Local

රාජ්‍ය සේවකයා මෙන්ම පෞද්ගලික අංශ සේවකයා ද එකසේ ශක්තිමත් කිරීම ජනපතිගේ අපේක්ෂාවයි

Friday, 10 November 2023 - 5:49 pm

  • රට ගොඩනඟන වැඩපිළිවෙල කඩාකප්පල් කරන ක්‍රියාවන්ට සහාය දෙන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන.
ලක්ෂ 16 ක් පමණ වන රාජ්‍ය අංශයේ සේවයකයන් මෙන්ම ලක්ෂ 80 ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවකයන් යන දෙපිරිසම ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයන විධිමත් වැඩපිළිවෙලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දියත් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
ජනාධිපතිවරයා ගෙන යන මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීම හරහා ඉදිරියේදී විදුලිය, ගෑස් සහ ඉන්ධන මිල අනිවාර්යයෙන් අඩුකල හැකි මෙන්ම ජනතාවට සහනදායී ආර්ථිකයක් නිර්මාණය කල හැකි බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා එම වැඩපිළිවෙල කඩාකප්පල් කරන කටයුතු සඳහා සහය නොදක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ‍මෙසේද පැවසීය,
රාජ්‍ය යාන්ත්‍රණය අයවැය සමඟ ගැලපීමේදී බංකොලොත් රටක් අනාගත ඉලක්ක වෙනුවෙන් ගමන් කලයුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මූලිකවම අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් ආර්ථික අර්බුදය මතු වන්නේ 2019 අවුරුද්දේ අපේ පාලන තන්ත්‍රය වෙනස් වුණාට පසුවයි. එහිදී බදු ප්‍රතිපත්තිය වෙනස් කළා. මෙම බදු වෙනස් කිරීම නිසා රාජ්‍ය ආදායම අහිමිව මෙරට ආර්ථිකය වේගයෙන් කඩා වැටීමට පටන් ගත්තා. රාජ්‍ය සේවක වැටුප් ගෙවාගැනීමට ක්‍රමයක් නැතිවුණා. එහිදී මහබැංකුව හරහා මුදල් මුද්‍රණය කිරීමට යොමු වුණා. ඒ හේතුවෙන් උද්ධමනය වේගයෙන් ඉහළට ගියා.
එහිදී රටේ සමස්ත ආර්ථිකය බිඳ වැටීමකට ලක්ව නිල වශයෙන් බංකොළොත් භාවය ප්‍රකාශ කල රටක් බවට පත්වුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ වගකීම බාරගත් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන ඇතුළු රටට වැදගත් වන සියළු පාර්ශ්වයන්ගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා. යළි රට ගොඩනැගීම සාර්ථකව සිදුකරගෙන යමින් තිබෙනවා. 2001 – 2003 සමයේ ද ආර්ථික අර්බුදයට ලක්වූ රට යළි ගොඩ නැගුවේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින්. නමුත් 2004 අප්‍රේල් 10 එම පාලනය පෙරළනු ලැබුවා. 2014 වන විට දා නැවතත් රට බංකොලොත්වීමේ අවධානමකට නතුවුණා. බිඳවැටුණූ ඒ ආර්ථිකය 2015 දී නැවත ගොඩ නැගුවේ ද රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රමාත්‍ය ධූරය යටතේයි. එදා රාජ්‍ය සේවක වැටුප අවම රුපියල් 10,000කින් වැඩි කළා. ඒ වගේම රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශය ද ශක්තිමත් කර ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම් සැකසුවා. නමුත් අවාසනාවකට එහෙම කරපු ආණ්ඩුව 2020 රාජ්‍ය සේවකයින් සහ මහජනතාව එක්ව පෙරළා දැමුවා. අවසානයේ ඔවුන් ද පාරට වැටුණා.
එම නිසා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී රට එම තත්ත්වයෙන් යළි මුදවා ගැනීමේ සාර්ථක කර්තව්‍යයක් දියත් කර ඇති මේ මොහොතේ කවුරුන් හෝ නැවත වැඩ වර්ජන රැල්ලක් ඇති කළහොත් යළි සිදුවන්නේ ඒ විපාකය විඳ සියලු දෙනාටම මහ පාරට වැටීමටයි.
සටන් පාඨ පුවරු ඔසවාගෙන වැඩ වර්ජන දියත්කල විට සිදු වන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ හෑල්ලුවට ලක්වීමයි. නිතරම පෙළපාලි යන රටකට සංචාරකයන් පැමිණීමට බියක් දක්වනවා. එවැනි රටකට කවදාවත් දියුණු වෙන්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා පවතින තත්ත්වය හමුවේ රජයේ වෘත්තීය සමිති හිතනවානම් පැරණි පුරුද්ද අනුව වැඩවර්ජනයකින් යමක් ලබාගත හැකි වනු ඇතැයි කියා, සැබවින්ම සිදුවන්නේ ලැබීමට ඇති දෙයත් නොලැබී යාමයි.
පවතින අඩු පාඩු හදන්න අවශ්‍යය නව නීති රීති විශාල ප්‍රමාණයක් මේ වන විටත් ගෙනවිත් තිබෙනවා. සෑම අංශයක්ම ශක්තිමත් කිරීමට මෙන්ම ජනතාව ඉල්ලූ වෙනස ඇති කිරීමට හැකි නව නීති රීති ගෙනවිත් තිබෙනවා. තවදුටත් දේශපාලන පක්ෂවලට බොරු පොරොන්දු දෙන්න නොහැකි ආකාරයට නීති රීති ගෙන එමින් තිබෙනවා.
මෙවර අය වැයේ දී රාජ්‍ය සේවකයන් ලක්ෂ 16 කගේ වැටුප් වැඩි කරන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කරන්න තිබෙනවා.
ලක්ෂ 16 ක් පමණ වන රාජ්‍ය අංශයේ සේවයකයන් මෙන්ම ලක්ෂ 80 ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවකයන් යන දෙපිරිසම ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයන විධිමත් වැඩපිළිවෙලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දියත් කර තිබෙනවා.
මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීම හරහා විදුලිය, ගෑස්, ඉන්ධන මිල අනිවාර්යයෙන් අඩුකර ජනතාවට සහනදායී ආර්ථිකයක් නිර්මාණය කල හැකියි. ඒ පිළිබදව සැකයක් තියාගන්න එපා.
අප රටක් ලෙස ඉතාම බරපතල ආර්ථික අර්බුදයකට ලක්ව, මේ වන විට එයින් මිදෙමින් සිටිනවා. ආර්ථිකය ස්ථාවර කරගෙන සංවර්ධිත ර‍ටක් බවට පත්වීමට නම් මේ පවතින තත්ත්වය තේරුම් අරගෙන රාජ්‍ය අංශයත් සමස්ථ මහජනතාවත් වසර 05 ක් 10 ක් මේ රට දියුණු කරන්න අධිෂ්ඨාන කරගෙන ඉදිරියට යා යුතුයි. එසේ කළහොත් පමණයි අපට ශක්තිමත්ව ඉදිරියට ගමන් කළ හැකි වන්නේ.
ඒ වගේම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ආරක්ෂා කිරීමට වර්තමාන රජය පියවර ගන්නා බව ද විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. පවතින විශාල ණය බරින් මිදීම සදහා ලබන වසර සඳහා සංචාරකයින් ලක්ෂ සියයක් ගෙන්වීමට කටයුතු කලයුතු බව ජනාධිපතිතුමා සදහන් කර තිබෙනවා. ඒ සඳහා සංචාරකයින්ට පහසුකම් වැඩි කරන්නා සේම රාජ්‍යයේ ස්ථාවර භාවය ද පෙන්විය යුතු වනවා.
ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව තුළ “ජාතික සභාවක්” ස්ථාපිත කර තිබෙනවා. ජාතික වශයෙන් ඇති කරුණු එම ස්ථානයට ඉදිරිපත් කිරීමට සියළුම දෙනාට හැකියාව තිබෙනවා. පැරණි ක්‍රම මගින් තවදුරටත් දේශපාලනය කල නොහැකි බව සියළුම දේශපාලන පක්ෂ මතක තබාගත යුතුයි. අප විසින් දැනට සිදුකරගෙන යමින් සිටින වැඩපිළිවෙලට අමතරව වෙනත් ක්‍රමවේදයක් තිබේ නම් ලංකාවේ ඕනෑම දේශපාලන පක්ෂයකට හෝ සිවිල් සමාජයකට කරුණු ඉදිරිපත් කළ හැකියි.


Top Stories
wedivistara

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මහජනතාව වෙනුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට සනීපාරක්ෂක පහසුකම්

wedivistara

රම්බොඩදී වෑන් රථයක් ප්‍රපාතයක​ට පෙරළී 11 ක් රෝහලට

wedivistara

හයේශිකා ඇතුළු පිරිසට ඇප

wedivistara

අපේක්ෂිත ඇපයක් ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේගෙන් පෙත්සමක්

wedivistara

කොත්මලේ බස් අනතුරින් මියගිය අයට ජනාධිපති අරමුදලෙන් ලබාදෙන මුදල්, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කෙරේ

wedivistara

බලපත්‍ර නොමැතිව මත්පැන් බෝතල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

නව පාප් වහන්සේ ලෙස Robert Prevost තේරී පත්වෙයි

wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචිය ඇරඹෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි


NEWS ALERT