රනිල්ගේ, සජිත්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරය වී තිබෙන්නේ එහාට මෙහාට පනින අය එකතු කර ගැනීම පමණක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි. ඔවුන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයම පවත්වාගෙන යන්නේ අවලාදවලින් බවට ඔහු චෝදනා කරයි.
අපි බලයට ආවොත් ඇත්කඳ විහාරයේ පෙරහර නතර කරනවා කියපු සජබෙ වේදිකාවෙ මන්ත්‍රිවරයෙක් තිස් හතළිස් වතාවක් විවිධ පණිවුඩ එවමින් ජාතික ජන බලවේගයට එක් වීමට උත්සාහ දැරූ පුද්ගලයෙක් බවද අනුර දිසානායක මහතා අනාවරණය කළේය. ජාතික ජන බලවේගයේ විශේෂ මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ අදහස් පළ කළේය. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.
“ජාතික ජන බලවේගය කියන්නේ සංවිධාන විශාල සංඛ්‍යාවකින් සැදුම්ලත් ව්‍යාපාරයක්. ඒ සංවිධානවල සහෝදරවරු ගණනාවක් මෙම අවස්ථාවට සහභාගි වී සිටිනවා.
මේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් අමාත්‍ය ධුර දරමින් මේ රට ප්‍රපාතයට හෙළපු කැත දේශපාලන සංස්කෘතියක් ඇති කළ පිරිස් එහාට මෙහාට පනිමින් ඉන්නවා. කොටසක් රනිල් වික්‍රමසිංහ බෙදා ගන්න උත්සාහ කරනවා. තව කොටසක් සජිත් ප්‍රේමදාස ළඟ. තවත් කොටසක් නාමල් රාජපක්ෂ ළඟ. ඒක තමයි ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය. ජාතික ජන බලවේගය හැටියට අපි දිගු කාලයක් මේ මැතිවරණයට සූදානම් වෙමින්, නීතිඥවරුන්, ඉන්ජිනේරුවරුන්, කලාකරුවන්, වෘත්තීයවේදීන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්,
විශ්‍රාමික පොලිස් සාමාජිකයන්, ආබාධිත වූවන් සහ විවිධ වෘත්තීන් අනුව පිහිටුවා ගත් සංවිධාන පෙළගැසෙමින් ඉදිරියට පැමිණියා. අපේ බලවේගය බවට පත් කරගෙන තිබෙන්නේ මහජන බලවේගයයි. ඔවුන්ගේ බලවේගය බවට පත් කරගෙන තිබෙන්නේ පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට පනින අයයි. දේශපාලන පොරපිටියේ ප්‍රතිපත්තිගරුකව ක්‍රියා කරන්නේ ජාතික ජන බලවේගය පමණයි. අනෙක් කඳවුරේ විවිධ කණ්ඩායම් ප්‍රතිපත්ති හෝ පක්ෂ හෝ සොයාගන්න බැරි තත්ත්වයකට පත්වී සිටිනවා.
පසුගිය 17 වැනිදා රුහුණෙන් අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. ඊට පසු කිරිබත්ගොඩ සහ කොළොන්නාවේ ජනතාව හමුවුණා. මේ අය ඉතිහාසයේ කළේ මොනවාද? තිබෙන තත්ත්වය මොකක්ද? මේ රට මුදා ගැනීමේ මාවත මොකක්ද? ආදී කරුණු ගැන අපි කතා කරනවා. පවතින තත්ත්වයෙන් රට මුදාගැනීමට ජනතාවගේ මැදිහත්වීම අවශ්‍ය වන්නේ ඇයි කියන දේ අපි ජනතාවට පැහැදිලි කර දෙනවා. දේශපාලන බලය පොදු ජනතාවගේ අතට මාරු වෙයි කියා දූෂිත කල්ලිය කවදාවත් කල්පනා කළේ නැහැ.
දීර්ඝ කාලයක් ආණ්ඩු කළ ඇමැති ධුර දැරූ අය පිල්වලට බෙදී ඉන්න අතරේ මේ දේශපාලන සූදුව නිමා කිරීමට ප්‍රතිපත්තිගරුකව, සැලැසුම්සහගතව මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන අපිට එරෙහිව සතුරන් අසත්‍ය සහ අවලාද නඟමින් යනවා. කුරුණෑගල වේදිකාවක එක් මන්ත්‍රිවරයෙක් ප්‍රකාශයක් කළා අපි බලයට ආවොත් ඇත්කඳ විහාරයේ පෙරහර නතර කරනවා කියලා. අපි කවදාවත් ඒ මන්ත්‍රිවරුන් ගැන කියන්න නොසිතූ දේවල් දැන් කියන්න සිදුවෙලා තිබෙනවා. ඔහු අප සමඟ එක්වීමට තිස්හතළිස් වතාවක්
ආවා. අපට පක්ෂපාතී කරුණු එළියේදී ඉදිරිපත් කර ඒ බව වට්ස්ඇප්වලින් අපට එවා තිබුණා. ඔහු අද වෙන වේදිකාවල ඉතාමත් බාල අවලාද නඟනවා. මේ රටේ ශිෂ්ටාචාරය, සමාජය ගොඩනැඟී තිබෙන ආකාරය ගැන ඉතා හොඳ අවබෝධයක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් අපි. සෑම ජන ප්රජාවකටම තමන්ට අනන්‍ය වූ සංස්කෘතීන් තිබෙනවා. ඒ අනන්‍ය වූ සංස්කෘතික උත්සව, ආගමික උත්සව මෙන්ම අනන්‍ය වූ ආගමික සම්ප්‍රදායන් ආරක්ෂා කරමින්, රැකබලාගෙන අනාගතයට පවරා දීම අපගේ අපේක්ෂාවයි.
තව පිරිසක් රත්නපුරයට ගිහින් කියනවා, අපේ පාලනයක් යටතේ පතල් කැණීම් සම්පූර්ණයෙන් නතර කරනවා කියලා. ඇත්තටම අපේ අපේක්ෂාව හොංකොං නගරයට කේන්ද්‍රගත වී තිබෙන ජාත්‍යන්තර මැණික් වෙළෙඳපොළ මධ්‍යස්ථානය අප වෙත ලබා ගැනීමයි. අපේ අපේක්ෂාව විවිධ ආකාරයෙන් විකෘති කරනවා.
අපේ පාලනයක් යටතේ විරුද්ධවාදීන්ගෙන් පළිගනී යැයි තව පැත්තකින් බියක් හදනවා. එක්දහස් නවසිය හැත්තෑහතේ බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන පොලිසියට සති දෙකක් නිවාඩු දුන්නා. විරුද්ධවාදීන් ඝාතනය කිරීම, වධ හිංසා කිරීම, ගෙවල් ගිනි තැබීම වැනි ක්‍රියාවලට අනුබල දී ඔවුන් මැතිවරණ ජය සැමරුවා. ඉන් පසු රාජ්‍ය ආයතනවල සේවකයන් රාජකාරිවලට පැමිණීමට නොහැකි ලෙස මර්දනය දියත් කරමින් දේශපාලන ජය සැමරුවා. නමුත්, ජාතික ජන බලවේගයේ ජයග්රහණයෙන් පසුව අනෙක් පක්ෂවලට ඡන්දය දුන් සහ ක්‍රියාකාරී වූ කිසිවකුට නිය පිටින් හිංසාවක්, පීඩාවක් නොවෙන්නට වගබලා ගැනීම අප තහවුරු කරනවා. එය අපේ වගකීමක්. නමුත්, ඔවුන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයම අවලාදවලින් පවත්වාගෙන යනවා.
