Local

ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් – ජනපති

Tuesday, 09 April 2024 - 9:39 pm

 

මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඊට අදාළ නීති සම්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ (07) පැවති ඉෆ්තාර් උත්සවයට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

පසුගිය සමයේ රටේ පැවති ආර්ථික අර්බුදය නිසා ජනතාවට පෝලිම්වල සිටීමට සිදුවීම නිසා රාමසාන් උපවාසය පවා නිසි අයුරින් සිදු කිරීමට හැකි වුණේ නැහැ. පසුගිය වසරේ සිට ආර්ථිකය යහපත් තත්ත්වයට පත්වෙමින් තිබෙන නිසා අද වන විට සුපුරුදු ආකාරයටම රාමසාන් සමය සහ රාමසාන් උපවාසය සිදු කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

රාමසාන් කාලයේදී මුස්ලිම් ප්‍රජාව නිරාහාරව සිටිමින් උපවාස ශීලය රකිමින් කුසල් දහම් වඩමින් සිටිනවා. රාමසාන් උත්සවය සහ සිංහල අලුත් අවුරුදු සමය එකම කාලවකවානුක යෙදී තිබෙනවා. ජාති ආගම් බේදයකින් තොරව කටයුතු කළ හැකි සංස්කෘතියක් ඉතිහාසයේ සිටම මේ රට තුළ නිර්මාණය වී තිබෙනවා.

මේ වන විටත් පිරිවෙන් අධ්‍යාපනය අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නියාමනය වනවා සේම, මද්‍රසා පාසල් ද අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නියාමනය කිරීමට අවධානය යොමු කර තිබෙනවා. 2019 කාල සීමාව තුළ මුස්ලිම් පොත් පත් සම්බන්ධයෙන් ඇති වු බාධා සොයා බලා ඒවා ඉවත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා.

පසුගිය කොරෝනා වසංගත සමයේ මුස්ලිම් ප්‍රජාව තමන්ගේ අවසන් කටයුතු නිසි ආකාරයෙන් සිදු කර ගැනීමට නොහැකිව දැඩි වේදනාකාරී තත්ත්වයක පසු වුණා. එම තත්ත්වය වෙනස් කිරීමට ඉදිරියේදී අප කටයුතු කරනවා. ඕනෑම කෙනෙකුට ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයක් මඟින්, තමන්ට කැමති ලෙස අවසන් කටයුතු සිදු කර ගත හැකි නීති ඉදිරියේදී සකස් කරනවා. ඕනෑම කෙනෙකුට භූමදානය සඳහා හෝ ආදාහනය සඳහා අයිතියක් තිබෙනවා. එය ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත අනුව සිදු කිරීමට අවශ්‍ය නීති අප සකස් කරනවා.

අද ශ්‍රී ලංකාවේ රාමසාන් උපවාසය සිදු කළත් ගාසා තීරයේ ඉතා කණගාටු තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. එහි මුස්ලිම් ප්‍රජාව තිස්පන්දහකගේ පමණ ජීවිත අහිමි වී තිබෙනවා. එම නිසා මෙවර ජාතික රාමසාන් උත්සවය නොපවත්වා එම මුදල් ගාසා තීරයේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ලබාදීමට අප කටයුතු කළා. ඒ වගේම යුද්ධය අවසන් වූ පසුව ගාසා තිරයට පාසලක් ඉදිකර දීමටත් අප පොරොන්දු වී තිබෙනවා. පලස්තීන රාජ්‍යය බිඳ දැමීමට අප කිසිදා සහාය පළ කරන්නේ නැහැ. එම නිසා මෙම යුද්ධය නැවැත්වීම සඳහා අප සහයෝග ලබා දෙනවා.

කාන්තංකුඩි මුස්ලිම් පල්ලියෙන් රුපියල් මිලියන 10ක මුදලක් සහ කටු කැලේ ජුම්මා මුස්ලිම් පල්ලිය මඟින් ‍රුපියල් මිලියන 2.2ක් සහ මුස්ලිම් විදේශ රැකියා නියෝජිත ආයතන මගින් රුපියල් මිලියන 3.5ක මුදලක් ගසා තීරයේ මුස්ලිම් ප්‍රජාව වෙත ලබාදීම වෙනුවෙන් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමද සිදු විය.

මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන මවුලවී සයිද් මවුලානා, අමාත්‍ය මනූෂ නානායක්කාර,රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ , අනුරාධ ජයරත්න , දිලුම් අමුණුගම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල් දින 03 ක් වැසෙයි

wedivistara

නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

wedivistara

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

wedivistara

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

wedivistara

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT