Local

නඩු භාණ්ඩ කාමරයේ විස්කි අතුරුදන් වීම: සොකෝ වාර්තාවක් කැඳවීමට සීසීඩියට අවසර

Wednesday, 31 July 2024 - 9:15 am

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් මිලියන 20 ට අධික වටිනාකමින් යුත් විදේශීය රටවල නිෂ්පාදිත මත්පැන් බෝතල් 1194 ක් අස්ථානගතවීමේ සිද්ධියට අදාළව කොළඹ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන්ගේ (සොකෝ) වාර්තාවක් කැඳවීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ (30) අවසර ලබා දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා කොළඹ අපරාධ පරීක්ෂණාගාර නිලධාරින් මගින් වාර්තාවක් කැඳවීමට අවසර ලබාදෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ හිටපු භාරකරුවා බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු අගෝස්තු මස 13 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ අත්සන් ඇතුළු ලිපි ලේඛන රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පෙර නඩු වාරයේදී කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝගයක් නිකුත් කර තිබුණි.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලබාදී තිබූ නියෝග සාවද්‍ය ලෙස පරිහරණය කරමින් මෙම සැකකාර පුද්ගලයා එම වංචාව කර ඇති බවට සිදු කරන ලද මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවද එම විමර්ශනය නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් අනාවරණය විය.

මෙම සැකකාර පුද්ගලයා හිටපු ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා නඩු භාණ්ඩ කාමරයට මුද්‍රා තබා ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවද එම විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.

සාවද්‍ය පරිහරණය හා සාපරාධී විශ්වාසය කඩකිරීම, සොරබඩු පැහැරගැනීම යන චෝදනා යටතේ හා පොදු දේපළ පනත යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

සොරාගත් මත්පැන් බෝතල් කීපයක් සාද පැවැත්වීම සඳහා යොදාගෙන ඇති බවත් සෙසු මත්පැන් බෝතල්වලට කුමක් කළේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බව එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී.බී.ජේ. නිශාන්ත මහතා පෙර නඩු වාරයේදී අධිකරණයට දැනුම්දී තිබුණි.

සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබූ මත්පැන් බෝතල් තොගය නඩු විභාගයෙන් අනතුරුව එම අධිකරණය මගින් රාජසන්තක කර ඇති බවත් මත්පැන් බෝතල් හිමිකරු එම නියෝගයට එරෙහිව මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර ඇති නමුත් එම අධිකරණය ද එම නියෝගය අනුමත කර ඇති බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබූ නියෝගය තහවුරු කරමින් මහාධිකරණය මගින් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යවන ලද නඩු ගොනුව ද අතුරුදන්ව ඇති බව විමර්ශනවලදී පෙනී ගිය බවද එම විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වාදී තිබුණි.

ඒ. ජේ. ඒ. අබේනායක

ඒ. ජේ. ඒ. අබේනායක


Top Stories
wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT