ශ්‍රී ලංකා – ඉන්දියා ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා අද (20) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර, දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ ඇමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තහවුරු කර තිබෙන අතර මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන අගෝස්තු මාසයේදී මෙරට සංචාරයකට එක්වන බව ද ඊට පෙර විදේශ ඇමැතිවරයා මෙරටට පැමිණෙන බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඉන්දීය ආධාර මත මෙරට ක්‍රියාත්මක සහ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති සමාලෝචනය කිරීමට අපේක්ෂා කරන ඉන්දීය විදේශ ඇමැතිවරයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳ සොයා බලනු ඇත. පසුගිය ජූලි මාසයේදී අත්සන් කළ ශ්‍රී ලංකා ඉන්දීය ආර්ථික හවුල්කාරිත්ව දැක්ම යටතේ දෙරට අතර සම්බන්ධතාව වැඩිදියුණු කරගත හැකි ආකාරය පිළිබඳව ද සොයා බැලීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලයේදී ඉන්දීය විදේශ ඇමැතිවරයා සාකච්ඡා කිහිපයකට එක්වීමට නියමිතව තිබෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහත්වරුන් හමුවීමට ද නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.