Local

අර්බුද හමුවේ පලායන නායකයන්ගෙන් රටට සෙතක් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න බෑ

Sunday, 23 June 2024 - 8:20 pm

  • රටේ අනාගතය වෙනුවෙන් සත්‍ය ප්‍රකාශ කළ යුතුයි- ජනපති.

රටක අර්බුද හමුවේ පලා යන නායකයන්ගෙන් රටට සෙතක් වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට අරාජික වූ අවස්ථාවේ තමන් රටේ නායකත්වය භාර නොගත්තානම් අද රටේ තත්වය ගැන සිතා ගත නොහැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කලේ මඩකලපුව මහා නගර සභා ශ්‍රවනාගාරයේ ඊයේ (22) පැවැති මඩකලපුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නියෝජිත හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය,

මඩකලපුව ප්‍රදේශයේ දේශපාලන හා පොදු සංවිධානවල බොහෝ දෙනෙක් හමුවීමට මට අවස්ථාව ලැබුණා. අද රට තිබෙන්නේ බොහොම අමාරු අවස්ථාවකයි. පසුගිය පාලන සමයේදී මම පැහැදිලිවම කිව්වා මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාමට නම් අඩුම තරමින් ඩොලර් මිලියන තුනක සංචිතයක් පවත්වා ගත යුතු බව.

කිසිදු දේශපාලන පක්ෂයක් ඒ බව ප්‍රකාශ කළේ නැහැ. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධව කුමක්ද ප්‍රකාශ කළේ? මේවා අපි තනිවම රටට කිව්ව නිසා ජනතාව හිතුවේ අප අසත්‍ය ප්‍රචාර ගෙන යනවා කියලා. කුමන දේශපාලන මත දැරුවත් රටේ අනාගතය වෙනුවෙන් අපි සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. දේශපාලනයේදී අපි සැම විටම ඇත්ත කතා කළ යුතුයි.

එදා අරගල අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතාට මේ රට භාරගන්න කිව්වා. නමුත් ඔවුන් මේ රටේ අනාගතය බාරගත්තේ නැහැ. ඒ වගේම මේ රටේ බලය ඉල්ලා කෑගහන ජනතා විමුක්ති පෙරමුණ හොයාගන්නවත් හිටියේ නැහැ. අපේ රටේ නායකයන් බවට පත් කරගත යුත්තේ මේ වගේ අයද කියා ඇසිය යුතුයි.

කොහොම නමුත් අභියෝග හමුවේ නොසැලී අපි රජයක් පිහිටවනු ලැබුවා. වර්තමානය වන විට මේ රට බංකොලත්භාවයෙන් මිදෙමින් සිටිනවා. අභියෝග හමුවේ රට භාරගත් මට අගමැති ධුරයෙන්, ජනාධිපති ධුරයෙන් අයින් විය යුතු බවට විපක්ෂය ඒ කාලයේ විවිධ චෝදනා එල්ල කලා.

ඒ අවස්ථාවේ ධූරවලින් ඉවත් වුනා නම් රටට මොකක්ද සිද්ධ වෙන්නේ? රටට අමාරුම අවස්ථාවේ මම රට ඉදිරියට ගෙන ගියා. රටේ බංකොලොත්භාවය නොමැති අවස්ථාවක නොකළ දේවල් විශාල ප්‍රමාණයක් රටේ ජනතාව වෙනුවෙන් මම සිදුකළා.

රටේ ආර්ථිකය කඩාවැටුණු අවස්ථාවේ වුවත් රාජ්‍ය සේවකයන්ගේ දීමනා ඉහළ දැමීමට කටයුතු කළා. සමෘද්ධි දීමනාවට වඩා දෙගුණයක් වැඩි කර අස්වැසුම වැඩසටහන තුළින් ලබාදෙන්න කටයුතු කළා. සින්නක්කර ඉඩම් අයිතිය නොමැති ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන ආරම්භ කළා. මෙම මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් සින්නක්කර ඉඩම් ඔප්පු නොමැති 27,000කට අධික පිරිසකට මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ සින්නක්කර ඔප්පු ලබා දෙන ලෙස මා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

රටක බංකොලොත්භාවයක් තිබෙන අවස්ථාවක මෙම දේවල් කළා නම් බංකොලොත්භාවයෙන් මිදුණු රටක ජනතාව වෙනුවෙන් මීට වඩා දෙයක් සිදුකළ හැකියි. ඒ වෙනුවෙන් අප සියලු දෙනා සංවිධානය වී ඉදිරියට යා යුතු කාලය එළැඹ තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් සංවිධායක කේ. මෝහන්, එක්සත් ජාතික පක්ෂයේ එරාවුර් සංවිධායක එම්. ඒ. එම්. බිලාල්, එක්සත් ජාතික පක්ෂයේ මඩකලපුව කලාප සංවිධායක එම්. ඒ. නසාර් යන මහත්වරුන්, එජාප හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්, කලාප සංවිධායකවරුන්, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT