ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේදී පවත්වන ලද හෙද සමුළුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබේ.රජයේ හෙද හෙදියන් රාජාකාරි නිල ඇඳුමෙන් එම සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබීම හේතුවෙන් මෙම වාර්තාව කැඳවා තිබේ.
අදාළ සමුළුව පැවැත්මට සහභාගිවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාද හෙද නිලධාරීන්ට රාජකාරි නිවාඩු අනුමත කර තිබිණ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා ද සඳහන් කරන්නේ අදාළ සමුළුවට නිල ඇඳුමෙන් හෙද නිලධාරීන් සහභාගිවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි.
අදාල හෙදියන් සදහා නිවාඩු අනුමත කර තිබුණේ පසුගිය මැයි මාසයේ බවත් එම නිවාඩුව ලබාදී තිබුණේ වාර්ෂික වෘත්තිය සමිති සමුළුවට සහභාගි වීම සඳහා පමණක් බවත් හෙතෙම කියා සිටී.
කිසිම ආකාරයේ දේශපාලන කටයුත්තකට සහභාගී වීමට ඔවුනට අනුමැතිය ලබා දී නැති හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.