළේ නැහැ; එකඟ වී වත් නැහැ. වගකීමක ගැටලුවක් වගවීමක ගැටලුවක් තිබෙනවා. නියෝග එවන්නේ ඇමැති මණ්ඩලය. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ. එක අවස්ථාවක මාස තුනකට ගෙන්වන්න කියා ඇමැති මණ්ඩල අනුමැතිය ලැබෙනවා. මිනීමැරීමට තැත් කිරීම වගේම ආධාර අනුබල දුන්නා කියා මාවත් අත්අඩංගුවට ගන්න පුළුවන්.

මහේස්ත්‍රාත්වරියා: මේ නඩුවට අදාළව නිකුත් කළ පොදු කාරණය ගැන නේද මේ වාර්තාවේ තියෙන්නේ.

නීතිඥවරයා: කාලපරාසයක් දක්වා නැහැ. වෛද්‍ය සැපයීම් අංශයට නිසි ක්‍රමවේදයක් භාවිත කරන ලෙස උපදෙස් දී තිබෙනවා.

මහේස්ත්‍රාත්වරිය: මේ ආවරණය වීම හැරෙන්න මෙවැනි වෙනත් සිදුවීම් ගැන අනාවරණයක් සිදු වන්නේ නැහැ නේද?

නීතිඥවරයා: හදිසි මිල දී ගැනීමේ ක්‍රියාවලියේ මෙය සිදු වූ බව මේ වාර්තාවේ සරලව කියවෙනවා. කට්ටිය එකතු වී මෙය කළ බව කීම පිළිගන්න බැහැ. අපේ ගිණුමකට රුපියලක්වත් වැටී නැහැ. සැපයුම්කරුට වාසි වූ පමණින් මගේ සේවාදායකයාට වාසි වූ බව කියන්න බැහැ. වසර 33ක සේවා කාලයක් ඇති වෛද්‍යවරයෙක්. වෛද්‍ය සැපයීම් අංශයේ අවුරුදු 4 1/2ක් සේවය කළා. කොවිඩ් සමයේ බිලියන ගණනින් ඖෂධ ගෙන්වුවා. අවාසනාවන්ත ලෙස යම් අයගේ ක්‍රියා නිසා ගොදුරක් බවට පත්ව තිබෙනවා. අමාත්‍යාංශ ලේකම් වවුචර් අත්සන් කරන්න කිව්වම අත්සන් කළ යුතුයි. ඖෂධ නැති වුණා නම් මේ දේ කියන්නෙ නැහැ. ඒ නිසා ජනතාව මැරුණා කියයි. හදිසි මිල දී ගැනීම් කළේ ඒ නිසයි. කුමන්ත්‍රණයක සේයාවක්වත් නැහැ. අවබෝධයක්වත් නැහැ. ඉහළින් උපදෙස් ආවා. හදිසි මිල දී ගැනීමේ යම් අක්‍රමිකතා තිබෙන්න ඇති. චේතනාවක්වත් ක්‍රියාවක්වත් කළේ නැහැ. අපට මුදල් බැරවෙලත් නැහැ. ක්ලිනික් ආපු අවස්ථාවක ප්‍රකාශ ගන්න එන්න කියලා අත්අඩංගුවට ගත්තා. පොටෑසියම් ඌණතාවක් තිබෙනවා. හෘදය රෝග තත්ත්වයක් තිබෙනවා. සති දෙකක් රෝහල්ගත වී සිටියා. ඇමැති මණ්ඩලය යහතින් ඉන්නවා. පහළින් ඉන්න අය සිරගත කරලා. සුදුසු ඇපයක් මත කුමන කොන්දේසියක් මත හෝ මගේ සේවාදායකයා මුදාහරින ලෙස ඉල්ලා සිටිනවා.

නීතිපති: ඉදිරිපත් කළ කාරණා සමඟ එකඟ වනවා කියා දේශන පටන් ගත්තත් වැරදිකරුවකු නොවන බවට කිසිදු කරුණක් ඉදිරිපත් කළේ නැහැ. ක්‍රියාවලියේ අක්‍රමිකතා තිබුණා. ඔහු වින්දිතයකු බව ඒත්තු ගැන්වීමට ප්‍රයත්න දැරුවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තරයේ පවා පිළිගැනීමක් තිබුණා. ළදරු මරණ මාතෘ මරණ ප්‍රශස්ත මට්ටමක තිබෙන්නේ. ප්‍රශ්න තිබූ බවට සාවද්‍ය කරුණු ඉදිරිපත් කළා. සෞඛ්‍ය තත්ත්වය ගැටලුසහගත බව කීමෙන්ම ඔහු ලජ්ජාවට පත් විය යුතුයි. ප්‍රශ්නගත ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රධාන නිලධාරියකු ලෙස කටයුතු කළ ආකාරය මඟහැරීම නිසා මේ තත්ත්වය උද්ගත වී තිබෙනවා. 2006-2007 ප්‍රසම්පාදන ක්‍රියාවලියට යටත්ව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, වෛද්‍ය සැපයීම් අංශය ලියාපදිංචි සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේදී නියමාකාරයෙන් කටයුතු කර තිබෙනවා. ලියාපදිංචි සැපයුම්කරුවෙක් වෙන්න ලේසියෙන් බැහැ. ඖෂධ ගේන්න නම් ලියාපදිංචි වෙන්නම ඕනෑ. අදාළ ලිපි යවනවා, තත්ත්වය පරීක්ෂා කරනවා, වාර්තා නිකුත් කරනවා. මේ ලේඛන තිබුණොත් පමණයි ඒ ඖෂධය ආනයනය කරන්න හැකි වන්නේ. ලියාපදිංචි මුල් සහතිකය නැතිව සැහැල්ලුවට නිකුත් කරන්න බැහැ. නිසියාකාරයෙන් කටයුතු කළාම තමයි ගැනුම් ඇණවුම් සහතිකය නිකුත් වෙන්නේ. වෛද්‍ය සැපයීම් අංශය ඖෂධ 182 ගෙන්වීමට අවශ්‍ය බව කියා ඉදිරි සති කිහිපය තුළ සෞඛ්‍ය අංශ කඩාවැටෙන බව රෝහල් කඩාවැටෙන බව කියමින් තමයි මේ ඉල්ලීම කර තිබෙන්නේ. වින්දිතයකු බව කියන්නේ අක්‍රමවත්ව කටයුතු කළ නිසා ද? නිසා පරිදි ඖෂධ පරීක්ෂා කළා නම් මේ ව්‍යසනය සිදු වන්නේ නැහැ. ලේඛන නිරීක්ෂණය කර බැලුවානම් පළමු සැකකරුට අයතා ලෙස මුදල් උපයන්න හැකියන්නේ නැහැ. 2023 පෙබරවාරි මාසයේ ලක්ෂ 1,000ක් ගෙවන්නේ අපරාධමය මනස ක්‍රියාත්මක වීමෙන්. ඖෂධ ගෙන්වන්න කියන්නේ කවුද? ඖෂධ 182ක්ම නෑ කියන්නේ මොවුන්ම තමයි. 182ක් නෑ කිවුවත් භාර ගෙන තිබෙන්නේ 9යි. එහෙම නම් සෞඛ්‍ය පද්ධතිය කඩා නොවැටෙන්න ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද? ක්‍රියාවලිය අවුල් කියනවා. දුර්වලතා නිසා ප්‍රධාන සැකකරු අපරාධය කරන්න භාවිත කරලා. අපරාධ මනසේ දුර්වලතා නිසයි එහෙම කර තිබෙන්නේ. මේ නඩුවේ සාක්ෂි ඉදිරිපත් කර තිබෙන්නේ සාක්ෂිකරුවන්මයි. ප්‍රධානියා ලෙස 7 වැනි සැකකරු ඔහුගේ වගකීම ඉටු කර නැහැ. අයුතු ප්‍රතිලාභයක් බලාගෙන පළමුවැනි සැකකරුට අනුබල දීමට කටයුතු කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරිය: ටෙන්ඩර් බෝඩ්එකේ මොහු සිටිනවාද?

නීතිපති: තෙවැනි සැකකාර සොලමන් කියන්නේ මොහුගේ දෙවැනියා. රාජ්‍ය ආර්ථික අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ පිළිපදින්නේ නැතුව කටයුතු කර තිබෙනවා. සමස්ත ක්‍රියාවලිය අක්‍රමවත් ලෙස අක්‍රමිකතාවලට යටත්ව සිදු කර තිබෙනවා. ඔහුගේ කිසිදු වින්දිත භාවයක් නෑ. වින්දිත භාවයක් ආරෝපණය කරන්නේ නම් අපරාධය වසන් කිරීමට කරන්නක්. රිටොක්සිමැබ් එන්නත දින 5ක් තුළ සැපයිය යුතු බවට දන්වා තිබුණත් එහෙම කර නැහැ. එසේ තිබියදී ලක්ෂ 10කට අධික මුදලක් ගෙවන්නේ කොහොමද? ලංකාවේ රෝහල්වල සැකකරුගේ රෝගවලට ප්‍රතිකාර කරන්න බැරි බවට සහතිකයක් දී නැහැ.

නීතිඥවරයා: මවුන්ට් එලිසබෙත් වගේ විදේශ රටවල රොහල්වල ප්‍රතිකාර ගන්න පුළුවන් කැබිනට් මණ්ඩලයේ අයට පමණයි. මම සැකකරුවෙක්. උපදෙස් අවශ්‍ය නැහැ. කොවිඩ් කාලයේ වසර 4 1/2ක් කළ සේවය අමතක කර, එය සැහැල්ලුවට ගන්නවා නම් ගන්න.

නිතිපති: ඇප ඉල්ලනවා නම් මම කරුණු දැක්විය යුතුයි.

නීතිඥවරයා: දිගට කරුණු දැක්වීම අනවශ්‍යයි. ඇප අවශ්‍ය නැහැ.

මහේස්ත්‍රාත්වරිය: නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු දැක්වීම විත්තියේ නීතිඥවරයා ප්‍රතික්ෂේප කළේ නැහැ. යම්කි සි කාර්ය පටිපාටියක් පැහැරහැරීමක් සිදු වූ බව පිළිගන්නවා. අපරාධමය චේතනාවක් නැති බවත් දක්වා තිබෙනවා. එහෙත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන නිලධාරියා මොහුයි. ඔහුගේ වගකීම නොසලකා හැරීමට බැහැ. සිය නිලධාරීන් නිසි ලෙස ආරක්ෂා සහගතව වෛද්‍ය සැපයීම් කරන්නේද යන්න සොයාබැලීම ඔහුගේ වගකීමයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රමවේදයේ ගැටලුකාරි බව නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම ඉන් සිදු වූ වරදක් බව කීම පිළිගන්න බැහැ. ඒ වගකීම ඔහු මතත් පැවරෙනවා. රටට ඖෂධ ගෙන්වීමේ නිසි ක්‍රියාවලිය සොයා බලා කටයුතු කිරීමට ඔහුගේ දීර්ඝ කාලීන රාජ්‍ය නිලධාරියකු ලෙස බැඳියාව සම්බන්ධයෙන් ප්‍රශ්නගත තත්ත්වයක් තිබෙනවා. ඒ අනුව අපරාධමය වරදක් චේතනාන්විතව ක්‍රියාවක් බවට බැලූ බැල්මට කරුණු පෙනී යන අතර, පොදු දේපළ පනත යටතේ සැකකාරභාවයෙන් සැකකරුවකු ලෙස පිළිගැනීමට අධිකරණය තීරණය කරනවා. පසුගිය දෙසැම්බර් සිට පොටෑසියම් ඌනතාවයෙන් පසුවීමත්, වෛද්‍ය වාර්තාත් සැලකිල්ලට ගනිමින් සහ නඩුව විභාගයට ගත් අවස්ථාවේ සිට පැය 1 1/2 කට අධික කාලයක් විත්තිකූඩුවේ සිටගෙන සිටීමෙන් ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න තත්ත්වයේ නොමැති බවට නිරීක්ෂණය වේ. ඒ අනුව ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට බන්ධනාගාර පාලක වරයාට නියෝග කරමින් එසේ ප්‍රමාණවත් නොවන්නේ නම් කොළඹ ජාතික රෝහලවෙත යොමුකර ප්‍රතිකාර ලබාදීමට නියෝග කරමින් එම කරුණු ඇප ලබාදීමට සුවිශෙ නොවන බැවින් ඇප ප්‍රතික්ෂේප කරමි.

නඩු විභාගය ජනවාරි 10 දක්වා කල් තැබිණි.


Top Stories
wedivistara

මංගල සාදයට ගිය කැබ් රථයක් අනතුරක – කාන්තාවක් මරුට – 9කට තුවාල

wedivistara

විදුලිබල පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනේ

wedivistara

මධ්‍යම අධිවේගයේ කොන්ක්‍රීට් බාල්කය කඩා වැටීමේ සිද්ධිය විමර්ශනය කිරීමට විශේෂඥ කමිටුවක්

wedivistara

හෙළකුරු සමාගම ISO 27001 ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිති සහතිකය හිමි කරගනී

wedivistara

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුවෙලා නෑ - විභාග කොමසාරිස් ජනරාල්

wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ වෙයි

wedivistara

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්

wedivistara

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි

wedivistara

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ


NEWS ALERT