Local

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ අරඹනවා.

Tuesday, 12 December 2023 - 5:54 pm

  • රට දියුණුව කරා ගෙන යාමට නම් දැනුම ඇති මානව සම්පතක් අවශ්‍යයි.
  • ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි.

NSBM හරිත සරසවියේ 2023 උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමින් ජනපති පවසයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රට දියුණුව කරා ගෙන යාමට නම් දැනුම ඇති මානව සම්පතක් අවශ්‍ය බව පැවසු ජනාධිපතිවරයා එහි වගකීම මෙරට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට පැවරෙන බව ද සඳහන් කළේය.

වෘත්තීය පුහුණු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් වෙනුවෙන් පෞද්ගලික අංශයේ සහාය මේ වන විට පළවි තිබෙන බවත් මෙරට සමස්ත අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නීති කඩිනමින් ගෙන එන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජාතික ව්‍යාපාර අධ්‍යයන විද්‍යායතනයේ (NSBM හරිත සරසවිය) 2023 උපාධි ප්‍රදානෝත්සවයට අද (11) පෙරවරුවේ එක් වෙමිනි.
සිසුන් 176 දෙනෙකු මෙහිදී උපාධි ලබාගත් අතර විශිෂ්ඨ කුසලතා දැක්වූ සිසුන් 06 දෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන ලැබීය.

NSBM හරිත සරසවියේ උපකුලපති ඊ. ඒ වීරසිංහ මහතා විසින් සැමරුම් තිළිණයක් ලෙස ජනාධිපතිවරයා වෙත වටිනා පොත් කට්ටලයක් ද පිරිනැමීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

විශ්වවිද්‍යාලවලින් පිටවන සියලු දෙනාට රැකියා ලබාගත හැකි ආකාරයට අප විශ්වවිද්‍යාල අධ්‍යාපනය පරිවර්තනය කළ යුතුව තිබෙනවා. අද රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණය සීමා කර තිබෙනවා. ඒ ප්‍රතිපාදන සපයා ගැනීමේ ගැටළුව නිසයි. නමුත් අනෙක් රටවල් මෙම ප්‍රශ්නයට මුහුණ දී සාර්ථකව තිබෙනවා. “සෑම අයෙකුටම අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ අයිතිය ලබාදිය යුතු බවට” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයේ ද සඳහන් වෙනවා. ඒ අනුව මේ වෙනුවෙන් සෑම රටකම රජයේ සහ පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කර තිබෙනවා. ශ්‍රී ලංකාව ලෙස අපත් දැන් සූදානම්ව සිටින්නේ එම වැඩකටයුත්ත සඳහා යොමු වීමටයි.

ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල සංඛ්‍යාව දෙගුණයකින්, තුන් ගුණයකින් ඉහළ නංවා ගැනීමට අප බලපොරොත්තු වෙනවා. ඒ සමඟම නව තාක්ෂණය සමඟ මෙරට සිට විදේශීය විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගැනීමට සිසුන්ට අවස්ථාව හිමි වෙනවා.

ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ යුතුයි. ඒ වගේම පාසල් සිසුන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට ඉංග්‍රීසි දැනුම ලබාදීමේ වැඩකටයුතු 2030 වන විට සම්පූර්ණ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනෙක් භාෂා දැනුමෙන්ද මෙරට සිසු පරපුර සවිබල ගැන්විය යුතුයි.

ඒ වගේම වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කර වෘත්තීය පුහුණු විද්‍යාල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙන අතර එම පාඨමාලා සඳහා රැකියා ඉලක්ක කර ගත් නව විෂය මාලා හඳුන්වාදීමට පියවර ගන්නවා. මෙම කටයුතු සඳහා පුද්ගලික අංශයේ වෙළෙඳ මණ්ඩල සහාය ලබාදෙන බවට අපට දැනුම් දී තිබෙන නිසා මෙම වැඩසටහනත් ලබන වසර වන විට ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා.

ඉන් පසුව මෙරට සමස්ත අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය නීති ගෙන ඒම අපේ අපේක්ෂාවයි. මේ අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය මේ රටේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කිරීම අපේ අරමුණ බව කිව යුතුයි. මොකද රට දියුණු කිරීමට දැනුම අවශ්‍යයි. ඒ සඳහා නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුයි.

අප දැනට මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස කටයුතු කළ යුතුයි. අප හැමදාම මෙම තත්ත්වයේ සිටිනවාද, නැත්නම් ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් බවට පත්වෙනවාද කියා තීරණය කළයුතුයි. අපි සියලුදෙනාට අවශ්‍ය එම ගමන යාමටයි. එසේනම් ඒ සඳහා අවශ්‍ය මානව සම්පත ගොඩනැගීම අධ්‍යාපනයට භාර දෙමු.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ , NSBM හරිත සරසවියේ උපකුලපති ඊ. ඒ වීරසිංහ, නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහත්වරුන් ද, පීඨාධිපතිවරු සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය හා උපාධිධාරී සිසුන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT