Local

ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි - රනිල් අනුරට කියයි

Sunday, 22 September 2024 - 9:56 pm

පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහාය දුන් නොදුන් සියලුමදෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාළමේ ගෙන ආ බවත් අභිනව ජනාධිපතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

- උපුටා ගැනීම - 

“ආයුබෝවන්
ආදරණීය පුරවැසියනි,

සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයෙන් මේ රටේ බහුතර ජනතාව තීන්දුවක් ලබා දී තියෙනවා. අපි ඒ තීන්දුවට ගරු කළ යුතුයි. ඒ තීන්දුව ප්‍රකාරව ශ්‍රී ලංකා රාජ්‍යයේ යථා පැවැත්ම තහවුරු කළ යුතුයි.

මීට අවුරුදු දෙකකට කලින් බංකොළොත් වෙලා, ආර්ථික අගාධයකට ඇදවැටී තිබුණ, ඉතාමත්ම අර්බුධකාරී වාතාවරණයකදී මම මේ රට භාර ගත්තා.
ඒ අභියෝගයට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් බොහෝ දෙනෙකුට නොතිබූ අවස්ථාවක තමයි මම ඒ වගකීම භාරගත්තේ.

ඉතිහාසය විසින් මට ලබාදුන් ඒ වගකීම මම සාර්ථකව ඉෂ්ඨ කළා. වසර දෙකක් වැනි කෙටි කාලයකදී මේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගන්න මට හැකියාව ලැබුණා. මගේ දේශපාලන ජීවිතයේ මගේ රට වෙනුවෙන් කරන්න ලැබුණු වටිනාම කාර්යභාරය එය කියලයි මම විශ්වාස කරන්නේ. මම රට භාරගන්නා අවස්ථාවේදී සීයයට හැත්තෑවක්ව පැවති උද්ධමනය බින්දුවයි දශම පහක් (0.5%) දක්වා අඩු කිරීමට මට හැකියාවක් ලැබුණා. ඇමරිකානු ඩොලර් මිලියන විස්සක්ව පැවති මෙරට විදේශ සංචිතය ඇමරිකන් ඩොලර් බිලියන පහයි දශම හතක් දක්වා ඉහළ දැමීමට මට හැකියාවක් ලැබුණා. 

ඒ වගේම ඩොලරයට සාපේක්ෂව තුන්සිය අසූවක්ව පැවති රුපියලේ අගය රුපියල් තුන්සීයක් දක්වා පහත හෙළමින් ශක්තිමත්, ස්ථාවර අගයකට ගෙන ඒමට මට හැකිවුණා. එසේම සෘණ හතයි දශම තුනක්ව (-7.3%) පැවති ආර්ථික වර්ධනය ධන දෙකයි දශම තුනක් (2.3%) දක්වා ඉහළ නැංවීමට මා කටයුතු කලා. ඒ ගැන මම සතුටු වෙනවා. මගේ ඒ ඓතිහාසික දේශපාලනික කාර්යභාරය ගැන මේ රටේ අනාගත පරපුර නිසි ලෙස තක්සේරුවක් ලබාදෙයි කියලා මම විශ්වාස කරනවා. මේ රටේ පාලකයා වශයෙන් ඉතිහාසයේ මට හිමි තැන තීරණය වනුයේ අද නොව අනාගතයේ බව මා දන්නවා. මම නිවැරදි මාර්ගයේ ගිහින් ජනතාවගේ දුක් ගින්දර සෑහෙන දුරකට නිවා දැමුවා. නව ජනාධිපතිතුමාත් ඔහුට ලැබුණු ජනවරම ප්‍රකාරව නිවැරදි මාර්ගය තෝරාගෙන ජනදුක නිවා දමයි කියලා මම බලාපොරොත්තු වෙනවා. 

ඉතාම අභියෝගාත්මක වැල් පාළමේ ශ්‍රී ලංකාව කියන ආදරණීය දරුවා මම හැකිතාක් උපරීම දුරක් ආරක්ෂිතව රැගෙන ආවා. වැල් පාළමේ අවසානය පෙනි පෙනි ඒ ආදරණීය දරුවා අනුර දිසානායක ජනාධිපතිතුමාට භාර දීමට රටේ ජනතාව තීරණය කර තිබෙනවා.

ජනාධිපතිතුමනි, ඔබත් මමත් දෙදෙනාම ආදරය කරන ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම මහත් සෙනෙහසින් ඔබ වෙත භාර දෙනවා. මේ දරුවා මම රැගෙන ආවාටත් වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට ඔබට හැකියාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. බලය ඇතත්, නැතත්, තනතුරු ඇතත්, නැතත්, මේ රටේ ජනතාවට මගෙන් විය යුතු යුතුකම් අදාළ අවස්ථාවේදී කිසිදු පැකිලීමකින් තොරව මා ඉටුකරනවා. මගේ පාලන කාලය තුළදී ඒ සඳහා සහය දුන් නොදුන් සියලුමදෙනාටත්, මේ රටේ සියලුම පුරවැසියන්ටත් ස්තූතියි!”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT