Local

ආදරණීය විජය ඔබ නැතුව අවුරුදු තිස්හයක් ගෙවුණා

Sunday, 18 February 2024 - 12:57 pm

විජය කුමාරතුංග ගැන මේ සටහන ලියද්දි මගේ සිතට එන සිතුවිලි නොයෙක් අත පියඹා යයි. ඒවා අනුපිළිවෙළින් ගළපා ගැනීමට හැකි තාක් මම උත්සාහ දරමි. එදා මෙදාතුර දේශීය සිනමාව බිහිකළ ජනප්‍රියතම සුපිරි තරුව (The Most Famous Sri Lankan Mega Star) කෝවිලගේ විජය ඇන්ටන් කුමාරතුංගය.

විජය ගැන මගේ සිතට නැඟෙන අමතක නොවන සංවේදී සිද්ධියකින් මෙම ලිපිය ආරම්භ කිරීමට සිතුවෙමි. 1979 වසරේ අප්‍රේල් විජය ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය රඟන අසීරු දර්ශනයක් රූ ගත වන බව චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුනිල් ආරියරත්නයන් හා නිෂ්පාදක ඇලරික් ලයනල් ප්‍රනාන්දු කල් තියා “සරසවිය” පත්‍රයට කියා තිබුණි. අපේ ප්‍රධාන කර්තෘගේ උපදෙස් පරිදි මමත් කැමරා ශිල්පියෙකු ද සමඟ කියූ දිනයට නිෂ්පාදකවරයාට අයත් කඳානේ විශාල ඉඩමට ගියෙමු. විජයව කුරුසයක තබා ඇණ ගසා මිය යන ඒ දර්ශනය දැක ගැනීමට දිවයිනේ නන්දෙසින් විශාල පිරිසක් අව්රශ්මිය නොතකා රොද බඳින්නට වූහ. දර්ශනය නිමා කළ සැණින් ස්වභාවිකව මහ හඬින් අහස ගුගුරුවමින් විදුලි කොටමින් ධාරාණිපාත වැස්සක් ඇද හැලුණේය. කෘත්‍රිම වැස්සක් මැවීමට සූදානමින් සිටි ගිනි නිවන හමුදාවට සිදු වූයේ කිසිවක් කර ගත නොහැකිව උපේක්ෂාවෙන් බලා සිටීමට පමණය. ක්‍රිස්තුතුමා මිය ගියේ සවසකය. දර්ශනය රූ ගත කළේ ද මළහිරු බසින හැන්දෑවකය. පැමිණ සිටි මහා ජන ගංගාව වැස්සේ තෙමි තෙමි හඬා වැලපුණි. ඇතැමුන් ක්ලාන්ත වී බිම ඇද වැටුණි.

ගඟ අද්දර

ගඟ අද්දර

“ක්‍රිස්තුස් ලෙස රඟ පා මා මළත් කමක් නැහැ” යැයි විජය රූපගත කිරීම් නිමා වූ පසු කියා තිබුණි. විජය ගොන්සාල්වේස් ප්‍රබන්ධවලට සමාන ගී පැබඳූ කිහිපයක් චිත්‍රපටයට සම්බන්ධ කිරීම ගැන අධ්‍යක්ෂක මහාචාර්ය ආරියරත්න සමඟ සාකච්ඡා කර තිබුණි. එය තේමා ගීතයක ස්වරූපය ගත යුතු බවත්, එය නන්දා මාලිනිය ගායනා කළ යුතු බවත් විජයගේ මතය විය. චිත්‍රපටයට ඇතුළත් මේ ගීතය විජය මිය ගිය පසු නන්දා මාලිනිය ගැයුවාය.

කොටහේනේ ශාන්ත බෙනඩික්ට්, කඳානේ ද මැසනොද් විද්‍යාලවල ඉගෙනුම ලැබූ විජයට කුඩා කල සිට සමසමාජ පන්නරය ලැබුණේ තම මවගේ සොහොයුරා වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ආභාසයෙනි. මේ නිසා විජය තම සොහොයුරු සිඩ්නි කුමාරතුංග සමඟ බයිසිකලයක නැඟී ගම පුරා ගියේය. (සිඩ්නි ජීවන් කුමාරතුංගගේ පියාය)

විජය සමඟ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ එකම පන්තියේ ඉගෙනුම ලැබූ රවින්ද්‍ර රන්දෙණිය (එකල බොනිෆස් පෙරේරා), සුදේශ ගුණරත්න (චිත්‍රපට රංගන ශිල්පී), මිල්රෝයි ධර්මරත්න (ධර්මරත්න බ්‍රදර්ස් සංගීත කණ්ඩායමේ නායක) කියා තිබුණේ විජය පාසලේ වඩාත් ප්‍රකටව සිටියේ දක්ෂතම කතිකයා ලෙස රන් පදක්කම දිනූ කඩවසම් තරුණයා ලෙසටය. මේ පන්ති මිතුරෝ තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ පන්තියක සිටි රොබින් ප්‍රනාන්දුගේ ජූඩෝ, කරාටේ දස්කම් බැලීමට ගියහ. රොබින් ගිනි වළලු හතකින් පනිනු දැක ඔවුහු අමානන්දයට පත් වූහ. දෛවය නම් විජය, රවින්ද්‍ර හා රොබින් ජනප්‍රිය තරු ලෙස සිනමාවේ බැබළීමය.

විජයගේ කථිකත්වය පෝෂණය කළේ පන්ති භාර ගුරුවරයා වූයේ විල්ප්‍රඩ් පෙරේරාය. සමසමාජ පන්නරය ලැබූ ගුරුතරුවගේ සොහොයුරා වූයේ ජා-ඇළ තුඩැල්ලේ පදිංචිව සිටි විකට රංගනයේ පරතරෙට ගිය ඇන්තනී සී. පෙරේරාය. ඔහු ද වාමවාදියෙකි.

ගම්පතිවරයකු වූ විජයගේ පියා බෙන්ජමින් කුමාරතුංග නාඩගම්වලට පෙම් බැඳි කලාකරුවෙකි. පියා එකල ටවර් වේදිකාවේ ජය කෙහෙලි නැං වූ පර්ල් වාසුදේවි සමඟ රඟපෑ ඡායාරූපයක් විජයගේ මහ ගෙදර එල්ලා තිබුණි.

විජයගේ සිතේ නළුවෙකු වීමට මුල්ම සිතුවිල්ල ඇති වන්නේ කටුනායක පැවත් වූ මහා සංගීත ප්‍රසංගයක් නැරඹීමෙන් පසුවය. එදා ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා වූයේ සුපිරි රංගවේදී ගාමිණී ෆොන්සේකා වටකර ගත් ජන ගංගාව දැකීමෙනි. විජයට අවශ්‍යව ඇත්තේ චිත්‍රපට නළුවෙකු වීමටය. 1965දී රාජගිරියේ කෝට්ටේ පාරේ ශේෂා පලිහක්කාරගේ රංගන පාසලට ඇතුළත් වී රඟපෑම ගැන ඉගෙන ගැනීමටය. එහිදී ප්‍රවීණ ගුවන්විදුලි හා නාට්‍ය නිෂ්පාදක පී. වැලිකල සහ ජේ.එච්. ජයවර්ධන යටතේ නාට්‍ය රඟපෑම හැදෑරුවේය. ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කිරීමට සිටි “පුරන් අප්පු” චිත්‍රපටයට තෝරාගෙන අසුන් පිට යාමට ද ඔහු පුහුණුව ලැබීය. එහෙත් හා හා පුරා කියා චිත්‍රපටයක රඟපෑවේ “මනමාලයෝ” චිත්‍රපටයේ සමූහ දර්ශනයකය.

විජය තමා තෝරා ගත්තේ නළුකම ද නො එසේ නම් කුඩා කල ඇලුම් කළ උප පොලිස් පරීක්ෂකවරයකු වීමට ද යන සිතුවිල්ලේ අතරමං වී සිටියේය. සිනමා පුවත්පතක තිබූ අඟල් 4ක පමණ දැන්වීමක් කෙරෙහි ඔහුගේ අවධානය යොමු විය.

“නළු නිළියෝ කොල්ලන්ගේ කතාව. කෙල්ලන්ගේ කතාව. ඔබේ ජීවිත කතාව ඔබට රඟපාන්නට හැකි නම් අවස්ථාවක් දෙන්නට අධ්‍යාපන සුදුසුකම් සහිතව මෑතකදී ගත් ඡායාරූපයක් සමඟ විමසන්න. සීමාසහිත සමකාලීන චිත්‍රපට, අංක 40 හේග් පාර, කොළඹ 04.”

වරදට දඬුවම්

වරදට දඬුවම්

“අද මගේ හොඳම දවස. 21 වැනි උපන්දිනය. පුංචි කාලයේ ඉඳලාම සිහින මැවූ චිත්‍රපට නළුවෙකු වීමේ වාසනාව මේ දැන්වීම උදා කරාවීද විජය සිතුවේය. මම දැන්ම මේකට ලියුමක් දානවා. ” තරුණයා හිත හදා ගත්තේය.

“මල්ලි නළුවෙක් වෙන්න ආස නිසා මේ පරීක්ෂණයට යන්නම ඕනෑ. මල්ලිව තෝරා ගනිවි. ” විජයගේ සොහොයුරු සිඩ්නිගේ බිරිය තිරිස් අක්කා විජයට දිරි දුන්නා පමණක් නොව කොළඹට යාමට ගමන් වියදම් ද දුන්නාය.

පරීක්ෂණයට 400ක් පමණ පැමිණ සිටි තරුණයන් අතර විජය කැපී පෙනුනේය. පරීක්ෂක මණ්ඩලයට ධර්මසේන පතිරාජ, විජය ධර්ම ශ්‍රී, බර්ටි ගුණසේකර, බර්ටි ජයසේකර, සුගතපාල සෙනරත් යාපා (අධ්‍යක්ෂ), ඒ.බී. රාජ් (නිෂ්පාදක), සෝමපාල ලැනරෝල් (සහාය අධ්‍යක්ෂ) අය සහභාගි වූහ. ඔය කොණ්ඩය නම් කපන්න වෙනවා. විජය කැමති ද? අධ්‍යක්ෂවරයා සිනාසෙමින් කීවේය.

විජයට දවල් තරු පෙනුනේය.

විජයගේ නම දිග වැඩි යැයි අධ්‍යක්ෂ යළිත් කීවේය. ඔයා එවපු ඉල්ලුම් පත්‍රයේ තිබුණ කේ.ඒ.ඩබ්ලිව්. සිල්වා (කෝවිලගේ ඇන්ටන් විජය සිල්වා) දිග වැඩියි. අපි ඔයාව සිනමාවට හඳුන්වා දෙන්නේ විජය කුමාරතුංග නමින්.

බර්ටි ගුණසේකර (එවකට උපාධියට සූදානම්ව සිටි) විජයගේ කොණ්ඩය කැපීමට පේරාදෙණිය බාබර් සාප්පුවකට එක්කන් ගියා. කොණ්ඩය කපද්දි විජය කණ්ණාඩියෙන් බලා මහා හයියෙන් ඉකි ගස ගසා අඬන්න පටන් ගත්තා. බර්ටි විජයගේ සිත සනසා විශ්වවිද්‍යාලයට ගෙන ගියේය. විජය දෙබස් කියන විට හන්තාන කන්ද අසල සිට නොනවත්වා ‘හූ’ කියන්න සිසුන් පිරිසක් සිටියෝය. මේ ‘හූ’ කියන කණ්ඩායමේ නායකයා වුණේ එඩ්මන්ඩ් ජයසිංහය. පසුකලෙක විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, ශ්‍රී ලංකාවේ තානාපති තනතුරු ද ලේක්හවුස්හි සභාපති ධුරය ද හෙබ විය. පසුකලෙක ඔහු ගඟ අද්දර, ඉන්දුට මල් මිටක්, අනුරාධා චිත්‍රපටවල රඟපෑවේය.

පසුව එඩ්මන්ඩ් චිත්‍රපටයේ රඟපෑමට යොමු කිරීමට පතී, ජයසේකර, ගුණසේකරලා සමත් වූහ.

විජය ගමේ වඩාත් කැපී පෙනී ඇත්තේ දක්ෂ එල්ලෙ ක්‍රීඩකයකු ලෙසය. “දිලෙන තරු” ක්‍රීඩා සමාජයේ ප්‍රබලම ක්‍රීඩකයා වූ විජයගේ දස්කම් බැලීමට රූමත් තරුණියක් පැමිණි බවත් ඇයට තම සොහොයුරා අවංකව ආදරය කළ බව රූපා අක්කා පුවත්පතකට කියා තිබුණාය. විජයගේ ප්‍රථම ආදරය වියැකී ගියේ මේ තරුණිය තම ගමින් අතුරුදන් වූ නිසා බව රූපා අක්කා අපට කීවාය.

විජය සිත තුළ සැඟ වී තිබූ දේශපාලනඥයා මතු වූයේ 1977 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කටාන අසුනට ශ්‍රී.ල.නි.පක්ෂයෙන් තරග කිරීමෙනි. මේ මැතිවරණයේදී ඔහුට එරෙහිව සිටි නළු නිළියන් මෙන්ම ගායක ගායිකාවන් රැසක් රොද බැඳ ගත්හ. එහෙත් උග්‍ර යූ.ඇන්.පී. හිතවතෙකු වූ එච්.ආර්. ජෝතිපාල සංවිධායකයන්ට කියා තිබුණේ තමා විජය තරග වදින ආසනයේ යූ.ඇන්.පී. රැස්වීම්වල ගී ගැයීමෙන් වැළකී සිටින බවය. එය එසේම සිදු විය.

ජෝතිපාලගේ ඒ කෙළෙහි ගුණය අගය කළ විජය කියා සිටියේ තමා රඟපාන හැම චිත්‍රපටයකම පසුබිම් ගී ගැයීම ජෝතිව තෝරා ගන්නයි තමා නිෂ්පාදකයන්ට කී බවය. චිත්‍රපට නිෂ්පාදකයන් ඒ කොන්දේසියට එකඟ වී ඇත.

අනුර බණ්ඩාරනායක වරක් පුවත්පතකට කියා තිබුණේ විජය කටානට තරග කරන කාලයේ චන්ද්‍රිකා කෙසේ හෝ සහභාගි කර ගැනීමට ගත් උත්සාහය නිසා මේ දෙදෙනා අතර ඔවුන් සිත් ඇති වූ බවයි. විජය කටාන හා මින්නේරිය ආසනවලින් පරාජය වුවත් විජය හා චන්ද්‍රිකාගේ ප්‍රේමයට එය බාධාවක් නොවීය. 1981 වසරේ රුසියාවේ පැවැත් වූ ලෝක තරුණ සම්මේලනයෙහි ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට විජය සමඟ බන්දුල ගුණවර්ධන, ඔසී අබේගුණසේකර ආදීහු සහභාගි වූහ. මේ තොරතුරු ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ගැන ලියූ “සිංහල සිනමාවේ බන්ධුත්වය” කෘතියේ සඳහන් වෙයි. එහි ඡායාරූපයක් ද පළ වී තිබුණි.

60 දශකයේ ගාමිණී ෆොන්සේකා සිනමාවේ ස්ථාපිත කළ ජවසම්පන්න වීර ප්‍රතිරූපයට වෙනස් මඟක් ගෙන එය විජය විසින් තහවුරු කළේ 70 දශකයේ සිංහල සිනමාවේ සැහැල්ලු, විනෝදකාමී පෙම්වතාගේ ප්‍රතිරූපයයි. ඔහු රඟපෑ වාණිජමය වශයෙන් අතිසාර්ථක වූ (The First Magar Hit) “තුෂාරා” මෙහි ඇරඹුමය. දේශීය සිනමාවේ අමරණීය පෙම් යුවළ වූ විජය හා මාලිනී සුසංයෝගය විසින් අපට ජනප්‍රිය හා සිනමානුරූපී චිත්‍රපට රාශියක් දායාද කළහ. ගාමිණීගෙන් පසු දේශීය සිනමාවේ නොම්මර එකේ නළුවා වූ විජය සයවතාවක් සරසවිය සම්මානයට පාත්‍ර විය. විජයගේ ජනප්‍රියත්වය ගැන කතා කරමින් ගාමිණි ෆොන්සේකා පැවසුවේ ඔහුට මේ සම්මාන ලැබිය යුතුව තිබූ බවය.

විජය චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙනෙවිය විවාහ කර ගන්නා බව ඇසූ විජයගේ මව ද රූපා අක්කා ද මවිතයට පත් වූහ.

අපට වඩා වංශවත් කුලවත් පවුලක් අපේ පවුලට සෑහෙනවාද? කියා රූපාවතී පුවත්පතක කියා තිබුණාය.

විජය ජීවත්ව සිටියදී සමීපතම මිතුරන් අතර අග්‍ර ස්ථානයේ සිටි සෑම උදෑසනකම ජාති, ආගම්, පක්ෂ පසෙකලා සමමෙත් දක්වා “සුබ උපන් දිනයක් වේවා!යි සුබපතන සිරි කහවලයන්ගෙන් (විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ හිටපු හින්දි භාෂා කථිකාචාර්ය) මාධ්‍යවේදියෙක් මෙසේ ඇසුවේය.

“සිරි මහත්තයා හැමෝටම සුබ පතනවා. ඇයි ඔබගේ උපන්දිනය සමරන්නෙ නැත්තේ”

“මගේ උපන්දිනය දවසකයි විජයව ඝාතනය කළේ. එදාට මම ආදරණීය විජය සිහි කරමින් වේදනාවෙන් සිටිනවා” කහවලයන් කීවේය.

1945 වර්ෂයේ ඔක්තෝබර් 09 වැනිදා උපන් විජය 1988 වසරේ මිය යන්නේ අපට සදා නොමැකෙන මතකයක් ඉතිරි කරමිනි.


Top Stories
wedivistara

ලංකාවට අද එන අමෙරිකාවේ ඩොනල්ඩ් ලූ

wedivistara

ජුනි 01වැනිදා සිට ඉතාලියේ වීසා දෙන්නේ VFS ආයතනයෙන්

wedivistara

නෙළුම් කුළුණේ Base Jump සිදුකරමින් සිටි විදේශිකයෙකු තුවාල ලබයි

wedivistara

විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

wedivistara

විරෝධතාකරුවන් පිරිසකට උද්ඝෝෂණයක් තහනම් කරමින් අධිකරණ නියෝගයක්

wedivistara

O/L ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය WhatsApp සමූහයකට මුදා හැරීමේ සිද්ධියට සැකපි​ට තවත් අයෙක් අත්අඩංගුවට

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ වෙයි

wedivistara

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්


NEWS ALERT