Local

ඉදිරි වසරේ දී අපේක්ෂිත 3%ක ආර්ථික වර්ධනයත් සමඟ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ද කටයුතු කරනවා

Monday, 13 May 2024 - 7:59 am

  • රටේ සීඝ්‍ර ආර්ථික දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් නව නීති 04ක්.
  • රාජ්‍ය ණය කළමනාකරණ නීතිය, රාජ්‍ය මුදල් පනත සහ ආර්ථික පරිවර්තන නීතිය ඇතුළත් පනත් කෙටුම්පත් ජූනි මාසයේ දී පාර්ලිමේන්තුවට.
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය ලබාදුන් රටවල් සමඟ ඇතිකරගත් කොන්දේසි ද නීතියක් ලෙස ගෙන එනවා.
  • රටේ අනාගතය වෙනුවෙන් මෙම නීති සම්මත කර ගැනීමට සියලු දේශපාලන පක්ෂ සහාය ලබා දිය යුතුයි – ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමින් ජනපති කියයි.

අභියෝග හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ජනපති ගත් තීන්දු තීරණවලින් හෙද සේවයට වරප්‍රසාද රැසක් හිමි වුණා.

  • විෂ පොවන අයට අවශ්‍ය වන්නේ අයිතීන් දිනා දීමට ‍නොවෙයි, ඔබව පාරට ඇද දැමීමටයි – රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි.

2025 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සංවිධානය කර තිබූ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමිනි.

අපනයන ආර්ථිකයක් සමඟ රටේ ආර්ථිකය සීග්‍ර දියුණුවක් කරා ගෙන යාම වෙනුවෙන් ප්‍රධාන නීති හතරක් හඳුන්වා දෙන බවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඉන් පළමුවැන්න ලෙස මහබැංකුවට ස්වාධීනත්වයක් ලබා දීමේ මහබැංකු නීතිය මේ වන විටත් සම්මත කර ගෙන ඇති බවත් රාජ්‍ය ණය කළමනාකරණ නීතිය, රාජ්‍ය මුදල් පනත සහ ආර්ථික පරිවර්තන නීතිය ඇතුළත් පනත් කෙටුම්පත් මෙම ජූනි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පැවසීය.

රට ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙම නව නීති සම්මත කර ගැනීමට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරටට ණය ලබාදුන් අනෙකුත් රටවල් සමඟ ඇතිකරගෙන තිබෙන කොන්දේසි සියල්ලම ඉදිරියේ දී නීතියක් ලෙස ගෙන එන බවත් රටේ අනාගතය රැඳී පවතින එම නීතිය සම්මත කර ගැනීම වෙනුවෙන්ද සෑම දේශපාලන පක්ෂයකම සහාය අපේක්ෂා කරන බවත් පැවසීය.

රට ආර්ථික වශයෙන් අස්ථාවර වූ අවස්ථාවක සෑම පක්ෂයකම පිරිස් එක් කර ගනිමින් තමා ආණ්ඩුවක් නිර්මාණය කළේ රට ගොඩගැනීමට බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා අද එම වැඩපිළිවෙල සාර්ථක වී ඇති බවත්, නව නීති සම්මත කර ගනිමින් රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම වෙනුවෙන්ද සියලුදෙනා එක් විය යුතු බවත් අවධාරණය කළේය.

ඉදිරියේදී රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීමට සිදුවනු ඇති බවද සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය සිදු කළ හැක්කේ නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් පමණක් බවද කියා සිටියේය.

සෑම වසරකම මැයි 12 වනදා ජාත්‍යන්තර හෙද දිනය ලෙස සමරනු ලබන්නේ හෙද සේවයේ නිර්මාතෘවරිය වන ෆ්ලෝරන්ස් නයිටිංගේල් ආර්යාවගේ ජන්ම දිනය නිමිති කර ගනිමිනි.

‘අපේ හෙදියන්- අපේ අනාගතය, හෙද සාත්තුවේ ආර්ථික බලය’ යන්න මෙවර ජාත්‍යන්තර හෙද දිනයේ තේමාවයි.

ශ්‍රී ලංකා හෙද විශ්වවිද්‍යාලයේ සමරු ඵලකය නිරාවරණය කර එය ආරම්භ කිරීම ද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිල වෙබ් අඩවිය දියත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය,

අප ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ උපන්දිනය සමරනු ලබන්නේ හෙද විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමෙන් පසුවයි. අපේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ විශාල සටනක ප්‍රතිඵලයක් ලෙසයි මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ. කෙසේ නමුත් අප එම වැඩකටයුත්ත සාර්ථකව ඉටුකර තිබෙනවා. දැනට පවතින ගොඩනැගිල්ලේ මෙම විශ්වවිද්‍යාලය ආරම්භ කර පසුව එය දියුණු කිරිමට කටයුතු කළහැකියි.

අපේ පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේගේ ජීවිත කතාවේ ප්‍රධාන කොටසක් බවට මෙම විශ්වවිද්‍යාලය පත් වෙනවා. හෙද විද්‍යාවට අමතරව විදේශ භාෂා ඉගැන්වීමට ද මෙම විශ්වවිද්‍යාල මගින් කටයුතු කළයුතුයි. ඉංග්‍රීසි, ජර්මන්, ජපන්, කොරියන්, චීන ඇතුළු සෑම භාෂා දැනුමක්ම මෙහිදී ලබාදිය යුතුයි. මෙම දැනුම ලැබු විට හෙදියින්ට විදේශ රටවල සේවා අවස්ථා ලබාගත හැකියි. විශේෂයෙන් එංගලන්තය සහ ජර්මනිය වැනි රටවල වැඩිහිටියන් සඳහා නිවාස ඇති කර තිබෙනවා. ඒ වගේම ලංකාවෙත් එවැනි ආයෝජන අවස්ථා පිළිබඳ කැමැත්ත පළ වී තිබෙනවා. ඒ නිසා මෙය ඉතා වැදගත් කටයුත්තක් වෙනවා.

අද මෙහිදී භාණ්ඩාගාරය පිළිබඳ කථා කළා. භාණ්ඩාගාරය පිළිබඳ කථා කරන විට මට සිහිපත් වන්නේ අලගියවන්න මුකවේටි කවියාගේ කොන්ස්තන්තීනු සටනයි. දා සා වගේ සෑම පැත්තෙන්ම දැන් වට කරගෙන ගහනවා. කෙසේ නමුත් අප භාණ්ඩාගාරය රැකගෙන ඉදිරියට යා යුතුයි.

කෙසේ හෝ මෙම කාලය තුළදී අපි හැකි අයුරින් රාජ්‍ය සේවකයන්ට සහන ලබාදී තිබෙනවා. ලබන වසරේදී වැටුප් වැඩි කිරිමක් සිදු කිරීම පිළිබඳවද අපේ අවධානය යොමුව තිබෙනවා. පසුගිය වසර 04 දී අප ඉතා අසීරු තත්ත්වයකයි සිටියේ. මෙරට ආර්ථික වර්ධනය ආරම්භ වූණේ පසුගිය වසරේ අවසන් කාර්තු දෙක තුළයි. 2020 වසරේ සිට වසර තුන හමාරක් මේ රටේආර්ථික දියුණුවක් සිදුව තිබුණේ නැහැ. කොවිඩ් වංසගතය මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය කඩා වැටී තිබුණා.

ඒ වගේම රට තුළ මන්දපෝෂණය පැතිර යාම විශාල ගැටලුවක් බවට පත්ව තිබුණා. දිළිදුකම සහ මන්දපෝෂණය නිසා අතැම් දරුවන්ගේ වර්ධනය සිමා වී තිබුණා. මෙම තත්ත්වය අනාගතයේදී විශාල බලපෑමක් විය හැකියි. ඒ නිසා මේ තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් මුදල් වෙන් කිරීමට සිදු වුණා. අපි ඒ වෙනුවෙන් ලෝක බැංකුව සමග සාකච්ඡා කර සමෘද්ධිය මෙන් තුන් ගුණයක මුදලක් අස්වැසුම හරහා ජනතාවට ලබාදීමට කටයුතු කළා. ඒ වගේම එම ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 18 සිට ලක්ෂ 24 දක්වා ඉහළ දැමුවා. ඒ අනුව මූලික වශයෙන් මෙම අංශය වෙනුවෙන් මුදල් වැය කිරිමට සිදු වුණා.

ඒ වගේම රජයේ සේවකයන්ගේ අසීරුතා හඳුනාගෙන ඔවුන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දීමට කටයුතු කළා. එමඟින් පුද්ගලික අංශයේ සහ වැවිලි අංශයේ වැටුප් වැඩි කිරීමට සංඥාවක් ලබා දීම සිදු වුණා.

පසුගිය යල සහ මහ කන්නවල අපට සාර්ථක වී අස්වැන්නක් ලැබුණා. පසුගිය සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ මෙන්ම මෙම වෙසක් උත්සවයේදීත් එම මුදල් නැවත ආර්ථිකයට එක් වෙනවා. මෙවන් තත්ත්වයක් තුළ ලබන වසරේ 3%ක ආර්ථික වර්ධනයක් ලබාගත හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. එහිදී නැවත රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදු කිරීම කෙරෙහි අපගේ අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවබෝධයකින් කටයුතු කිරීම පිළිබඳ මම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ලබන වසරේදී මීට වඩා ආර්ථික දියුණුවක් රට තුළ ඇතිකරගත යුතුයි. එම ආර්ථික වර්ධනය ඇති කර නොගතහොත් අපට මෙම ඉලක්කයන්ට යාම අසීරු වෙනවා.

දැන් අපට මුදල් මුද්‍රණය කරන්න බැහැ. අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කොන්දේසියකට පැමිණ තිබෙනවා මුදල් මුද්‍රණය කරන්නේ නැහැ කියලා. එසේ නම් අපට තිබෙන එකම මාර්ගය ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමයි. අපට ණය ලබා දුන් රටවල් සමඟ සාකච්ඡා අප දැන් අවසන් කරගෙන යනවා. ඊළගට පුද්ගලික ණයකරුවන් සමඟ සාකච්ඡා කරනවා. ඒ අනුව මේ වසර තුළදී අප බංකොළොත්භාවයෙන් සම්පුර්ණයෙන් නිදහස් වෙනවා. නමුත් මෙම ආර්ථික ගැටලුව එතනින් අවසන් වන්නේ නැහැ. අපට ණය සහනයක් ලැබුණත් ඉතිරි මුදල් ගෙවිය යුතුයි.

ඒ නිසා අප ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද සාකච්ඡා කර අපේ ආර්ථිකය වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. ආනයන පදනම් කරගත් ආර්ථිකය වෙනුවට අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයකට අප ගමන් කළයුතුයි. අපි එම කොන්දෙසිවලට එකඟ වෙලා තිබෙනවා. අපට එයින් ඈත් වෙන්න බැහැ. එයින් ඉවත් වුණහොත් මෙම සහන නැති වෙනවා. ඒ නිසා මේ සමඟ ඉදිරියට යා යුතුයි.

එහිදී අප සෑමවිටම අයවැය අතිරික්තයක් පවත්වාගෙන යා යුතුයි. නැත්නම් ණය ගෙවීමට නොහැකි වෙනවා. අපි මෙම සියලු තීරණ ගත්තේ රට වෙනුවෙන් බව කිවයුතුයි. දැන් අපට තිබෙන්නේ අපනයන ආර්ථිකයක් සමග සීග්‍රයෙන් ඉදිරියට යාමටයි. මේ වෙනුවෙන් අප නීති කිහිපයක් සකස් කර තිබෙනවා. ඉන් ඇතැම් නීති සම්මත කර තිබෙන අතර අනිත් ඒවා සම්මත කර ගැනීමට තිබෙනවා.

ඉන් පළමුවැන්න ලෙස අප මහ බැංකු නීතිය සම්මත කළා. මුදල් මුද්‍රණය කිරීම සහ රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම තහනම් කර මහ බැංකුවට ස්වාධීනත්වයක් ලබා දීමට එමගින් කටයුතු කළා. ඒ වගේම තවත් නීති 03 ක් සකස් කර තිබෙනවා. එයින් රාජ්‍ය ණය කළමනාකරණ නීතිය මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. අපට ණය ලබාගත හැකි යම් සීමාවක් තිබෙනවා. එසේ නම් කොන්දේසි ගණනාවක් අනුව ණය ලබා ගැනීමටත්, ණය ආපසු ගෙවීමේදීත් අප එම නීතිය අනුව කටයුතු කළයුතු වෙනවා.
ඒ වගේම රාජ්‍ය මුදල් පනත ඉදිරිපත් කරනවා. මෙතෙක් කල් මුදල් පාලනය කළේ FR අනුවයි. අපි දැන් නීතියෙන් මුදල් පාලනය කිරීමට කටයුතු කළයුතුයි. රජයේ මුදල් හැසිරීම, ආදායම් එකතු කිරීම, මුදල් බෙදා හැරීම ඉදිරියේ දී මෙම නව නීතියට අනුව සිදුවන අතර අප එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.

අප දැනටමත් පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාලය ආරම්භ කර තිබෙනවා. භාණ්ඩාගාරයට අමතරව තවත් ස්වාධීන වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීම වෙනුවෙන් ආයතනයක් ඇති කර තිබෙනවා. ඒ අනුව එම ආයතන මෙම නීති දෙක යටතේ ක්‍රියාත්මක වෙනවා.

ඒ වගේම ආර්ථික පරිවර්තන නීතිය අප ඉදිරිපත් කරනවා. මේ රටේ ආර්ථිකය අපනයන පදනම් කරගත් නව ආර්ථිකයක් බවට පත්කළයුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් රටවල් සමඟ අප එකඟ වූ කොන්දේසි සියල්ලම නීතියක් ලෙස ගෙන එනවා. මෙම නීතිය සම්මත කර ගැනීම වෙනුවෙන් සහාය ලබා දෙන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකින්ම මම ඉල්ලනවා. මොකද මෙම නීති මත තමයි අපේ රටේ අනාගතය රදා පවතින්නේ.

විශේෂයෙන් අද අපේ සෞඛ්‍ය අංශය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළයුතුව තිබෙනවා. අපේ රටේ වැඩිහිටි ජනතාව වැඩි වී තිබෙනවා වගේම මන්දපෝෂණය වළක්වා ගැනීමට කටයුතු කළයුතුව වෙනවා. ඒ සඳහා ආර්ථිකයේ සීග්‍ර දියුණුවක් ඇති කළයුතුයි.

එක් එක් පක්ෂවලින් එකතුකරගෙන අපි ආණ්ඩුවක් නිර්මාණය කළේ මේ රට ගොඩගැනීමටයි. අද අප එය ඉටු කර තිබෙනවා. දැන් රට ඉදිරියට ගෙන යන මෙම ප්‍රධාන නීති 03 ඉදිරිපත් කර ජූනි මාසයේ ඒ පිළිබද විවාදයක් සිදු කරනවා. මම සිතනවා සියලුදෙනා මේ සමග එකඟ වෙයි කියලා. කිසිවෙක් මීට විකල්පයක් ඉදිරිපත් කර නැහැ. ඒසේ නම් අප මෙම නව නීති සම්මත කරගෙන රට දියුණු කරමින් ඉදිරියට යමු කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරිමට අවශ්‍යයි. මෙම නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් පමණයි එය සිදු කළ හැක්කේ. ඒ නිසා මෙම වැඩපිළිවෙළට ඔබ සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,

අපේ රටේ සහ ලොව පුරා විශ්වාසය නිසාම මෙම ජාත්‍යන්තර හෙද දිනය ගෞරවයෙන් සිහිපත් කරනවා. හෙද හෙදියන් ළගට ජනතාව පැමිණෙන්නේ මහත් විශ්වාසයෙන්. නිරෝගී බවේ සහතිකය ලබාගෙන ඔවුන් යළි නිවසට යනවා. එය ඉටුකරන හෙදියන් සමාජයේ සුවිශේෂ අවස්ථාවක වගකීම් බාරගෙන තිබෙනවා. ඒ නිසාම මේ උතුම් දිනයට විශාල පිරිසක් එක් වෙනවා. ඒ අනුව අපේ රටේ හෙද සේවය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දිගු ගමනක් පැමිණ තිබෙනවා.

වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා ද මේ වෙනුවෙන් විශාල සහායක් ලබාදෙනවා. විශ්වාසයෙන් කටයුතු කරනවා. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා මේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරනවා.

හෙද විශ්ව විද්‍යාලයක් නිර්මාණය වී තිබෙන්නේ දීර්ඝ සාකච්ඡා රැසකින් පසුවයි. අපේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ දැඩි උත්සාහය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධිෂ්ඨානයෙන් යුතුව ගනු ලැබු තීරණය අනුව අද හෙද විශ්වවිද්‍යාලය ඇති කිරීමට හැකිවී තිබෙනවා.

ඒ සඳහා සෞඛ්‍ය ඇමතිවරයා සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන් විශාල කාර්යභාරයක් ඉටු කළා. හෙද හෙදියන් දහස් ගණනක් ආඩම්බරයෙන් යුතුව එම සතුට භුක්ති විදින අවස්ථාවේ සමස්ත හෙද සේවයට මගේ කෘතවේදීත්වය පිරිනැමීමට කැමැතියි.

කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ,

මෙම මාසය මම සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන හයවන මාසයයි. ඒ මාස හය තුළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාලතම සහ විශිෂ්ඨතම වෘත්තිය කණ්ඩායමක් වන හෙද සේවය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් සිදු කළ හැකි වූ කටයුතු කිහිපයක් ඉටු කිරීමට හැකිවීම පිළිබඳව මම නිහතමානීව සතුටට පත් වෙනවා.

ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ පළමු හෙද විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය ඇති කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

ආර්ථික අපහසුතා මැද අප ගත කළ කාලය ක්‍රමානුකූලව වියැකෙමින් තිබෙනවා. 2024 වසරේදී ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයට වැටුප් වැඩිකිරීමක් සිදු කළා. ඉන් ඔබ්බට ගොස් ඔබ වෙනුවෙන් කොතරම් ආර්ථික අපහසුතා තිබුණත් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද සේවාවේ විශිෂ්ඨත්වය අගයමින් නිළ ඇඳුම් දීමනාව වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.ඒ වගේම මැයි මාසයේ සිට ඔබේ විශේෂ රාජකාරි දීමනාව දෙගුණ කර ලැබෙන බව මේ අවස්ථාවේ දී සඳහන් කිරීමට කැමතියි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ එක් ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් සේවය කරනවා. මෙරට දේශපාලනඥයන්ට වගේම රාජ්‍ය සේවකයන්ටත් විවිධ චෝදනා එල්ල වන පරිසරයක ශ්‍රී ලංකාවේ හෙද සේවයට එවන් කිසිදු චෝදනාවක් එල්ල නොවන බව ඉතා ගෞරවයෙන් හා සතුටින් ප්‍රකාශ කරනවා. හෙද සේවාවේ විශිෂ්ඨත්වය එයයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,

ජාත්‍යන්තර හෙද දිනය සමරනු ලබන්නේ ෆ්ලෝරන්ස් නයිටිංගේල් ආර්යාවගේ ජන්ම දිනය සිහිපත් කරමිනුයි. අද දිනයේ මම සමස්ත හෙද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ නයිටිංගේල් ආර්යාව ගිය මඟ යන ලෙසයි. පොඩි දෙයටත් අරගල කිරීමට පෙළඹී සිටිනවා. ඒත් මම කියන්න කැමතියි අපි දැන් සියලු දේ දිනාගෙන අවසන්. ඉදිරියේදී සිදු කළ යුත්තේ දිනා ගත් දේ ආරක්ෂා කර ගැනීමයි.

යුතුකම් ඉටු කර වැටුප් වැඩි කර ගනිමු. කුමන බලපෑම් පැමිණියද උතුම් හෙද සේවාවේ ගෞරවය රැක ගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. අරගල තුළින් නොව සාකච්ඡා තුළින් අයිතීන් දිනා ගනිමු.

හෙද විශ්වවිද්‍යාලයක් ලබා ගැනිම සුළු පටු ජයග්‍රහණයක් නොවෙයි. එය හෙද ඉතිහාසයේ අප ලැබූ විශාලතම ජයග්‍රහණයයි. එම ජයග්‍රහණය අප කිසිදා අමතක නොකළ යුතුයි. හෙද නිලධාරීන් වෙනුවෙන් ඩිප්ලෝමා සහතිකය ලබා දුන්නේත් එවකට අග්‍රාමාත්‍යවරා වශයෙන් කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. ඒ වාගේම අද නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරය ලබා දුන්නේත් එතුමායි.

අභියෝග හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ජනාධිපතිතුමා ගත් තීන්දු තීරණවලින් තමයි මේ අයිතීන් අපට හිමි වන්නේ. විෂ පොවන අයට අවශ්‍ය වන්නේ අයිතීන් දිනා දීමට ‍නොවෙයි. ඔබව පාරට දමන්නයි. අපට ඕනෑම ගැටලුවක් සාකච්ඡා කළ හැකි ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් සහ අමාත්‍යවරයෙක් සිටින බව අප මතක තබා ගත යුතුයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, යදාමිනී ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, හෙද විදුහල්පතිවරුන්, හෙද නිලධාරීන්, හෙද සිසුන්, විශ්‍රාමික හෙද නිලධාරීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT