රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට පලායෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්ගේ රාජකාරි වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත සේවය කළ පොලිස් සැරයන් 60656 ජේ.වී.ජේ.එස්. නිහාල් නමැති නිලධාරියාගේය.
හරක් කටා නමැත්තා පොලිස් කොස්තාපල්වරයකුගේ උපකාර මත පලායෑමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග හා උපදෙස් මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන සිදු කරන අතරවාරයේදී ඒ සඳහා සූදානම් කර තිබූ යතුරුපැදිය සහ ආරක්ෂක හිස් වැස්මක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ තිබී සොයාගැනීමට හැකි විය.
ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයේදී එම ආරක්ෂක හිස්වැස්ම හා යතුරුපැදිය ගෙන ඒම සඳහා සුද්දා නමැති පුද්ගලයකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබිණි.
සැකකරු සම්බන්ධයෙන් සොයා බැලීමේදී ඔහු පදිංචි ස්ථානයන් මඟහැර ගොස් තිබූ බවද වැඩිදුරටත් අනාවරණය විය. එම සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඊට අමතරව එම සැරයන්වරයා නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන සැකකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයෑමේ සිද්ධිය විදේශගතව සිට මෙහෙයවනු ලැබූ ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නමැත්තා සමගද වට්සැප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් කටයුතු කර ඇති බවටද වැඩිදුරටත් අනාවරණය වී තිබිණි. ඉහත විෂමාචාර ක්‍රියාව හේතුවෙන් මෙමස 6 දින සිට මාතර එක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් සැකකරුගේ වැඩ තහනම් කර ඇත.