Local

ජනතාව රස්තියාදු නොකර චක්‍රලේඛ ලිහිල් කරමින් ජනතාවට සේවය කරන්න

Saturday, 27 January 2024 - 3:01 pm

නිවාස ඇමැති ප්‍රසන්න රණතුංගගෙන් නිලධාරීන්ට උපදෙස්

 

ජනතාව රස්තියාදු නොකර ඔවුන්ට අවශ්‍ය සේවය කඩිනමින් ලබා දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවල ප්‍රමාදයන් සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබී ඇති බව අවධාරණය කරමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයක් යොමු කර ඇති බවත්, එලෙස ජනතාව රස්තියාදු කරවන නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයට පසුගියදා හදිසියේ පැමිණි අවස්ථාවේදීය.

මෙහිදී මාතර දිස්ත්‍රික් කාර්යාලයේ වැඩ කටයුතු පිළිබඳව සොයා බැලු ඇමැතිවරයා එහි නිලධාරීන් සමඟ ද සුහද කතාබහක නිරත විය. එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

මේ අමාත්‍යාංශය රටේ ප්‍රධානම අමාත්‍යාංශයක්. මේ අමාත්‍යාංශය මම භාර ගත්තේ රටේ ආර්ථික අර්බුදයක් තිබුණු වෙලාවකයි. ආයතනයක සේවකයන්ගේ රැකියා සුරක්ෂිත වෙන්නේ ආයතනයේ පැවැත්ම මතයි. ආයතනයේ දියුණුවට වැඩ කිරීම අපි පත් කරන සභාපතිවරුන්ගේ වගකීමයි.

අපි මේ අමාත්‍යාංශය භාර ගන්න විට ඒ යටතේ ඇති ආයතනවලින් ආයතන 8ක් පමණ වසා දමන තත්ත්වයට පත්ව තිබුණා. පසුගිය කාලයේ ඇතැම් දිස්ත්‍රික්කවල දහස් ගණනින් සේවකයන් බඳවා ගෙන තිබුණා. එහෙම වුණාම ඒක ආයතනයට බරක්. අපි පඩි නඩි ගෙවන්නේ ජනතාවගේ මුදල් වලින්.

ආයතනයේ සේවකයන්ට ස්වාධීනව වැඩ කරන්න අවස්ථාව සලසා දිය යුතුයි. ඒ වගේම පවතින චක්‍ර ලේඛ ලිහිල් කර ජනතාවට සේවය කරන්න ඉඩ දිය යුතුයි. චක්‍ර ලේඛ ඉදිරියට දාලා වැඩ නොකර ඉන්නවා නම් අපි ඒකට තදින් ඉන්නවා. ඒ වගේම වැඩ කරන කෙනෙක්ගෙන් යම් වැරැද්දක් වුණත් අපි ඒකට සමාව දිය යුතුයි. අපි සේවකයන්ගේ සුබසාධනය වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරනවා.

මේ ආයතනයට හොඳ පළපුරුදු සභාපතිවරයෙක් ලැබී තිබෙනවා. පසුගිය කාලයේ මේ ආයතනය තිබුණේ අපට පඩි ගෙවා ගන්නත් බැරි තැනකයි. නමුත් අද වන විට ආයතනය ස්ථාවර මට්ටමකට ගෙනත් තිබෙනවා. කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා අපට පසුගිය වසර තුනේ නිසියාකාරව සංවර්ධන කටයුතු කරන්න බැරි වුණා. ඒ නිසා මේ වසරේ ජනතාව වෙනුවෙන් විශාල සංවර්ධන වැඩ කොටසක් කරන්න සූදානමින් ඉන්නවා.

හැමවෙලේම අපි දින වකවානු සමඟ කටයුතු කළ යුතුයි. නිවැරදිව ඉලක්ක වෙත අපට යන්න පුළුවන් වෙන්නේ එවිටයි. අපි ළඟට එන කෙනෙකුට දෙපාරක් එන්න ඉඩ තියන්න හොඳ නැහැ. පුළුවන් නම් කරලා දෙන්න ඕනෑ. බැරි නම් කෙළින්ම ඒක කියන්න ඕනෑ. ජනතාව බොරුවට රස්තියාදු කරන්න එපා. අපි හරියට වැඩේ කළොත් තමයි රාජ්‍ය සේවය ගැන ජනතාව සතුටු වෙන්නේ. එහෙම කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ යැයි ඇමැතිවරයා පැවසීය.

ජනතාවගේ නිවාස අවශ්‍යතාව ඉටුකරලීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වන විට විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඔබට ගෙයක් රටට හෙටක් නිවාස වැඩසටහන, මිහිඳු නිවහන වැඩසටහන, විරුසුමිතුරු වැඩසටහන, ඉන්දියානු ආධාර නිවාස වැඩසටහන ඒ අතරින් කීපයක්.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව දිස්ත්‍රික් කාර්යාල 25ක් සහ නගර කාර්යාල 2ක් තිබෙනවා. වර්තමානයේ මේ ආයතනයේ 1,800කට ආසන්න සේවකයන් පිරිසක් සේවය කරනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, මාතර දිස්ත්‍රික් කළමනාකරු ශ්‍රියානි මල්ලිකා මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


Top Stories
wedivistara

වැලිවේරියේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

wedivistara

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

අපරාධ සැකකරුවකුගේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමේ බලපෑම

wedivistara

පොලිස්පති ඉන්න තැන ගැන නියෝජ්‍ය ඇමතිතුමා දන්නවා කිව්වානේ, ඇයි අපෙන් අහන්නේ? - නාමල්

wedivistara

අද කාලගුණ නි‍වේදනය

Trending
wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

දේශබන්දුයි, සෙව්වන්දියි ඉන්න තැන වටගල දන්නවා නම්, ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ? - අජිත් පී. පෙරේරා

wedivistara

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කොළඹ වාහන දුම් පරීක්ෂා කිරීම සම්බන්ධ වැටලීම් අද සිට

wedivistara

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි


NEWS ALERT