Local

නව විදුලිබල පනත ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර

Monday, 27 November 2023 - 11:31 am

විදුලිබල මණ්ඩලයේ කටයුතු විධිමත් කරමින් කාර්යක්ෂම උසස් සේවාවක් පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් සකස් කළ නව විදුලිබල පනත ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
බලාගාර ආශ්‍රිතව මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ ජල විදුලි උත්පාදනය වැඩි වනු ඇති බවත්, එම තත්ත්වය මත දෙසැම්බර් මාසයේදී මණ්ඩලයට මෙහෙයුම් ලාභයක් ලබා ගැනීමට හැකිවුවහොත් එහි වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව රටේ දීර්ඝ කාලයක් තිස්සේ කතාබහට ලක් වූ බව කිව යුතුයි. පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වාර්තාව සහ නව විදුලිබල පනතට අදාළ යෝජනාවලිය ඉදිරිපත් කළා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට හැකි වී තිබෙනවා.
ඒ අනුව යෝජිත නව විදුලිබල පනත එළැඹෙන සති දෙක ඇතුළත ගැසට් කිරීමට  සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නවා.
නව පනතට අදාළව යෝජනා කර තිබෙන විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම යන ව්‍යුහයන් සම්බන්ධව ඇතැම් දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේදී වැරදි මත පළ කළා. විදුලි ජනනය කිරීම සම්බන්ධව සමාගම් 4ක් බවට  පරිවර්තනය කිරීමට රජය යෝජනා කර තිබෙනවා.
ඒ අනුව ජල විදුලිය ආශ්‍රිත මෙහෙයුම් කටයුතු 100%ක්ම රජය යටතේ ඉදිරියටත් පවත්වාගෙන යෑමටත් යෝජනා කර තිබෙනවා. මහවැලි, ලක්ෂපාන, සමනලවැව ආශ්‍රිත බලාගාරත් රජය යටතේ පවත්වාගෙන යෑමටත් කටයුතු කරනවා. නොරොච්චෝලේ බලාගාරය එක් සමාගමක් ලෙසටත්, අනෙකුත් බලාගාර සියල්ලත් එක සමාගමක් යටතේත් පවත්වාගෙන යෑමට නව පනත මඟින් යෝජනා කර තිබෙනවා.
විදුලිය සම්ප්‍රේෂණ කටයුතු වෙනම සමාගමක් ලෙසටත්, ප්‍රධාන පාලක පද්ධතිය 100%ක්ම රජය යටතේ ඉදිරියටත් පවත්වාගෙන යෑමටත් යෝජනා කර තිබෙනවා. බෙදාහැරීමේ කලාප 4 සමාගම් 4ක් බවට පරිවර්තනය කරමින් කාර්යක්ෂමව පවත්වාගෙන යෑමටත් යෝජනා කර තිබෙනවා.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තුළින් කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය වැඩි කිරීමට මෙන්ම නාස්තිය අවම කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල පවතින නීති අණපනත් කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙනවා.
කේෂ්ත්‍රයේ ප්‍රවීනයන්, විද්වතුන් ඇතුළු විවිධ පාර්ශ්වලින් ලබාගත් අදහස් හා යෝජනා අනුව තමයි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කෙටුම්පත  අප සකස් කළේ. එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහජන උපයෝගිතා කොමිසම තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 12ක අලාභයක් ලබා තිබෙනවා. මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිතව වැසි ඇති වී තිබෙනවා. නමුත් විදුලිබල මණ්ඩලය තවමත් ලාභ ලබන තත්ත්වයට ඇවිත් නැහැ. දෙසැම්බර් මස වන විට විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ගණනය කිරීම තුළින් මෙහෙයුම් ලාභයක් ලැබුවහොත් අප්‍රේල් මාසයේදී ඒ සහනය පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරනවා.
එසේම විදුලිය විසන්ධි කිරීමෙන් අනතුරුව නැවත සබඳතා ලබා දීමේදී අය කරන ගාස්තුව සංශෝධනය කිරීමට ද අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා. මේ අනුව දැනට තුන්දහසක්ව පවතින නැවත සබඳතා ලබාදීමේ ගාස්තුව රුපියල් 1000 – 2000 ක අතර ප්‍රමාණයකට සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිපත්තිමය තීන්දු නොගැනීම සහ ගත් තීන්දු ක්‍රියාත්මක නොකිරීම නිසා ඉදිකිරීමට සැලසුම් කර තිබූ බොහෝ බලාගාර රටට අහිමි වී තිබෙනවා. සාම්පූර් බලාගාරය ඉදිකිරීම සම්බන්ධව වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා වෙමින් තිබුණා. අනතුරුව 2016 වසරේදී සාම්පූර් බලාගාරය ඉදිනොකිරීමට තීරණය කළා.
සාම්පූර් බලාගාරය 2020 වසරේ ඉදිකිරීම් කටයුතු අවසන් වීමට නියමිතව තිබුණා. මේ බලාගාරය ඉදිනොකිරීම නිසා රුපියල් බිලියන 95ක් වාර්ෂිකව රටට අහිමි වුණා.
මහා පරිමාණ විදුලි උත්පාදන ව්‍යාපෘති 5ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම තවත් විදුලි උත්පාදන ව්‍යාපෘති 5ක් ඉදිකිරීම සඳහා වූ ගිවිසුම් මේ වසර අවසන් වීමට පෙර අදාළ සමාගම් සමඟ අත්සන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ අනුව ඉන්දියාවේ අදානි සමාගම විසින් මන්නාරම, පූනරීන් ප්‍රදේශයේ ඉදිකරන සුළං බලාගාරය, සියඹලාණ්ඩුවේ ඉදිකිරීමට නියමිත සූර්ය පැනල මත බලාගාරය, හම්බන්තොට සූර්ය පැනල මත බලාගාරය, මඩකලපුව සහ පූනකරී ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත ව්‍යාපෘති සමඟ මෙලෙස ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT