Local

ජනපති අරමුදලෙන් දෙන වෛද්‍යාධාර දීමනාව 100% දක්වා නංවයි

Friday, 05 January 2024 - 12:06 pm

– කරාපිටිය රෝහලේ හෘද සැත්කම් දීමනාවත් වැඩි කරයි
– රාගම රෝහලේ අක්මා බද්ධ සැත්කමට ලක්ෂ 10ක්
– ඇටමිදුලු බද්ධ සැත්කමේ වෛද්‍ය පරීක්ෂණ සඳහා ගෙවීම
– පෞද්ගලික-අර්ධ රාජ්‍ය රෝහල්වල පිළිකා සැත්කම්වලට ආධාර
– වයස 21ට අඩු අයට අක්ෂි ශල්‍යකර්ම සඳහා වෛද්‍යාධාර
– දැනට වෛද්‍යාධාර නොගෙවන රෝගවලටත් ආධාර

ජනාධිපති අරමුදල මඟින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා පසුගියදා (01) සිට ක්‍රියාත්මක වන පරිදි 100%ක් දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

එසේම 2024 වර්ෂයේ සිට ජනාධිපති අරමුදල මඟින් මහජනතාව වෙත සලසනු ලබන සේවාවන් තවදුරටත් පුළුල් කරමින් කාර්යක්ෂමව ඉටු කිරීමට ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම අනුව පියවර ගෙන තිබෙන බව ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග හඳුනාගෙන එම රෝග සඳහා ද වෛද්‍යාධාර දීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.

වයස අවුරුදු 21ට අඩු පිරිස් සඳහා පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් අක්ෂි ශල්‍යකර්ම සිදු කර ගැනීම සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමටත් කටයුතු කෙරෙනු ඇත.

රෝගී ජනතාව වෛද්‍යාධාර ලබා ගැනීමට නගරයට පැමිණීම අවම කිරීම සඳහා දිවයින පුරා රෝහල් ජනාධිපති අරමුදලේ ලියාපදිංචි කිරීමේ පහසු ක්‍රමවේදයක් ද මේ වසරේ සිට ක්‍රියාත්මකය.

දැනට කරාපිටිය රෝහලේ ක්‍රියාත්මක වන රාජකාරි වේලාවෙන් පසුව හෘද සැත්කම් කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දීමනාව මෙම වසරේ සිට වැඩි කරනු ලබන අතර, මෙම ක්‍රමවේදය වෙනත් රෝහල් සඳහා ද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

කුඩා ළමයින් සඳහා රාගම රෝහලේදී සිදු කරන අක්මා බද්ධ කිරීමේ සැත්කම් සඳහා රුපියල් මිලියනයක් දක්වා වෛද්‍යාධාර ගෙවීම ද මෙම වසරේ සිට සිදු කෙරේ. එසේම පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලින් සිදු කරන පිළිකා සැත්කම් සඳහා මෙතෙක් වෛද්‍යාධාර දී නොතිබූ නමුත් මෙම වසරේ සිට ඒ සඳහා වෛද්‍යාධාර ගෙවීම සිදු කෙරේ.

පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය රෝහල්වලට අමතරව රජයේ රෝහල්වලින් ද සිදු කරනු ලබන ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමට පෙර හා පසු පිටතින් සිදු කර ගනු ලබන වෛද්‍ය පරීක්ෂණ සඳහා ද මෙම වසරේ සිට වෛද්‍යාධාර ගෙවීමට කටයුතු කෙරෙනු ඇත.

එමෙන්ම වෛද්‍යාධාර දීමේදී රෝගීන්ගේ පවුල් ඒකකයක් සඳහා දැනට සැලකිල්ලට ගනු ලබන මාසික රුපියල් 150,000ක ආදායම් සීමාව මෙම වසරේ සිට රුපියල් ලක්ෂ 02ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ. එමඟින් වෛද්‍යාධාර ලබා ගැනීමට අවශ්‍ය මධ්‍යම පාන්තික ජනතාව සඳහා ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබා ගැනීමේ හැකියාව ලැබේ.

පසුගිය වසරේදී ද ජනතාව වෙනුවෙන් කඩිනම් සහ පුළුල් සේවාවක් ඉටු කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල කටයුතු කළ බව එහි ලේකම් සරත් කුමාර මහතා පැවසීය.

2022 අගෝස්තු මස සිට ගෙවීම් සිදු නොකර ගොඩගැසී තිබූ වෛද්‍යාධාර අයදුම්පත් 8000කට වැඩි ප්‍රමාණයක් ද ඇතුළුව එම වර්ෂය අවසන් වන විට වෛද්‍යාධාර අයදුම්පත් 12,000කට ආසන්න ප්‍රමාණයක ගෙවීම් සිදු කර තිබෙන අතර, ඒ සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 1,342කි.

2023 වර්ෂය සඳහා වෛද්‍යාධාර අයදුම්පත් 3458ක් ලැබී තිබූ අතර, එම අයදුම්පත් සියල්ලම සඳහා දැනට ගෙවීම් සිදු කර අවසන්ව තිබේ. ඒ සඳහා ගෙවන ලද මුදල රුපියල් මිලියන 844.7කි.

එසේම 2022 වර්ෂයේදී අ.පො.ස (සා.පෙළ) උසස් ලෙස සමත් වූ එහෙත් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑම සඳහා සහනයක් ලබාදිය යුතු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා එක් අධ්‍යාපන කොට්ඨාසයකින් 30 දෙනකු බැගින් දිවයින පුරා අධ්‍යාපන කොට්ඨාස 100 අතුරින් තෝරාගෙන මසකට රුපියල් 5000 බැගින් මාස 24ක් සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන ආරම්භ කරනු ලැබීය. ඒ අනුව සෑම මසකම රාජකාරි සිදු කරන පළමු දින දෙක තුළ එම සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කර ඒ බව කෙටි පණිවිඩයක් (SMS) මඟින් දැනුම් දීමට පියවර ගෙන තිබේ. දැනට මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මාසික වාරික 10ක් ලබාදී ඇත.

එසේම මෙවර අ.පො.ස. (සා.පෙළ) උසස් ලෙස සමත් වූ එහෙත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට ආර්ථික අපහසුතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක් අධ්‍යාපන කොට්ඨාසයකින් 50 දෙනකු බැගින් අධ්‍යාපන කොට්ඨාස 100 අතුරින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000ක් තෝරාගෙන මසකට රුපියල් 6000 බැගින් මාස 24ක් පුරාවට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබේ.

මේ අතර පසුගිය වර්ෂ දෙකෙහි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් වූ දිවයිනේ ඉහළ සාමර්ථ්‍ය ලබාගත් සිසුන් දිස්ත්‍රික්ක මට්ටමින් හා ජාතික මට්ටමින් තෝරාගෙන එම සිසුන් සඳහා මූල්‍යමය ආධාර ලබාදීමට කටයුතු කර ඇත. ඒ අනුව එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් 90 දෙනකු සඳහා රුපියල් මිලියන 31.5ක මූල්‍යමය ආධාර දී තිබේ.


Top Stories
wedivistara

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්

wedivistara

එදා අරලියගහ මන්දිරයට ආපු කිසි කෙනෙක්ගෙ අතේ ආයුධයක් තිබුනෙ නෑ - මහින්ද කහඳගම

wedivistara

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

wedivistara

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී 20 වනදා දක්වා රිමාන්ඩ්

wedivistara

අනුර කුමාර දිසානායක හා UN නේවාසික සම්බන්ධීකාරක අතර හමුවක්

Trending
wedivistara

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

wedivistara

එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි

wedivistara

විදුලි පේනුවක් අලුත්වැඩියා කරමින් සිටි තිදරු පියා විදුලිසර වැදී මරුට

wedivistara

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර


NEWS ALERT