Local

ධර්මය-ශාසනය විකෘති කරන අයට එරෙහිව නීති ගේන්න

Monday, 15 January 2024 - 10:53 am

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ධර්ම විකෘතීන්හි හා ශාසන විකෘතීන්හි යෙදෙමින් පටු ලාභාපේක්ෂාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනයට කටයුතු කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතියේ හර පද්ධතීන්ට හානි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව උන්වහන්සේලා අදාළ ලිපිය මඟින් ජනපතිවරයාගේ අවධානයට යොමුකර ඇත.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් යුතුව ජනපතිවරයා වෙත යොමුකර තිබෙන ලිපියේ මෙසේද සඳහන් වෙයි.

විවිධ පටු ලාභාපේක්ෂාවන්ගෙන් ගිහි – පැවිදි පිරිස් සංවිධානාත්මකව බුදු දහමේ ගාම්භීරත්වය මෙන්ම සුනිශිතභාවය විනාශ කරමින් ධර්ම හානියක් මෙන්ම ශාසනික හානියක් සිදු කිරීමේ අන්තවාදී ක්‍රියාදාමයක නිරතව සිටී. මෙම අප්‍රතිකාරී සංවිධානාත්මක ක්‍රියා පිළිවෙතෙහි වඩාත් මෑත කාලීන නිදර්ශන වනුයේ තමන් අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් ලෙස හඳුන්වා දෙමින් බෞද්ධ මහජනතාව නොමඟ යවමින් බෞද්ධ දාර්ශනික හර පද්ධතීන් විනාශ කිරීමට පුද්ගලයෙක් කටයුතු කිරීම හා ජීවිතයේ යථාර්ථය පිළිබඳ බෞද්ධ දේශනාවන් සාවද්‍ය ලෙස විස්තර කරමින් අසරණ මහජනතාව නොමඟ යවමින් සදාකාලික සැපය ලබා ගැනීම උදෙසා පුද්ගලයන් සියදිවි නසා ගැනීමට පෙළඹවීමයි.

මීටපෙර ද විවිධ පුද්ගලයන් චිරාගත භික්‍ෂු භූමිකාවට හානි කිරීම, බුද්ධ චරිතය විකෘති කිරීම බෞද්ධ මහජනතාවගේ වන්දනාවට පාත්‍රවන පූජනීය වස්තූන් පිළිබඳ නිග්‍රහාත්මක ප්‍රකාශයන් සිදු කිරීම වැනි අන්තගාමී සමාජ කැළඹීමකට තුඩුදෙන ක්‍රියාවන් සිදු කරමින් බෞද්ධ මහජනතාව නොමඟ යැවීමට විවිධ ප්‍රයත්නයන්හි නිරත වූ ආකාරය අපහට නිරීක්‍ෂණය විය. එම සෑම සිදුවීමක් පිටුපසම යම් සංවිධානාත්මක කණ්ඩායම් ක්‍රියාත්මක වූ ආකාරය හා ඇතැම් අන්තවාදී සංවිධාන මඟින් එවැනි පුද්ගලයන්ට සුවිසල් මූල්‍යමය දායකත්වයක් ලබාදුන් ආකාරය පිළිබඳවත් කරුණු හෙළි විය.

බුදු දහම විනාශ කිරීමට උත්සාහ දරන මෙවැනි පුද්ගලයන්ගේ හැසිරීම තවදුරටත් හුදු සිද්ධීන් ලෙස ලඝුකොට සැලකිය නොහැකි බව ප්‍රත්‍යක්‍ෂ වී හමාර ය. එහෙයින් සංවිධානාත්මකව උතුම් සම්බුද්ධ දේශනාවන්ගේ සුනිශිත අර්ථයන් කෙලෙසමින් අනුක්‍රමයෙන් සිදු කරන මෙවැනි සිදුවීම් හුදෙකලා කොට විසඳුම් සෙවීම වෙනුවට යළි ලාංකේය සමාජය තුළ මෙවැනි ධර්ම විකෘතීන් හා ශාසන විකෘතීන් සිදු කිරීම වැළැක්වීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීමට කාලය එළඹ ඇත. එසේම එවැනි ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරමින් බෞද්ධ මහජනතාව නොමඟ යවමින් සමාජ කැළඹීම් ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එවැනි ප්‍රකාශන ප්‍රවර්ධනය නියාමනය සිදු කිරීමට නෛතික ප්‍රතිපාදන සම්පාදනය කිරීම ද කාලීන අවශ්‍යතාවකි.

එහෙයින් සම්බුද්ධ ශාසනයේ සුරක්‍ෂාව ප්‍රවර්ධනය හා පෝෂණය උදෙසා බැඳී සිටින ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිපතිතුමන් ලෙස මේ පිළිබඳ ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමුකොට ධර්ම විකෘතීන්හි හා ශාසන විකෘතීන්හි යෙදෙමින් පටු ලාභාපේක්‍ෂාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනයට කටයුතු කරන ලෙස හිතාධ්‍යාශයෙන් යුතුව දන්වා සිටිම්හ.මේ පිළිබඳ ඔබතුමන්ගේ කඩිනම් අවධානය අගය කරන අතර ම ඔබතුමන්ට රත්නත්‍රයේ ආශීර්වාදය සැලසේවායි ආශිංසනය කරම්හ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT