Local

මුදල් අච්චු ගැහුවාද.. මහ බැංකුවෙන් දීර්ඝ පැහැදිලි කිරීමක්…

Tuesday, 29 October 2024 - 10:21 pm

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළඳපොළ කටයුතු හා මුදල් අච්චු ගැසීම පිළිබඳ පැහැදිලි කිරීමයි

විවට වෙළඳ පොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100 ක් අච්චු ගැසූ බවට මෑත කාලයේ වාර්තා පළවී ඇති අතර, මෙම වාර්තා පදනම් විරහිත ඒවා වේ. මහ බැංකුව විවට වෙළඳ පොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් වේ. විවට වෙළඳපොළ කටයුතු සිදු කරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනා කරණය කිරීම හරහා මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා වන අතර, එය හුදු මුදල් මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකිය.

මුදල් අච්චු ගැසීම යනු කුමක්ද?

මුදල් අච්චු ගැසීම යන්නෙන් අදහස් කරන්නේ මහ බැංකුව ආර්ථිකයට අලුතින් මුදල් නිකුත් කිරීමයි. ආර්ථික විද්‍යාත්මක අර්ථයෙන් ගත් කල, අලුතින් මුදල් නිකුත් කිරීම යනු සංචිත මුදල් හෙවත් පදනම් මුදල් නිකුත් කිරීමකි. මහ බැංකුවේ මුදල් නිකුත් කිරීම මත වාණිජ බැංකුවලට මුදල් මැවීමට ඇති හැකියාව නිසා මෙම සංචිත මුදල් අධි බලැති මුදල් ලෙස ද හඳුන්වනු ලබයි. මහ බැංකුවේ ශේෂ පත්‍රයේ මෙම සංචිත මුදල්, මුදල් වගකීම් ලෙස දක්වනු ලබයි. මෙයට මහ බැංකුව විසින් නිකුත් කළ සමස්ත සංසරණයේ පවතින මුදල් සහ මහ බැංකුව සතු වාණිජ බැංකුවල තැන්පතු ඇතුළත් වේ. ආර්ථිකයේ කටයුතු සඳහා පහසුකම් සැලසීමට ප්‍රමාණවත් වන පරිදි 2024 වසර තුළ මේ දක්වා ශ්‍රී ලංකාවේ සංචිත මුදල් වැඩි වී ඇත්තේ රුපියල් බිලියන 147 කින් පමණි. 2024 වසරේදී සංචිත මුදල්වල මෙම ඉහළ යෑම ප්‍රධාන වශයෙන් මහ බැංකුව විදේශ විනිමය මිලට ගැනීම තුළින් සිදු වී ඇති අතර, මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් පහළ යෑමක් ද මෙම කාලය තුළ සිදුව තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ආර්ථිකයට මුදල් සපයන සාධකයක් වූයේ මහ බැංකුව මඟින් රජයේ භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොල හරහා මිලදී ගැනීම මඟින් ආර්ථිකයට මුදල් සැපයීමයි. 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී නීතිගත කරන ලද 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් රජයේ අයවැය මූල්‍යනය සඳහා රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම තුළින් ඇතිවන මුදල් අච්චු ගැසීම මුළුමනින්ම සීමා කරන ලදී.

විවට වෙළඳපොළ කටයුතු වල අරමුණ

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානතම අරමුණ වන්නේ දේශීය මිල ස්ථායිතාව පවත්වා ගැනීමයි. එනම් උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාමයි. මුදල් ප්‍රතිපත්තිය යනු එලෙස මිල ස්ථායිතාව ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් ආර්ථිකයක් තුළ පොලී අනුපාතික සහ මුදල් සැපයුම කළමනා කරණය කිරීමේ ක්‍රියාවලියයි. විවට වෙළඳ පොළ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ උපකරණයකි. වර්තමානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, වෙළෙඳ පොළ පදනම් කරගත් ප්‍රතිපත්තිමය උපකරණ උපයෝගී කර ගනිමින් සිදු කෙරේ. ඒ අනුව, වර්තමානයේ දී ප්‍රධාන වශයෙන් භාවිතයට ගනු ලබන මුදල් ප්‍රතිපත්ති උපකරණයක් වනුයේ වීවට වෙළෙඳ පොළ කටයුතු වේ.

විවට වෙළඳ පොළ හරහා මහ බැංකුව වාණිජ බැංකුවලට ණයට සැපයීම සිදු කරයි. විවට වෙළඳ පොළ කටයුතු හරහා මෙලෙස ද්‍රවශීලතාව ලබාදීමේ අරමුණ වනුයේ ආර්ථිකය අස්ථාවර භාවයකට ලක් කළ හැකි පොලී අනුපාතිකයේ හදිසි වෙනස්වීම් ඇතිවීම වැළැක්වීමයි.

ඒ අනුව, කෙටිකාලීන පොලි අනුපාතික, විශේෂයෙන්ම අන්තර් බැංකු මුදල් වෙළඳපොළේ පොලි අනුපාතික ස්ථායි ලෙස පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විවට වෙළඳ පොළ කටයුතු භාවිතා කරයි. වෙළෙඳ පොළ ද්‍රවශීලතාව කළමනා කරණය තුළින් කෙටිකාලීන එක්දින පොලී අනුපාතික ස්ථාවරව පවත්වා ගෙන යෑම සඳහා විවට වෙළෙඳ පොළ කටයුතු පවත්වනු ලැබේ.

විවට වෙළෙඳ පොළ කටයුතු රජයේ සුරැකුම්පත් ස්ථාවර හෝ තාවකාලික පදනම යටතේ මිලදී ගැනීමේ/ විකිණීමේ වෙන්දේසි හරහා සිදු කරනු ලැබේ. ඒ අනුව, විවට වෙළඳ පොළ කටයුතු යනු බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවයේ ඇති වන අසමතුලිතතාවක් කළමනා කරණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් කෙටි කාලීනව සිදු කරනු ලබන මෙහෙයුමකි. උදාහරණයක් ලෙස මහ බැංකුව මඟින් 2024 වසරේදී මෙම ද්‍රවශීලතාව එක්දින පදනම සහ කෙටි කාලීන පදනම මත (දින 7 ක්) ලබාදී ඇත. මෙය තාවකාලික පදනමින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ද ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන ආර්ථිකයේ පොලී අනුපාතික ඉහළ යෑම පාලනයට බැංකුවලට ලබාදී ඇති පහසුකමක් පමණක් වන අතර, මෙය මුදල් අච්චු ගැසීමක් ලෙස අර්ථ නිරූපණය කිරීම නිවැරදි නොවේ.

තවද, ලොව පුරා මහ බැංකු ද්‍රවශීලතාව කළමනා කරණය කිරීම සඳහා මීට සමාන විවට වෙළඳ පොළ කටයුතු නිතිපතා සිදු කරනු ලබයි. මෙම මෙහෙයුම් සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වන අතර, මුදල් ප්‍රතිපත්තිය හැසිර වීමේදී ද්‍රවශීලතාව කළමනා කරණය සඳහා මෙම විවට වෙළඳ පොළ කටයුතු මහ බැංකුව විසින් සිදු කරනු ලබන කටයුත්තකි.

වර්තමාන තත්ත්වය

බැංකු පද්ධතිය තුළ දිගුකාලීනව පැවති ද්‍රවශීලතාව බෙදී යෑමේ අසමතුලිතතාව හේතුවෙන්, 2024 වසර තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට ද්‍රවශීලතාව ලබාදීම සඳහා නිරන්තරයෙන් විවට වෙළඳ පොළ මෙහෙයුම් කටයුතු සිදු කළේය. මුදල් වෙළඳ පොළ ද්‍රවශීලතා අතිරික්තයක් පැවතිය ද මෙම ද්‍රවශීලතාව අසමතුලිත ලෙස බැංකු අතර බෙදී පැවතීම නිසා දේශීය බැංකුවලට ආර්ථික කටයුතු සඳහා අවශ්‍ය ගනුදෙනුකරුවන්ගේ ණය ඉල්ලීම සපුරාදීම ඇතුළු ඔවුන්ගේ දෛනික මෙහෙයුම් කටයුතු සඳහා ද ද්‍රවශීලතා අවශ්‍යතාවන් ඇති වේ.

රාජ්‍ය ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළට වැටීම හේතුවෙන් සමහර බැංකුවලට තවත් බැංකුවක් සමග ණය ගනුදෙනු කිරීම සඳහා දැඩි ලෙස සීමා පනවා තිබීම නිසා සමහර බැංකු දැඩි ද්‍රවශීලතා හිඟයකට මුහුණපා ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කර ඇති විදේශීය බැංකුවලට අතිරික්ත අරමුදල් පැවතිය ද ඔවුන් සතු අතිරික්ත අරමුදල් මෙම සීමා නිසා තවත් බැංකුවකට ණයට දීමට නොහැකි වී ඇත. මෙවැනි පසුබිමක, ශ්‍රී ලංකා මහ බැංකුව ද්‍රවශීලතාව ලබාදීම තුළින් කෙටිකාලීන පොලි අනුපාතික විශේෂයෙන්ම බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය ස්ථාවරව පවත්වා ගැනීම සහතික කරමින් මෙම හිඟය සමනය කිරීමට හැකි වී ඇත.

එවැනි මැදිහත්වීමක් නොකළේ නම් ආර්ථික කටයුතු මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවට මැදිකාලීන උද්ධමන ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වන ලෙස බාධා ඇති කරමින් කෙටිකාලීන පොලි අනුපාතික දැඩි ලෙස ඉහළ යනු ඇත.

ඉහත සඳහන් කළ වාර්තාවල පළ වී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන සාමාන්‍ය විවට වෙළඳ පොළ කටයුතු වලදී ක්‍රියාත්මක කරන වෙන්දේසි සහ මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳවය. එමඟින් රජයේ අයවැය මූල්‍යනය සදහා මුදල් අච්චු ගැසීමක් හෝ අනිසි ලෙස මුදල් නිකුත් කිරීමක් කිසිසේත්ම සිදු වී නොමැති අතර, මෙහිදී සිදු වී ඇත්තේ මහ බැංකුවේ මිල ස්ථායීතාව පිළිබඳ අරමුණු ළඟාකර ගැනීම සදහා සිදු කරන සාමාන්‍ය ක්‍රියාවලියක් පමණි.


Top Stories
wedivistara

පොලිස්පති ඉන්න තැන ගැන නියෝජ්‍ය ඇමතිතුමා දන්නවා කිව්වානේ, ඇයි අපෙන් අහන්නේ? - නාමල්

wedivistara

අද කාලගුණ නි‍වේදනය

wedivistara

අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවීමේ සැකකරුගේ සහෝදරිය අත්අඩංගුවට

wedivistara

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

wedivistara

අක්මීමන වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මරුට

wedivistara

පොල් පැළ ලක්ෂ 04ක් අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දීමට තීරණයක්

Trending
wedivistara

අපේ වගේ නෙමෙයි, Al Jazeera පැය දෙකක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ හොද කරුණු නෑ. - රනිල් මාධ්‍යයට කියයි

wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

වසර හතකට පසු කළමනාකරණ නිලධාරීන් බඳවා ගැනීමට පියවර

wedivistara

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදෙයි


NEWS ALERT