Local

ලංකාවේ හිටියට මල්ලිගේ හිත තිබුණේ කොරියාවේ

Tuesday, 23 January 2024 - 5:24 am

හිසට වෙඩි තබා ඝාතනය කළ මින්දික ගැන සොහොයුරා හැඬූ කඳුළින් කියයි

තෙලිජ්ජවිල මංසන්ධියේ පිහිටි ඩිල්ෂාන් මධුශංකට අයත් දුරකතන උපාංග අලෙවි ආයතනයට ඉකුත් 20 වැනි දින රාත්‍රී 08.00ට පමණ මින්දික පැමිණියේ සුපුරුදු පරිද්දෙනි. වෝග් ටෙක්ස්ටයිල්ස් ආයතනයේ වැඩ පරීක්ෂක තනතුරක තාවකාලික රැකියාවට පිවිස ගතවූයේ එක් සතියක් පමණි. ආගිය තොරතුරු කතාබස් කරමින් තම ජංගම දුරකතනයේ බැටරිය ආරෝපණය කරගැනීමේ අරමුණ ඇතිව මිතුරාගේ ආයතනයට ගොඩවන්නට විය. මිතුරාගේ දුරකතනයට ඇමතුමක් ලැබීම නිසා ඔහු ආයතනයෙන් මදකට ඉවත්වී ඇමතුමේ රැඳෙන විට යතුරුපැදියකින් පැමිණි අයෙක් ඡායා පිටපත් ගත හැකිදැයි විමසන ලදුව එම පහසුකම නොමැති නිසා ඉන් පිටතට ගොස් යළි ආයතනයට ඇතුළුවී ඇත. ආයතනයේ අයිතිකරු වූ තම මිතුරා එළියට ගොස් ඇති නිසා හිස්ව තිබූ පුටුවේ හරිබරි ගැසී වාඩිවූ මින්දිකට අසුනේ හිඳින්නට වූයේ තත්පර ගණනකි. මින්දිකගේ හිස දෙසට එල්ලවූ පිස්තෝල වර්ගයේ ගිනි අවිය පත්තු වූයේ මුළු පළාතම දෙදරවමිනි. අසල්වැසියන් පවා භීතියට පත්කරවමිනි. අකුරැස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ ගමන් ගත්තවුන් හිස් ලූ ලූ අත දිවයන්නටවූහ. මින්දිකගේ හිස පසාරු කරගෙන ගිය වෙඩි උණ්ඩ පහරින් සිරුරෙන් උණු රුධිරය වහනය වෙමින් මින්දික එම ස්ථානයේම ඇද වැටුණේ ආයතනය අසල සිටියවුන් බියට පත්කරවමිනි. එසැණින් වෙඩික්කරු එළියේ නවතා තිබූ පල්සර් වර්ගයේ යතුරුපැදියේ පසුපස ආසනයට නැඟ අසුරු සැණින් පියඹා යන්නට විය.

මින්දික 2002 වසරේ ජුනි මස 04 වෙනි දින පවුලේ බඩපිස්සා ලෙස මෙලොව එළිය දුටුවේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙකුගේ බාල මල්ලී ලෙසිනි. ලොකු අයියා සංක ගුවන් හමුදාවේ සේවය කරන අතර, මද්දුම සොහොයුරා කලකට ඉහත සිට කොරියාවේ රැකියාවක නියුතුව සිටී. තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ මින්දික උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලබාගත්තද වැඩිදුර අධ්‍යාපනය ගැන නොසිතූ අතර තම සිත තුළ පැලපදියම්වී ඇති විදේශගතවීමේ සිහිනය සැබෑ කරගන්නට වෙරදැරීය. කොරියන් භාෂාව ඉගෙනගන්නට වෙහෙස මහන්සි වූ මින්දික පසුගියදා පැවති කොරියන් විභාගයෙන් ඉතා උසස් ලෙස සමත් විය. තෙලිජ්ජවිල කෝප් බැංකුවේ මාස 06ක් රැකියාව කරන ලද මින්දික මෙම සිද්ධිය වන්නට සතියකට පෙර උඩුකාවේ වෝග් ටෙක්ස්ටයිල්ස් ආයතනයේ වැඩ පරීක්ෂක ලෙස රැකියාවට ගියේ විදෙස්ගත වන තෙක් යමක නිරතවීමේ අදිටනිනි. ලබන මාර්තු මාසයේ කොරියාවේ රැකියාවකට යන්නට තමන්ට හැකිවන බව දැඩි ලෙස විශ්වාස කරමින් කොරියාවේ සේවය කරන තම මද්දුම අයියා සමඟද දුරකතනය ඔස්සේ තම අදහස් හුවමාරුකර ගත්තේ ඉහවහා ගිය සතුටින් බව මින්දිකගේ මව හැඬූ කඳුළින් පවසන්නීය.

මින්දිකගේ මව රූපා චන්ද්‍රිකා (59) අදහස් දක්වමින් මෙසේ කීවාය. “මගේ පුතා තෙලිජ්ජවිල රෝයල් එකට ගියා. පුතාගේ ගුරුවරු අපිත් එක්ක කිව්වේ පුතා ඉගෙන ගන්න හරිම දක්ෂයි. දරුවගෙ උසස් අධ්‍යාපනයට හැමෝම උදව් කරනවා කියල ගුරුවරු අපිට කිව්වා. දරුවා හැමතිස්සේම කිව්වේ අයියා වගේ කොරියාවේ යනවාමයි කියල. ලබන මාර්තු මාසයේ යන්න හිටියේ. මගේ පුතා තෙලිජ්ජවිල කෝප් බැංකුවේ මාස 06ක් විතර වැඩ කළා. ඊට පස්සේ තමයි දැන් සතියකට විතර කලින් ඉඳල ඔය වෝග් එකට වැඩට ගියේ. පුතාට මේ වගේ අපරාධයක් වෙයි කියල අපි හීනෙකින්වත් හිතුවේ නැහැ. බලන්න මේ දරුවා කිසිම කෙනෙකුට කිසිම කරදරයක් කරල නැහැ. අපි එක්කවත් කවදාවත් නෝක්කඩු ඇතිකරගෙන නැහැ. යාළුවො එක්ක වුණත් තරහ මරහ ඇතිකරගෙන නැහැ. අවේලාවේ ගෙදරින් පිට කවදාවත් ගියේ නැහැ. යන දිහාවක් අපිට කියල තමයි යන්නේ.

මින්දිකගේ ලොකු අයියා සංක ගුවන් හමුදාවේ සේවය කරන අතර, ඔහුගේ අකුරැස්ස, අමලගොඩ පිහිටි නි‍ෙවසට මින්දිකගේ නිසල දේහය රැගෙන ආවේ 22 වෙනි දිනදීය.

ලොකු අයියා සංක රූරා හැලෙන කඳුළු කැට සඟවමින් අප හා කතා බහට පිවිසුණේ මල්ලීගේ හදිසි වියෝව දරාගන්නේ කෙසේද යන ප්‍රශ්නාර්ථය අප හමුවේ තබමිනි. මගේ ළඟ මල්ලී ලංකාවට එන බව දැන්වුවා. එයා ඉන්න කොරියාවටම තමයි පොඩි මල්ලී යන්න හිටියේ. තව මාසයකින් යන්න පුළුවන් බව මල්ලී නිතරම කිව්වේ ඉහ වහා ගිය සතුටින්. අයියත් එහේ ඉන්න නිසා කරදරයක් නැතිව රැකියාව කරගෙන ඉන්න පුළුවන් කියමින් තමයි හිටියේ. ලංකාවේ හිටියට මල්ලිගේ හිත තිබුණේ කොරියාවේ. මම කොළඹ රැකියාව කරනවා. අම්මයි, තාත්තයි, මගේ බිරිඳයි, රට ඉන්න මල්ලිගේ බිරිඳයි තමයි නි‍ෙවසේ හිටියේ. තාත්තා වැලිපිටියේ කඩයක් කරනවා. ඉතින් මල්ලීත් අපේ ගෙදර ඉඳගෙන තමයි රස්සාවට ගියේ. අපි කවදාවත් හිතුවේ නැහැ කිසිකෙනෙකුට කරදරයක් කරන්නේ නැති , අහිංසක මගේ මල්ලිට මේ වගේ දරුණු අපරාධයකට මුහුණ දෙන්න වෙයි කියල. මේක මහ පොළොව නුහුලන මහා අපරාධයක්.

මින්දිකගේ අයියලා දෙදෙනාගේ බිරින්දෑවරුන් හැඬූ කඳුළින් අප හා කීවේ මෙම මහ පොළොව නුහුලන අපරාධය කළවුන්ට නිසි දඬුවම් දිය යුතු බවයි. තම මල්ලීට සිදුවූ මෙම දරුණු අපරාධය කෙසේ විඳ දරාගන්නේදැයි විමසිමිනි.

මින්දිකගේ පියා වන ඒ. ජී. සරත් මහතා වැලිපිටිය ප්‍රදේශයේ කඩයක් පවත්වාගෙන යයි. බාල පුතාගේ වියෝව දරාගත නොහැකි ඔහු කිසිදු කතාබහක් නැතිව වැතිරී සිටියේ මුහුණ පවා සඟවාගනිමිනි.

මින්දිකගේ කොරියාවේ සිටින මද්දුම අයියා ලංකාවට ඊයේ (22) පැමිණියේය. මින්දිකගේ අවසන් කටයුතු ඔහුගේ පැමිණීමෙන් පසුව සිදුකිරීමට නියමිතව ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT