Local

මැතිවරණ කල්දමන බවට විපක්ෂය නඟන චෝදනා සාවද්‍යයි

Thursday, 28 March 2024 - 8:06 am

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ නියමිත වේලාවට පැවැත්වෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල්දමන බවට විපක්ෂය නඟන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ නියමිත පරිදි නිසි වේලාවට පවත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන  පැවසීය.

විපක්ෂයේ කණ්ඩායම්වලට සටන් පාඨ නොමැති නිසා ආණ්ඩුව මැතිවරණ කල්දමන බවට සාවද්‍ය ප්‍රචාර ගෙන යමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරතව සිටින බව පෙන්වා දුන් වජිර අබේවර්ධන මැතිවරණවලට ශක්තිමත්ව මුහුණ දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමට ශක්තිය තිබෙන බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය,

මේ රට බංකොලොත්භාවයට පත් වුණේ දවසක දෙකක සිද්ධීන් නිසා නෙවෙයි. මේ තත්ත්වය උදාවුණේ දීර්ඝ කාලයක සිටයි. දීර්ඝ කාලයක් තිස්සේ රටේ යුද්ධයක් පැවතුණා. යුද්ධයට අවශ්‍ය ආයුධ සියල්ලක්ම මිලදී ගත්තේ රටේ මුදල්වලින්. ඒ අනුව වසර තිහක් අපි යුද්ධ කළා. තිස් වසරක යුද්ධය නිසා රටේ ආර්ථිකය මුළුමණින්ම කඩාවැටුණා. ඒ වගේම 1971 වසරේදී ඩොලර් ට්‍රිලියන ගානක මුදල් විනාශ වුණා.

1987, 1988 සමයේ පැවති භීෂණකාරී තත්ත්වය හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වුණා. ඒ වගේම ආර්ථිකයටත් විශාල හානියක් සිදු වුණා. භික්ෂූන් වහන්සේලා, පොලිසිය සහ අනිකුත් ආරක්ෂක අංශවල සාමාජිකයන්, දේශපාලනඥයන් ඇතුළු විවිධ කේෂ්ත්‍රවල විශාල පිරිසක් ඝාතනය වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර පවා ඝාතනය කෙරුණා. මාධ්‍යවේදීන්, ආගමික නායකයන්, මෙරට දක්ෂතම වතු අධිකාරිවරුන් විශාල ප්‍රමාණයක් රටට අහිමි වුණා.

මෙවැනි තත්ත්වයක් තුළ තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කළේ “අපි දැන් රණ්ඩු කළා ඇති, වෙනස්කම් පසෙක තබා අප සියලු දෙනා එක්ව ජාතික ප්‍රතිපත්තියක් වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු කියලා. ජනාධිපතිතුමා ඉදිරිපත් කර තිබෙන අණපනත් තුළත් ජාතික ප්‍රතිපත්තිය සඳහන් වෙලා තිබෙනවා. දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට ආසියාවේ බලසම්පන්නම මූල්‍ය පාලනය පිළිබඳ පනත් කිහිපයක් පාර්ලිමේන්තුවේ සම්මත කර නීතිගත කර තිබෙනවා. මුදල් පරිහරණය කිරීම අපි නීතිමය රාමුවට ඇතුළත් කර තිබෙනවා. නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක කිරීම අපේ අරමුණ බව කිව යුතුයි.

එසේම රටේ ආර්ථිකය හැසිරවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විසින් තවත් විශේෂ අණ පනත් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට ප්‍රකාශ වීමත් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා තවදුරටත් මුදල් මුද්‍රණය කිරීමට නොහැකියි කියලා. ඒ වගේම රටේ බදු ආදායම වැඩි කර ගැනීම වෙනුවෙන් අකමැත්තෙන් වුවද පියවර ගැනීමට සිදු වුණා.

කෙතරම් අසීරුතා පැවතිය ද ජනතාවට සහන ලබාදීම අප අතපසු කළේ නැහැ. අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ලබාදෙන අස්වැසුම ප්‍රතිලාභය රුපියල් 15000ක් දක්වා වැඩි කළා. ඒ වගේම රාජ්‍ය සේවක වැටුප රුපියල් දසදහසකින් වැඩි කළා. ඒ වගේම විශ්‍රාම වැටුප් වැඩි කළා. මේ රටේ ලක්ෂ විස්සක ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” වැඩසටහන ආරම්භ කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවැනි වැඩකොටසක් සිදු කළේ ඉතා කෙටි කාලයක් තුළයි. මේ රටේ ජනාධිපතිවරුන්ට අවුරුදු හයක්, දොළහක් රට භාරදී තිබුණා. එම සියලුදෙනාට වඩා වත්මන් ජනාධිපතිතුමා මේ කෙටි කාලය තුළ රට වෙනුවෙන් ඉටු කළ වැඩකොටස වෙනත් කිසිදු ජනාධිපතිවරයෙකුගේ පාලන සමයට සම කරන්න බැහැ. එම ජනාධිපතිවරු කටයුතු කළේ බංකොලොත් වූ රටක නොවෙයි.

ඒ වගේම ඉදිරි කාලය තුළත් එතුමාගෙන් ප්‍රයෝජනය ගත යුත්තේ කෙසේද කියා අප කල්පනා කළ යුතුව තිබෙනවා. මේ යන ගමන වෙනස් කළහොත් යළිත් ඉන්ධන සහ ගෑස් පෝළිම්වල දුක් විඳීමට සිදු වෙනවා. එනිසා ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. වත්මන් දේශපාලන ක්‍රියාදාමය කඩාකප්පල් කරමින්, වෛරී දේශපාලනයක නිරතව සිටින කණ්ඩායම් රට තුළ සිටිනවා. දෙස් විදෙස් සියලු බලවේගවලින් ශ්‍රී ලංකාව මුදවාගෙන ආසියාවේ ප්‍රමුඛ රටක් ලෙස අපේ රට ඔසවා තැබීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් එතුමා කැපවී සිටිනවා. රටේ ජනතාව මෙම තත්ත්වය අවබෝධ කරගෙන ඉදිරියට යා යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔක්තෝබර් මස 17 වැනිදාට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. එසේම ව්‍යවස්ථාවට අනුකූලව මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි. මැතිවරණ සංශෝධන ගෙනත් තිබෙන්නේ මැතිවරණ කල් දැමීමට නොවෙයි. විපක්ෂ කල්ලිවලට සටන් පාඨ නොමැති නිසා මැතිවරණ පවත්වන්නේ නැහැ කියනවා. අපිට මැතිවරණ කල් දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. රටේ බංකොලොත් තත්ත්වය සමනය වෙමින් පවතින නිසා විපක්ෂ කණ්ඩායම්වලට දැන් සටන් පාඨ නොමැති වී තිබෙනවා.

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව උදා වුණේ නැහැ. එහෙත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද සැමරීමට හැකි පරිසරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්මාණය කර තිබෙනවා. එතුමා මේ රට ආර්ථික වශයෙන් ගොඩනඟා තිබෙනවා. එතුමාට සියලු ජනතාවගේ කෘතවේදීත්වය හිමිවිය යුතුයි.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT