ලාංකේය ගුවන් විදුලිය තුළ දෙවැනි නිවේදිකාව වූ නන්දා ජයමාන්න මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.
මිය යන විට ඇය 94 වන වියෙහි පසු වූවාය. සතියක පමණ කාලයක් පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගත් ඇය පසුගියදා (ජනවාරි 26 වැනිදා) රාත්‍රියේ ජීවිතයෙන් සමුගෙන තිබේ.
දකුණුලක අම්බලන්ගොඩ හීනැටියන ඇගේ උපන් ගමයි. ඇය උපත ලබන්නේ 1930 ජනවාරි 11 වැනිදාය ඇය නමින් එගොඩගේ රීටා නන්දා ජයමාන්න ද සිල්වා විය.
රාගල සිංහල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපන කටයුතු සදහා ඇය ඉන් අනතුරුව ඇතුලත් වන්නේ නුවර එළිය යහපත් එඩේරාගේ කන්‍යාරාමයටය.
ගුවන් විදුලි ශ්‍රාවක ප්‍රජාව ඇය හදුනා ගන්නේ නන්දා ජයමාන්න නමිනි. ලංකා ගුවන් විදුලි සේවයේ දෙවන සිංහල නිවේදිකාව වීමේ වාසනා ගුණය ලද නන්දා ජයමාන්න මහත්මිය 1951 අප්‍රේල් 11 නිවේදිකාවක ලෙස ගුවන් විදුලියට සම්බන්ධ වූවාය .
ඉංග්‍රීසි ප්‍රවෘත්ති සිංහල ට පරිවර්තනය කිරීම ඇගේ මුල් රාජකාරිය යි.මුල් යුගයේ කාන්තා සංග්‍රහය නමින් නන්දා ජයමාන්න මහත්මිය කාන්තා වැඩසටහක් නිෂ්පාදනය කළාය.
ගුවන් විදුලියේ තරංගනී සගරාව ද නන්දා ජයමාන්න මහත්මියගේ මූලිකත්වයෙන් ආරම්භ වූවකි.
විචිත්‍රාංග වැඩසටහන් නිෂ්පාදනයෙහි සුවිශේෂ දක්ෂතාවයක් දැක්වූ ජයමාන්න මහත්මිය නිදහසේ විචිත්‍රාංගය, බණ්ඩාරනායක ගුණානුස්මරණ විචිත්‍රාංග , දිලෙන මුතු ආදී වශයෙන් විශේෂාංග බොහොමයක් නිර්මාණය කර ඇත.
මෙරට කෘෂිකර්ම ප්‍රවර්ධනය උදෙසා ඉවහල් වන වැඩසටහන් ද නන්දාවන් නිෂ්පාදනය කළාය. ගොවි ජය හඩ, ගොවි රජා , ග්‍රාමිය සන්ධ්‍යාව යනු ඉන් කිහිපයකි.
ළමා පිටිය නිශ්පාදනකරණයේ දී සිය දායකත්වය ලබාදුන් නන්දා ජයමාන්න මහත්මිය ළමා රංග පීඨයේ පිටපත් රචනය කළාය.
ආසියානු ගුවන් විදුලි වංශ කතාවේ දීර්ඝතම ගුවන් විදුලි මාලා නාට්‍ය වූ මුවන්පැලැස්ස ප්‍රථම නිෂ්පාදක නන්දා ජයමාන්න මහත්මියයි.එහි මුල් පිටපත් රචකයා මුදලිනායක සෝමරත්නය.මුවන්පැලැස්ස පළමු කථාව 1964 මාර්තු 12 ප්‍රචාරය වී තිබේ.
ගුවන් විදුලියේ නියමාකාරයෙන් උසස් වීම් ලද නන්දාවන් 1982 දී ගුවන් විදුලි අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂවරිය වූවාය.
පුරා වසර 37ක සේවා කාලයක් සපුරන ලද නන්දා ජයමාන්න නම් ජේෂ්ඨ මාධ්‍යවේදිනිය 1988 අප්‍රේල් 11 වැනිදා සේවයෙන් විශ්‍රාම ලැබුවාය.
සියවස සපුරන ජාතික ගුවන් විදුලිය සිය දැනුමෙන් , නිර්මාණාත්මක හැකියාවෙන් පෝෂණය කලාවූ නන්දා ජයමාන්න මහත්මිය ගුවන් විදුලි අඹර ප්‍රභාවත් කල තවත් සඳ මඩලකි.