Local

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය” ජනපති අතින් විවෘත කෙරේ

Wednesday, 27 March 2024 - 8:48 am

මෙරට ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිහිටි අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය” (26) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයාව පිළිගැනීමට එම රෝහලේ සිදුකළ සාර්ථක අක්මා ශල්‍යකර්මයක් තුළින් සුවය ලැබූ දැරියක එක්ව සිටීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ දරුවන් සහ වැඩිහිටියන් අතර නිදන්ගත අක්මා රෝග ව්‍යාප්තිය ඉහළ යමින් පවතී. අක්මාව අකර්මණ්‍ය වීම සඳහා ඇති එකම ඵලදායී ප්‍රතිකාරය වන්නේ අක්මාව බද්ධ කිරීමේ ප්‍රතිකර්මයයි. මෙම සංකීර්ණ අක්මා රෝග වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා ඒ පිළිබඳ විශේෂඥ දැනුම සහ ඒ සඳහාම විශේෂිත වූ මිලෙන් අධික උපකරණ අවශ්‍ය වේ.

අක්මා බද්ධ කිරීමේ ප්‍රතිකර්මයක් සාර්ථකව සිදු කිරීමට හැකිවීම රටක සෞඛ්‍ය සේවාවේ වර්ධනයේ දර්ශකයකි. උතුරු කොළඹ අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානය, පශ්චාත් උපාධි පුහුණුව ලබාදීම සඳහා ක්‍රියාත්මක වන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන අතර අක්මා රෝග සම්බන්ධයෙන් උසස් තත්ත්වයේ පර්යේෂණ සිදු කරමින් ශ්‍රී ලංකාවේ අක්මා පිළිකා සඳහා පවතින ප්‍රතිකාර පිළිබඳ විශාලතම දත්ත ගබඩාව ද මෙම මධ්‍යස්ථානය භාරයේ පවත්වාගෙන යයි.

එම්. එච්. ඕමාර් පදනම මෙම අක්මා රෝග විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් බිලියන දෙක හමාරක මුදලක් පරිත්‍යාග කර තිබේ. එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා වෙත මෙරට ව්‍යවසායකයෙකු විසින් සිදුකළ විශාලතම පරිත්‍යාගය වන අතර එම්. එච්. ඕමාර් මෙරට ප්‍රකට බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයායි.

සමරු ඵලකය නිරාවරණය කර එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය” විවෘත කළ ජනාධිපතිවරයා එහි පහසුකම් නිරීක්ෂණය කිරීමට ද එක්විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ සමරු ග්‍රන්ථයේ සටහනක් ද තැබීය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඕමාර් පවුල විසින් සිදු කරන ලද මෙම අද්විතීය පරිත්‍යාගය සහ බ්‍රැන්ඩික්ස් ව්‍යාපාරය තුළින් මෙරට ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඇගයීමට ලක් කළේය.

අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා කලාපයේ හොඳම රටක් බවට අද ශ්‍රී ලංකාව පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කණ්ඩායම විසින් රටට ලබා දෙන කීර්තිනාමය වෙනුවෙන් සිය ස්තූතිය පළ කළේය.

එසේම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පිරිස දැනුවත් කළේය.

ළදරු මරණ සහ මාතෘ මරණ අනුපාත සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛනාත්මක වශයෙන් අප රට හොඳම ස්ථානයක පසුවන බවත්, කොවිඩ් වසංගතය පැවති කාල වකවානුවේදී සහ ඊට පසු ඇති වූ ආර්ථික අර්බුදකාරී සමයෙන් පසුවත් ශ්‍රී ලංකාවට ශක්තිමත් නැගී සිටීමට හැකියාව ලැබී තිබෙන බවත් මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ  සඳහන් කළේය.උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මෙම පහසුකම් වෙනුවෙන් රුපියල් බිලියන 2.5 ක පමණ විශාල මුදලක් පරිත්‍යාග කළ එම් එච් ඕමාර් මහතා සහ එම පවුල ස්තූතිවන්ත වන බවද අමාත්‍යවරයා පැවසීය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, ඕමාර් පවුල වෙනුවෙන් එම්. එච්. ඕමාර් මහතාගේ මුණුපුරු බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ හසිබ් ඕමාර් මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී. ජී. මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි

wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT