රෑ වැටුණු වළේ දවල් වැටෙනවාද කියා තීරණය කරන්නට ජනපතිවරණයේදී ජනතාවට කදිම අවස්ථාවක් ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රීකුණාමලය ඇතුළු ජනපතිවරණ ජනරැලි පහක් අමතමින් පෙරේදා (31 දා) පැවසීය.
බදු අඩු කරන බව පවසමින් වේදිකාවල බොරු පොරොන්දු දෙන සජිත් – අනුර යළි සූදානම් වන්නේ රට නැවත වළට ඇද දැමීමට බව කී ජනාධිපතිවරයා තමා ජනතා සහන දෙන්නේ රුපියල ශක්තිමත් කොට විධිමත් සැලැස්මකට අනුව බව සඳහන් කළේය.
අපනයන ආර්ථිකයක් ඇතිකළ පසුව බදු බර අඩු කරන්නට හැකි බව කී ජනාධිපතිවරයා ඒ හැර වෙනත් මාර්ගයක් නැතැයිද බොරු පොරොන්දුවලින් ආර්ථිකය දිනන්නට බැරි බව ජනතාව හොඳින්ම තේරුම් ගත යුතුව ඇතැයිද කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ‘පුළුවන් ශ්‍රී ලංකා’ ජනරැලි පහක් පෙරේදා (31 දා) පැවැත්විණි.
බණ්ඩාරවෙල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සමන්තුරේ සහ කාත්තන්කුඩිහිදී පැවති මෙම ජනරැලි සියල්ලකටම අති විශාල ජනකායක් සහභාගී වූහ.
එම ජනරැලි අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
ආර්ථිකය ස්ථාවර කරමින් අප යන මේ මාර්ගය තවදුරටත් ගෙන යා යුතුයි. අප අතහැරියොත් නැවත මේ රටේ ආර්ථිකය අත හැරෙනවා. අප තවත් ඉදිරියට යා යුතුව තිබෙනවා. ස්ථාවර බවක් ඇති කළ යුතුව තිබෙනවා. එමෙන්ම අපනයන ආර්ථිකයකට යා යුතුව තිබෙනවා. අප සහන දී තිබෙන්නෙත් ජනතාව ජීවත් වන්නේත් මූල්‍ය අරමුදල සමග ගත් පියවර නිසයි.ඒ පියවර ආරක්ෂා කරනවාද? නැද්ද? කියා අප තීරණය කළ යුතුයි.
රට දියුණු කිරීම සඳහා මගේ පරමාර්ථ පහක් තිබෙනවා. ජීවන බර සැහැල්ලු කිරීම, රැකියා බිහි කිරීම, බදු බර සැහැල්ලු කිරීම මෙන්ම ආර්ථික පරිවර්තනයක් කොට අපනයන ආර්ථිකයක් ඇති කිරීම සහ අස්වැසුම සහ උරුමය වැඩසටහන් ආරක්ෂා කිරීම එම පරමාර්ථ පහයි.
මම රට භාර ගන්නා විට තිබූ බඩු මිල තුනෙන් එකක් අද අඩුවී තිබෙනවා. එනිසා දැනට සහනයක් ලැබී තිබෙනවා. සහනය තවදුරටත් ගෙන යා යුතුයි. මා මෙයින් පමණක් සෑහීමකට පත්වන්නේ නැහැ. අප ක්‍රමානුකූලව ඒ සහනය ලබාදිය යුතුව තිබෙනවා.
මම බඩු මිල කෘත්‍රිමව අඩු කළේ නැහැ. සහනාධාර දුන්නේ නැහැ. මා කළේ රුපියල ශක්තිමත් කිරීමයි. ඒ අනුව අප දළ ජාතික ආදායම වැඩිවුණා. ඒ අනුව අස්වැසුම දෙන්න හැකිවුණා. නොමිලේ සහල් දුන්නා. එමෙන්ම බඩු මිලත් ටිකෙන් ටික අඩු කළා.
රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන්නට අප කටයුතු කළා. එමෙන්ම ඉදිරියේදී බඩු මිල තවත් අඩු කරන්නට පුළුවන්. අනුර සහ සජිත් කියන්නේ කුමක්ද? බදු අඩු කරන බව කියනවා.
අප මෙතනට වැටුණේ ගෝඨාභය විචාරයකින් තොරව බදු අඩු කළ නිසයි. එලෙස බදු අඩු කළොත් අපට අයි.එම්.එෆ් සහනය ලැබෙන්නේ නැහැ. ඔවුන් කියන්නේ රටේ ආදායම වැඩි කරන ලෙසයි.
අප කළ යුතු එකම දෙය රුපියල ශක්තිමත් කිරීමයි. එය නොකළොත් කිසිම දියුණුවක් ඇතිවන්නේ නැහැ.
අප අපනයන ආර්ථිකයක් ඇති කළොත් තායිලන්තයෙන් සිංගප්පූරුව වගේ විදෙස් රටවලින් ආදායම එනවා. එවිට බදු බර අඩු කරන්න පුළුවන්. වෙන මාර්ගයක් නැහැ.
බොරු පොරොන්දු ලබාදී ආර්ථිකය දිනන්න බෑ. ආර්ථිකය නග්ගන්න බෑ. එය හොඳින් අවධාරණය කළ යුතුයි.
අප හැමදෙනාටම ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. උරුමය ලබාදී තිබෙනවා. ඉඩම් බලපත්‍ර වෙනුවට සින්නක්කර ඔප්පු ලබා දෙනවා. ඊළඟ වසර තුනේදී ඉතිරි ලක්ෂ 19කටත් සින්නක්කර ඔප්පු ලබා දෙනවා.
දැන් අප අස්වැසුම දෙනවා. තව ලක්ෂ පහකට ඉදිරියේදී දෙන්න යනවා. එම ප්‍රමාණය තව තවත් වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා.
අඩු ආදායම් ලාභීන් සියයට විසිපහේ සිට සියයට 10 දක්වා අඩු කිරීම අපේ සැලසුමයි.
එමෙන්ම අප ලබන වසරේදී රැකියා මෙන්ම ස්වයං රැකියා ලක්ෂයක් ලබාදීමට කටයුතු කරනවා. අනුර දිසානායකට හෝ සජිත්ට මේ වගේ යෝජනා නැහැ. දැනට පුහුණුව ලබා දෙන අයට අමතරව තවත් පනස්දාහකට රැකියා පුහුණුව ලබන්න මුදල් දෙනවා. තරුණ තරුණියන්ට මෙලෙස රැකියා හා ආදායම් ලබා දෙන්නේ පළමු වරටයි.
අප අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුව තිබෙනවා. පළමුවැන්න කෘෂිකර්ම නවීකරණයයි. වී වගාව හෙක්ටයාරයකට මෙටි්රක් ටොන් හතක් ලබා ගැනීමට අප ආධාර උපකාර කරනවා. එමෙන්ම අප ධීවර කර්මාන්තයේ දියුණුවටත් සහනාධාර ලබා දිය යුතුයි. සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්කර සංචාරකයන් ලක්ෂ 25 සිට ලක්ෂ පනහ දක්වා වැඩි කරනවා. නිලාවේලි සිට ත්‍රිකුණාමලය දක්වා සංචාරක කලාපයක් ඇති කරනවා.
ආසියාවේ ලොකුම ස්වාභාවික වරාය වන ත්‍රිකුණාමලය වරාය කිසිම ආණ්ඩුවකින් දියුණු කළේ නැහැ. ඉන්දීය ආණ්ඩුව සමඟ එක්ව ත්‍රිකුණාමලය දියුණු කරන වැඩසටහන අරඹනවා.
අප තෙල් ටැංකි ටික අරගත්තා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට ගේනවා. එවිට බලශක්ති මධ්‍යස්ථානයක් මෙහි බිහිවෙනවා. සාම්පූර්වල සූර්ය බල ශක්තිය තිබෙනවා. පුල්මුඩේ සිට ඛනිජ වැලි මෙහාට ගේනවා. එවැනි කැපී පෙනෙන දියුණුවක් අප ඇතිකරනවා.
එමෙන්ම අප හිඟුරක්ගොඩ ගුවන් තොටුපල දියුණු කරනවා. සේරුවිල විහාරය තවත් දියුණු කරන්නට අප ආධාර උපකාර කරනවා. සේරුවිල විහාරයට අමතරව කෝනේෂ්වරන් කෝවිල මෙහි තිබෙනවා. එය පැරණි කෝවිලක්. එය දක්ෂිණ කෛලාස් ලෙස හින්දු භක්තිකයන් හඳුන්වනවා. එහි ගෝකුළම් මධ්‍යස්ථානයක් ඉදි කරන්නට කටයුතු කරනවා.
ත්‍රිකුණාමලය දියුණු කළ යුතු බව සම්බන්ධන් මැතිතුමා නිතරම මා සමග කිව්වා. මා ඒ පොරොන්දුව ඉටු කරනවා. එමෙන්ම සිවිල් ආරක්ෂකයන්ගේ ප්‍රශ්න ටිකත් අප විසඳනවා.
විදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය අලි සබි්ර –
රට කඩාවැටුණු වෙලාවේ අප සියලුම දේශපාලකයන් අනාථවෙලා හිටියා. ඇත්තටම අප බයවෙලා හිටියා. ආර්ථික ඔස්තාර්වරුන් සමඟ ඇවිත් රට භාර ගන්නා ලෙස අප ඒ අවස්ථාවේ විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියා. තනි පුද්ගලයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ වගකීම භාර ගත්තා. පක්ෂ පාට භේද ජාති ආගම් භේද පසෙක දමා ඔහු සමග කඳවුරු බැඳගෙන සිටින්නේ ඒ නිසයි.
අපි ඔහුට විරුද්ධව වැඩ කළ අයයි. ඔහුට රාජ්‍ය පාලනය පිළිබඳ තිබෙන දැනීම පසුගිය අවුරුදු දෙකේ අප ඇස් දෙකෙන්ම දැකබලා ගත්තා.
අප ආර්ථිකය මෙන්ම විදේශ රටවල් දිනාගත යුත්තේ මිනිසුන් බෙදා නොව මිනිසුන් එකතු කරගෙන බව රනිල් වික්‍රමසිංහ අපට උපදෙස් ලබා දී තිබෙනවා.
ෆේස්බුක් අඩවියේ හොඳ කතාවක් තියෙනවා මා දුටුවා. ජනතාව රනිල්ට ඡන්දය දුන්නොත් ඔහු තමයි සැප්තැම්බර් 21 සිට ජනාධිපති. හැබැයි ජනතාව ඡන්දය නොදුන්නත් ලබන දෙසැම්බර් වන විට රනිල් ජනපති. ඒ රට වැටුණු විට ඔහුට යළි රට භාර ගැනීමට සිදුවන නිසයි යනුවෙන් එම ෆේස්බුක් සටහනේ තිබුණා. හැබැයි ජනවරමකින් තොරව යළි ඒ අභියෝග බාර නොගන්නා බව ජනපති සඳහන් කරනවා.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරළ –
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දේශපාලන කඳවුරු රැසක හිටපු අපි අද එක වේදිකාවකට පැමිණ සිටිනවා. එයම ජයග්‍රහණයක් නොවේද? පිල් ගොඩකට බෙදී අපි විවේචනය කරගත්තා. නමුත් අද මේ වේදිකාව වගේම මුළු රටම රනිල් වික්‍රමසිංහ නායකයා වටා එක්වී තිබෙනවා.
එදා හිටපු නායකයන් එළවා දමා කිසිවකුත් රට භාරගත්තේ නැහැ. ජාතික ආරක්ෂාව බින්දුවට වැටුණා. ආර්ථිකය බින්දුවට වැටුණා. ඒ අභියෝගය භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. රට වැටුණු අවස්ථාවේ එය භාර
ගන්නා ලෙස අප විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියා. අනුර දිසානායකගෙන් ඒ ඉල්ලීම කළා. එලෙස අභියෝග භාර නොගත් ඔවුන් අද වේදිකා ගානේ කටමැත දොඩවමින් ඉන්නවා.
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු –
අද මෙතනට පැමිණ සිටින ඔබතුමාලා මීට අවුරුදු දෙකකට පෙර හිටපු තත්ත්වය ගැන මතක් කරගන්න. එදා උදේ නැගිටලා ගෑස් හෙව්වේ. දර ළිප පත්තු කරන්න භූමිතෙල් ටිකක් හොයාගන්න උත්සාහ කළා. මේ රටේ මිනිස්සු මැරි මැරී ඉපදෙනකොට ජනතාව බේරගන්න ඉදිරිපත් වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. මේ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් ලෙස සිටින්නේ තුන්දෙනයි.
එයින් දෙදෙනක් රටේ ජනතාව දුක් විඳිමන් සිටින අවස්ථාවේ ඒ ජනතාවගේ දුක දැකලා ඒක විසඳීමේ අභියෝගය භාරගන්න බැරිව ඇඟ බේරගෙන පැනලා ගියා
ඇමැති නිමල් සිරිපාලද සිල්වා –
වතුකරයේ ජනතාව වගේම අනෙකුත් සියළු පක්ෂ නියෝජනය කරන සියලුම බලවේග අද මේ වේදිකාවේ සිටිනවා. මේ තමයි සමඟියේ සහ යුක්තියේ වේදිකාව. ඒ වගේම මේ කෘතවේදීත්වයේ වේදිකාවයි. මේ දිස්ත්‍රික්කයේ අප බත් කන අය මිස තණකොළ කන මිනිසුන් නොවෙයි. මේ දිස්ත්‍රික්කයේ ඉන්නේ කෘතවේදීත්වය හොඳින් හඳුනන ඒ වගේම කළගුණ සැළකීම දන්න මිනිස්සු බවත් කිව යුතුයි. ඒ වගේම මේ දිස්ත්‍රික්කයේ කිසිම ජාති, ආගම් භේදයක් නැහැ. මේ රට ගොඩ දමන අරමුණ කරා ගමන් කරන, ඊට සහාය ලබා දෙන මිනිසුන් සිටින දිස්ත්‍රික්කයක් බව මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලින් නැවත වරක් තහවුරු කරනවා.
පොළොන්නරුව රැලියේ දී අදහස් දැක්වූ ඇමැති පවිත්‍රා වන්නිආරච්චි –
ජනාධිපතිවරයා දිනවීම සඳහා නිර්භීතව ඉදිරිපත් වී සිටින මේ ජනතාව දුටුවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය විජයග්රහණයක් වන බව විශ්වාසයි. මීට දවස් දෙකකට පෙර ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූවා. අනුර කියනවා ඍජු බදු අඩු කරනවලු, වක්‍ර බදු අඩු කරනවාලු, වියදම වැඩි කරනවලු. එහෙම කරන්න ගිහින් තමයි පොහොට්ටු ආණ්ඩුව බිඳ වැටුණේ. යල්පැන ගිය ආර්ථික ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු බව ජනතාව මීට වසර දෙකකට පෙර අත්වින්ඳා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන –
2022 ගෑස්, ආහාර, ඉන්ධන පෝලිම්වල ඔබ දුක් විඳින විට අද මේ බලය ඉල්ලා සිටින කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවාය කියන විපක්ෂයේ කණ්ඩායම් දෙකම එදා රට භාර ගැනීමට ඉදිරිපත් වුණේ නැහැ. ඔවුන් මේ වනවිට කළ නොහැකි දේ ප්‍රතිපත්ති ප්රකාශනය හරහා ඉදිරිපත් කරමින් ජනතාව මුලා කරමින් සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණ 88-89 කාලයේ සිදුකළ භීෂණය උතුරු මද පළාතේ ජනතාවට අමතක නැහැ. ඒ බියෙන් තැති ගත් කාලය අමතක වෙන්නෙත් නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක –
අපේ රටේ ආර්ථිකය වැටිලා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකිව බංකොලොත් වී සිටින වෙලාවේ රට භාර ගන්න නායකයෙක් හිටියේ නැහැ. පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙකු ලෙස සිටියත් ඒ වගකීම බාරගෙන රටේ ආර්ථිකය යහපත් තැනකට ගෙන ඒමට ජනාධිපති රනිල්ව වික්‍රමසිංහ මහතා කටයුතු කළා.
චමින්ද සිල්වා, කරුණාරත්න ගමගේ – පොලොන්නරුව, සමන් මල්ලවආරච්චි – ත්‍රිකුණාමලය, කරුණාරත්න පල්ලේගම – බණ්ඩාරවෙල සහ කාත්තන්කුඩි – සිහාරා ලතීෆ්