රනිල් වික්‍රමසිංහ හැමතැනම කියනවා ආණ්ඩුව භාරගන්න අපට ආරාධනා කළ අවස්ථාවේ පැනලා ගියා කියලා. රාජපක්ෂලා කිසිම අවස්ථාවක ආණ්ඩු ගන්න අපට ආරාධනා කළේ නැහැ. අප ඒ ගැන පුදුම වෙන්නෙත් නැහැ. රාජපක්ෂලා මල් වට්ටියක තියලා අපට බලය පවරා දෙන්නේ නැහැ. දෙදහස්විසිදෙකේ මැයි ෙදාළොස් වැනිදා ආණ්ඩුව භාරගන්න සූදානම් බවට ගෝඨාභය රාජපක්ෂට ලිඛිතව දැන්වූවා. අඩුම තරමින් එවැනි ලිපියක් ලැබුණු බවටවත් පිළිතුරක් එව්වේ නැහැ. ඊළඟට ජූලි විසිවැනිදා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරා ගැනීමේදී අපට ලැබුණේ ජාතික ජන බලවේගයේ ඡන්ද තුන පමණයි. ඒ වෙලාවේ අපිට ඡන්දය දුන්නේ නැහැනේ. අප කිසිසේත්ම අභියෝග හමුවේ කවදාවත්
පැනලා යන මිනිසුන් නොවෙයි. මේ සියලු කඩාවැටීම් හමුවේත්, අප සූදානමින් සිටින්නේ රට ගොඩනැඟීමේ අභියෝගය භාර ගන්නයි. ඒ නිසා අප නැවත අවධාරණය කරන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා රනිල් වික්‍රමසිංහගේ තරමට හැසිරුණාට කමක් නැහැ. නමුත්, ජනාධිපති ධුරයේ ඔය විධියට කටයුතු කරන්න එපා” කියලයි. අපට අවලාද එල්ල කරමින්, ඉතිහාසයේ ගැටුම්වලදී සිදුවූ ඝාතන පිළිබඳව ප්රචාරක මෙහෙයුමක් දියත් කිරීමට රනිල් සූදානම් වෙනවා. ඒ ප්රචාරක කටයුතු සූදානම් කරන අයම අපිට ඒ පණිවුඩේ දෙනවා. අඩුම වශයෙන් රනිල් වික්‍රමසිංහට ඔවුන්ගේ ඡන්දයවත් ගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඔවුන්ගේ වේදිකාවල මොනවා කිව්වත්, පළමු වතාවට මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැඟීමට ලැබී තිබෙන අවස්ථාව ජයග්‍රහණය කරා ගෙන යන්න හැම දෙනාගේම කැපවීම අප අපේක්ෂා කරනවා.”
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික අධිනීතිඥ ලාල් විජේනායක,
“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ස්වාධීන අපේක්ෂකයකු හැටියටයි. එහෙම නම්, ඔහුව පාලනය කරන්න පක්ෂයක් හෝ පිළිගත් ව්‍යවස්ථාවක් වාගේම විනය පද්ධතියක් නැහැ. එවැනි පුද්ගලයකු මැතිවරණයට ඉදිරිපත් වී ඡන්දය ඉල්ලා සිටීමේදී ඒ සම්බන්ධයෙන් ඡන්දදායකයන් ක්‍රියා කිරීම සුදුසුයිද? මොනවා කරාවි දැයි නොදන්නා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ප්රජාතන්ත්රවාදයට විශාල අභියෝගයක්. මෙවැනි පුද්ගලයෙක් ජනාධිපතිවරණයෙන් ඉදිරිපත් වී සිටීම භයානකයි.”
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානි, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර,
“අපි තීරණය කළා මේ සමාජ වෙනස සිදුකරන්න දේශපාලනයට මැදිහත් වෙන්න ඕනෑ කියලා. මුළු රටම නියෝජනය කරන “ජනෝදානය” සංවිධානයේ අපි ජාතික ජන බලවේගය සමඟ එක් වී ක්‍රියා කරමින් සිටින්නේ ඒ තීරණය අනුවයි. ඔබ කවුරුත් දන්න ඉද්දමල්ගොඩ පියතුමාත් මේ ගමනට විශාල සහයෝගයක් ලබාදුන්නා. අපට තිබෙන්නේ සරල සහ විවෘත දැක්මක්. ධර්මයේ පවතින විමුක්තිකාමී හරයන් මතුකරන ප්‍රතිපත්තිවලට එකඟවී සිටින්නේ ජාතික ජන බලවේගය පමණයි.”
“ජන නියමු කලාකරුවෝ” සංවිධානයේ කීර්ති වැලිසරගේ
“මෙතෙක් කල් ජනතාව තමන්ගේ ඉරණම භාර දුන්නේ පුද්ගලයන්ට මිස දේශපාලන ව්‍යාපාරයකට නොවෙයි. ඒ නිසා ජනතාව මේ වන විට පුද්ගලයන් වෙනුවට මහජන ව්‍යාපාරයක් ලෙස නිර්මාණශීලී මිනිසුන් සිටින ජාතික ජන බලවේගය තෝරාගෙන සිටිනවා. මේ වන විට මිනිසාගේ මනස වෙනස් කරන්න සාහසික බොරු ප්‍රචාර ගෙන යෑම පරදා ප්‍රඥාසම්පන්න බුද්ධිමත් ජනතාවක් රොද බැඳගෙන සිටින බව පැහැදිලියි.”
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් (අනුර කුමාර දිසානායක)
ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපතිවරයා හෙලිකොප්ටර්, රජයේ නිල වාහන ආදිය යොදා ගනිමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් දරන අදහස මොකක් ද?
“මැතිවරණ කොමිසමෙන් ඉතා පැහැදිලි නිර්ණායක ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිර්ණායක කිසිවක් සැලකිල්ලට භාජන නොකරමින් රනිල් වික්‍රමසිංහ මහජන මුදල් සහ රාජ්‍ය දේපොළ යොදා ගනිමින් සිටිනවා. මැතිවරණ කොමිසමෙන් චක්‍රලේඛ නිකුත් කර තිබියදී, එක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම රජයෙන් යැපෙන අතර, මැතිවරණයට ඒ සියලු දෙනා යොදවා සිටිනවා.
විපක්ෂ නායක කාර්යාලය කියන්නේ රජයේ ස්ථානයක්. එය සමඟි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයක් බවට පත් කර ගන්නේ කොහොමද? ‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ’ කීවා වාගේ ලෝකයා හමුවේ ප්රජාතන්ත්රවාදය ගැන නීතිය රැකීම ගැන කතා කරන ඔවුන් ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන්නේ මහජන ධනය සහ දේපොළ අවභාවිත කරමින්.”
පොහොසතුන් සහ ව්‍යාපාරිකයන් තුළ මාලිමාව ගැන අනිසි බියක් ඇතිකරගෙන තිබෙනවා නේද?
“ආණ්ඩුව මුදල් උපයන්නේ නැහැ. මුදල් උපයන්නේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, ගොවියා, ධීවරයා ඇතුළු පිරිසයි. ආණ්ඩුව කරන්නේ ඔවුන් උපයන දෙයින් පංගුවක් බදු හැටියට ගැනීමයි. සෞඛ්‍යය, අධ්‍යාපනය, ප්‍රවාහනය වැනි සේවාවන් වෙනුවෙන් මුදල් යොදවන්න නම්, භාණ්ඩාගාරයට මුදල් එන්න ඕනෑ. ජාතික ජන බලවේගය කරන්නේ අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මේ වනවිට දරාගෙන සිටින බරෙන් නිදහස් කිරීමයි. අපි ඔවුන්ගේ ආයෝජන පුළුල් කරමින්, ලෝක වෙළෙඳපොළ දිනා ගැනීම වෙනුවෙන් පුළුල් සැලැස්මක් සකස් කර තිබෙනවා. ව්‍යාපාරිකයන්ගේ දේපොළ, පොහොසතුන්ගේ දේපොළ පවරා ගැනීම වාගේ අමූලික බොරුවලට අසුවෙන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
ඔබලාට වගේම අනෙකුත් රැලිවලටත් සෙනඟ ඉන්නවා. ඉතින්, මොන වාගේ අභියෝගයක්ද තියෙන්නේ?
“අපට අභියෝගය තිබෙන්නේ අප ගාවමයි. අප ගැන විශ්වාස කරන ජනතාව මුණගැසී ඔවුන් සම්බන්ධ කර ගැනීමේ අභියෝගයයි අපට තිබෙන්නේ. අනෙක් පාර්ශ්වය එල්ල කරන අසත්‍ය, අපහාස, මිථ්‍යා මත නිවැරැදි කිරීමේ අභියෝගය ජය ගනිමින්, ජනතාව අතරට තව තවත් යන්න අපට තිබෙනවා.”
අනුරාධා හේරත්