Local

ගජරාමෙට කුඩු වික්ක ඉරාන ජාතිකයා අත්අඩංගුවට – මාකන්දනින් තට්ටු තුනේ නි‍ෙවසක් කුලියට අරන්

Thursday, 25 January 2024 - 7:19 am


කැස්බෑව මාකන්දන ගුණරත්න මාවතේ ක්ලිෆ්ස් ඒජ් නිවාස සංකීර්ණයෙන් සුඛෝපභෝගී තෙමහල් නිවසක් මාසිකව රුපියල් ලක්ෂයක කුලී පදනම මත ලබාගෙන කුෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ඉරාන ජාතිකයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී අල්මාරිය තුළ සඟවා තිබූ ලක්ෂ පහළොවකට අධික වටිනා කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160ක් ඒවා සඟවා මෙරටට ආනයනය කිරීමට යොදාගත් ඇලුමිනියම් බට කීපයක්, ජාවාරම සඳහා යොදා ගත් ජංගම දුරකතනය, කුෂ් මත්ද්‍රව්‍ය සුරුට්ටු ආකාරයෙන් එතීම සඳහා භාවිත කරන ෆිල්ටර් විශාල ප්‍රමාණයක්, ඒවා ඇසුරුම් කිරීමට යොදා ගන්නා ඉටි කවර විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාර ඉරාන ජාතිකයාගේ නිවසේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට ගිය පුද්ගලයකුට සැකකරු විසින් කුෂ් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ගැනුම්කරුවන් සොයා දෙන ලෙසත්, ඒ සඳහා මුදලක් ලබාදෙන බවත්, ඔවුන් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරන ලෙසත් පවසා තිබූ බව පොලිසිය කියයි.

ඒ බව එම පුද්ගලයා පිළියන්දල පොලිසියට අනුයුක්තව සේවයේ නිරත බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් වෙත තොරතුරු ලබාදී ඇත. ඒ අනුව බුද්ධි නිලධාරීන් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඉරාන ජාතිකයාට සම්බන්ධ වී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් රුපියල් පන්ලක්ෂ පනස්දහසකට මිලදී ගැනීමට ඇණවුම් කර නිවසේ තිබෙන බවට තහවුරු කර තිබිණි.

අනතුරුව පෙරේදා (23) රාත්‍රි පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ සෝදිසි මෙහෙයුමේදී අල්මාරියේ සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

සැකකරු brave නමැති අඳුරු සෙවුම් යන්ත්‍රය හරහා (dark web) කුෂ් මත්ද්‍රව්‍ය ඇණවුම් කර විද්‍යුත් මුදල් ගනුදෙනු කර භාණ්ඩ බෙදාහරින කුරියර් සේවාව හරහා මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුද කුෂ් මත්ද්‍රව්‍ය පානයට දැඩිව ඇබ්බැහිව සිටින පුද්ගලයකු බවට නිවස තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී තැන තැන වැටී තිබූ ගිනිකූරුවලින් සහ පිච්චුණු කොළ කැබලිවලින් තහවුරු වන බව පොලිසිය කියයි.

වත්තල ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් මෙම සුඛෝපභෝගී තෙමහල් නිවස මාස හයකට සැකකරු කුලී පදනම මත ලබාගෙන තිබූ බව පොලිසිය කියයි.

සැකකරු පසුගිය වසරේ ඔක්තෝබර් 27 වෙනි දින මෙරටට පැමිණ දෙසැම්බර් 5 වැනි දින විදේශගතව යළි ජනවාරි 5 දින කාම්බෝජයේ සිට මෙරටට පැමිණ ඇති බව ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය සහකාර පොලිස් අධිකාරි එම්. ඩි. ඩි. නිලංග මහත්වරුන්ගේ පූර්ණ උපදෙස් මත පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන් ලබා දුන් තොරතුරකට අනුව වැටලීම සිදුකරනු ලැබුවේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මුදිත තිලකරත්න, පොලිස් කොස්තාපල් (97516) දිල්ෂාන්, (97407) අසේල මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT