රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනතා අංශයේ ධාවකයා විදියට සමුපකාර ව්‍යාපාරය පත් කරන බවත් ඒ වෙනුවෙන් ස්වාධීන හා ශක්තිමත් සමුපකාර ව්‍යාපාරයක් රටේ ගොඩනැඟීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සමුපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ සාකච්ඡා කිරීමට පසුගියදා (07) කොළඹ, ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති හමුව අමතමිනි. දිවයින පුරා සමුපකාර සමිති ජාලයේ සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරින් ඇතුළු නියෝජිතයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. සමුපකාර ව්‍යාපාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු පියවර ගැන අදහස් හා යෝජනා ඇතුළත් යෝජනාවලියක් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
එසේම සමුප සංවර්ධන උසස් පෙළ පාඨමාලාව (NVQ) හදාරනු ලැබූවන්ට සහතික පත් ප්‍රදානයද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සටන් පාඨ කියමින් මහමඟ ගොස් ජනතාවගේ දුප්පත්කම නැති කළ නොහැකි බවයි.
මෙහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
එදා මේ රටේ සමුප ව්‍යාපාරය ඉතාමත් ශක්තිමත්ව පැවතුණා. නමුත් 1970 ප්‍රතිසංස්කරණවලින් පසුව එය වෙනස් වුණා. සමුප නීතිය වෙනස් කිරීමට කිසිවකු කටයුතු කළේ නැහැ. මම එක්වරක් ඒ ගැන කැබිනට් මණ්ඩලයෙන් ප්‍රශ්න කළා. නමුත් අමාත්‍යාංශ නිලධාරින් ඒ බලය අතහැරීමට අකමැති වුණා. අද සමුපකාර ව්‍යාපාරය දේශපාලනික වී තිබෙනවා. විවිධ සේවා සමුපකාර සමිතිවල බලය අල්ලා ගැනීමට සාමාජිකයන් ඉදිරිපත් කරනවා. මෙය මහ විහිළුවක් බවට පත්ව තිබෙනවා. අපි ජනතාව වෙනුවෙන් කියා කියන අයම ජනතා ව්‍යාපාරය නැති කරනවා.
අනෙක් සමුප සංවිධානත් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා අප සමුපකාර ව්‍යාපාරය ගැන අලුතින් සිතිය යුතුයි. පසුගිය වසරවලදි සමුපකාර ව්‍යාපාරය මඟින් විශාල සේවයක් වුණා. ඒ අනුව භාණ්ඩ බෙදාහැරීමේ ආයතන නිර්මාණය වුණා. කෙසේ හෝ මේ සමිති සමාගම්වල අනාගතය පිළිබඳ අප සිතිය යුතුයි. මේ රටේ තිබූ පෝලිම් යුගය පිළිබඳ මා අලුතින් සිහිපත් කළයුතු නැහැ. ඔබ දින ගණන් පෝලිම්වල දුක් විඳි අයුරු අමුතුවෙන් කිවයුතු නැහැ. දැන් අප එම තත්ත්වයෙන් ගොඩ එමින් සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රජය අතර ඇති කරගෙන තිබෙන එම ගිවිසුම නිසා අපට ඒ තත්ත්වය උදා කර ගැනීමට හැකි වී තිබෙනවා.
අපට දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහ ණය ලබාදුන් රටවලින් සහනයක් ලැබී තිබෙනවා. අපි එම සහන ලබා ගනිමින් ගිවිසුම ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි. අප එම ගිවිසුම බිඳ දැමුවොත් නැවත පෝලිම් යුගයකට යෑමට සිදු වෙනවා. අපට උදව් කිරීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැහැ. අප 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ඇති කරගෙන ඒවා කඩ කර තිබෙනවා. 17 වන වතාවෙත් මෙය කඩ කළොත් නැවත ක්‍රියාත්මක නොකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබෙනවා. ඒ අනුව පළමු වතාවට එම කරුණු නීතියකට ඇතුළත් කර අප විසින් ආර්ථික පරිවර්තන නීතිය ඉදිරිපත් කර තිබෙනවා. අප ඒ පසුබිම යටතේ වැඩ කළ යුතුයි. මේ ගිවිසුම පදනම් කරගෙන අප ඉදිරියට යා යුතුයි.
වඩා තරගකාරී, නවීන, අපනයන ආර්ථිකයක් කරා අප ගමන් කළයුතුයි. මේ ගමනේදී අපට සාමාන්‍ය ජනතාව අමතක කරන්න බැහැ. ආර්ථික පීඩාකාරී අවස්ථාවන්හි එහි බර දරන්නේ සාමාන්‍ය ජනතාව. නමුත් ආර්ථිකය දියුණු වන විට ඔවුන්ට එහි වැඩි වාසයක් ලැබෙන්නේ නැහැ. එම ක්‍රමය වෙනස් කිරීමට මම තීරණය කළා. ඒ වෙනුවෙන් උරුමය වැඩසටහන යටතේ ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කළා. ඒ වගේම අඩු ආදායම්ලාභී මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට ඒ නිවාස අයිතිය ලබාදීමට අප පියවර ගෙන තිබෙනවා. වතුකරයේ ජනතාව සිටින ලයින් කාමර ප්‍රදේශ ගම්මාන බවට පත් කර ඔවුන්ට ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා.
ඒ වගේම අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. සමෘද්ධිය මඟින් ලැබුණු මුදලට වඩා තුන් ගුණයක මුදලක් ජනතාවට එමඟින් හිමි වෙනවා. එදා සමෘද්ධි ප්රතිලාභ ලැබූ ලක්ෂ 16 වෙනුවට ලක්ෂ 24ක ජනතාවකට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට අප කටයුතු කරනවා. මේ සෑම වැඩසටහනක්ම ක්‍රියාත්මක කර තිබෙන්නේ ජනතාවගේ ආදායම වැඩි කිරීමටයි. වාණිජ බැංකුවල උකස් කරන රන් භාණ්ඩවල වටිනාකම රුපියල් බිලියන 250 සිට 500 දක්වා වැඩි වුණා. මේ අය වෙනුවෙන් අප සහන ක්‍රමයක් ඇති කර තිබෙනවා.
සාම්ප්‍රදායික ආර්ථිකයේ තිබෙන්නේ රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය පමණයි. මේ තුළ ජනතා අංශයක් ද ඇති කිරීමට මම බලාපොරොත්තු වෙනවා. එම ජනතා අංශය ක්‍රියාත්මක වන විට තමන්ට තනි, තනිව වැඩ කරන්න බැහැ. ඒ ජනතා අංශයේ ධාවකයා බවට සමුප ව්‍යාපාරය පත් වෙනවා. සමුපකාර ක්‍රමය මාර්ගයෙන් තමන්ගේ ආදායම් ඉහළ නංවා ගැනීමට ජනතාවට එමඟින් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ අලෙවි ජාලයට පිවිසීමේ අවස්ථාව සමුපකාර ක්‍රමය හරහා ගොවි ජනතාවට ලැබෙනවා. ඒ වෙනුවෙන් සමුපකාර ක්‍රමය සම්පුර්ණයෙන් දියුණු කර මේ ජනතා අංශය ක්‍රියාත්මක කළ යුතුයි. මේ ජනතා අංශය ඇති කිරීමට අපට ස්වාධීන හා ශක්තිමත් සමුප ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ නිසා පවතින සමුපකාර නීතිය සහ ක්‍රමය ඊට සුදුසු නැහැ. ඒ සඳහා අලුත් ක්‍රමයක් ගෙන ආ යුතුයි.
එම කටයුතු වෙනුවෙන් ලබන වසර වන විට ආසියානු සංවර්ධන බැංකුවෙන් උපදේශක කණ්ඩායමක් ලබාදීමට මම කටයුතු කරනවා. සමුපකාර සාමාජිකයන් පාලනය කරන සමුපකාර ව්‍යාපාරයක් ඇති කළ යුතුයි. ආණ්ඩුවේ ඇතැම් අංශ ද ඊට එක් කර ගත හැකියි. අපේ රටේ ආර්ථිකය දියුණු කරන්නේ දුප්පත්කම නැති කිරීමටයි. සටන් පාඨ කියමින් පාරේ ගොස් දුප්පත්කම නැති කරන්න බැහැ. ඒ සමඟම තනි අයිතිය තිබෙන කුඩා ව්‍යාපාර, පුද්ගලයන් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඉදිරි වසර 5 තුළ එය ඉදිරියට ගෙන යෑමට අප බලාපොරොත්තු වෙනවා. වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු ,ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහත්වරුද මෙහිදී කතා කළහ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, එස්. වියලේන්ද්‍රන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත, මධුර විතානගේ, ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලයේ සභාපති පී.ඩී. සරත් වීරසිරි මහත්වරුන් සහ සමුපකාර සමිති සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.