Local

නව පාසල් වාරය ආරම්භයට පෙර පාසල් නිල ඇඳුම්

Thursday, 11 January 2024 - 6:59 pm

නව පාසල් වර්ෂය ආරම්භ වන 2024 පෙබරවාරි 19 දිනට පෙර පිරිවෙන් හා පාසල් සිසුන් සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එම සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 80%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීමට හැකි වූ බවත් පෙර වර්ෂයේ ද 50%ක ප්‍රදානයක් ලබා දීමට මුලින් එකඟ ව සිටි චීන රජය, අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත 70%ක දක්වා වැඩි කර එම ප්‍රදානය ලබා දුන් බවත් මෙවර ද එය 80% දක්වා තව දුරටත් ඉහළ නංවා ලබා දීමට කටයුතු කළ බවත් වැඩිදුරටත් පැවසී ය.

අමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ මෙරට චීන තානාපති ෂී ෂැං හොං මහතා විසින් චීන ප්‍රදානයේ පළමු පාසල් නිල ඇඳුම් රෙදි තොගය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට අද (11) නිල වශයෙන් ‍අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී භාර දුන් අවස්ථාවේ දී ය.

මෙම ප්‍රදානයෙන් මීටර් මිලියන 5.8ක පළමු නිල ඇඳුම් රෙදි ප්‍රමාණය, මේ වන විට මෙරටට ලැබී ඇති අතර දෙවැනි තොගය පෙබරවාරි 04 වන දා වන විට ලැබී අවසන් වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. සෑම සිසු දරුවකුට ම නිසි ප්‍රමිතියෙන් යුත් ගුණාත්මකභාවයෙන් ඉහළ නිල ඇඳුම් ලබා දෙමින් සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා තහවුරු කිරීමේ අරමුණින් පළමු 80%ක ප්‍රදානය ලබා දෙන නිෂ්පාදකයාගෙන් ම ඉතිරි පාසල් නිල ඇඳුම් රෙදි 20%ක ප්‍රමාණය ද මිල දී ගැනීමට රජය කටයුතු කරන බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය.

මෙරටට ලැබී ඇති පළමු නිල ඇඳුම් රෙදි තොගයේ බෙදාහැරීම්වලට අදාළ කටයුතු පසුගිය ජනවාරි 4 වන දා සිට ආරම්භ කර ඇති බවත් අධ්‍යාපන කාර්යාල 313කට ඒවා යැවෙන බවත් පැවසූ අමාත්‍යවරයා මිලදී ගනු ලබන 20%ක නිල ඇඳුම් රෙදි ප්‍රමාණය මෙරටට ගෙන්වන තුන් වන තොගය වශයෙන් පෙබරවාරි මස 10 වන විට ගෙන්වා අවසන් වන බව ද රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මිලදී ගැනීමට මැදිහත් ව ක්‍රියා කරන බව ද සඳහන් කළේ ය.

මීට අමතර ව උසස් පෙළ විෂය ධාරා සහිත සියලු‍ පාසල් ආවරණය වන පරිදි පාසල් 3000ක ප්‍රමාණයක් ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය අනුග්‍රහය ද චීන රජය මෙරටට ප්‍රදානය කරන බව මෙහි දී කී අමාත්‍යවරයා, තාක්ෂණයත් සමග ඉදිරියට යන නව අධ්‍යාපන ක්‍රියාවලියට එය මහත් පිටිවහලක් වන බව ප්‍රකාශ කළේ ය.

රට ආර්ථික වශයෙන් දුෂ්කර අවධියක පසු වන මෙවන් අවස්ථාවක පාසල් නිල ඇඳුම් ලබා දීමට වැය වන මුදලින් රුපියල් බිලියන පහක පමණ මුදලක් ඉතිරි කරගැනීමට අවස්ථාව සැලසෙන පරිදි චීන රජයෙන් ලබා දුන් මෙම සියලු‍ ප්‍රදානයන් පිළිබඳ චීන රජය කෙරෙහි සිය කෘතවේදීත්වය පිරිනමන බව මෙරට චීන තානාපතිවරයා හමුවේ සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ ය.

එමෙන් ම පාසල් පෙළපොත් බෙදාහැරීමේ කටයුතුවලින් ද 80%ක් පමණ මේ වන විට සිදු කර අවසන් බව සඳහන් කළ අමාත්‍යවරයා නව පාසල් වාරය ආරම්භ වන විට එම පෙළ පොත් ලබා දීමට කටයුතු කරන බව ද පැවසී ය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT