ප්රශ්නය – ජනාධිපතිවරණ සටන ඉතාම තීව්ර මුහුණුවරක් ගෙන තිබෙනවා. ඡන්දය පැවැත්වීමට තව ඉතිරිව ඇත්තේ සතියකට අඩු කාලයක්. බොහෝ දෙනාගේ අදහස ඔබ සහ අනුර කුමාර දිසානායක මහතා අතර කරට කර තරගයක් තිබෙන බව. ඒ වගේම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් තරගය නිකම්ම අතහරිතැයි හිතන්න බැහැ. මෙම තුන්කොන් සටන සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?
පිළිතුර – මම හිතන්නෙ ප්රජාතන්ත්රවාදය හොඳින් ක්‍රියාත්මක වීමට තරගය අත්‍යවශ්‍යයි. මම තරග කරන්න බය නෑ. අපි විශාලතම සන්ධානයක් හරහා තරගයට මුහුණ දෙනවා. නියත ජයක් ලබනවා. අනෙත් දෙදෙනාම තරගකරුවන් ලෙස හිටියත් ජනතාවගේ ප්‍රසාදය මේ වනවිට ඉහළින්ම ලබන අපේක්ෂකයා බවට පත්වීම මට සතුටක්.
ප්රශ්නය – ඔබගේ ජයග්‍රහණය ස්ථිරයිද?
පිළිතුර – නිසැකවම, රනිල් වික්‍රමසිංහගේ ඡන්ද පදනම ලක්ෂ දෙකහමාරක්, අනුර දිසානායකගේ ඡන්ද පදනම ලක්ෂ හතරක්. නමුත් මම ජනාධිපති අපේක්ෂක විදිහට ලක්ෂ පනස් හයක් ලබා ගත්තා. සමගි ජන බලවේගය පළමු මැතිවරණයෙන්ම ලක්ෂ 28 ක් ලබා ගත්තා. අද උතුර, නැගෙනහිර, මධ්‍යම කඳුකරය හා දකුණේ සියලුම පළාත්වල අපි ඉදිරියෙන්ම ඉන්නවා. තරගය කොතරම් දැඩි වුවත් ජයග්‍රහණය කරන්නේ සජිත් ප්‍රේමදාස. ජනතාවගේ ආශිර්වාදය අපට තිබෙනවා. ජයග්‍රහණය ස්ථිරයි.
ප්රශ්නය – මේ මොහොතේ පවතින තත්ත්වය අනුව එය හිතන තරම් ලෙහෙසි වෙන එකක් නැහැ. ඔබට ඡන්ද හිමිවන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න.
පිළිතුර – ඔබ දන්නවා සියලු අන්තර්ජාතික සමීක්ෂණවලින් ඉදිරියෙන් ඉන්නේ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා බව. පොදුජන පෙරමුණේ දූෂිත නොවන ප්‍රබලයන් සියල්ල අපේ සන්ධානයේ ඉන්නවා. මුස්ලිම් සහ ද්‍රවිඩ නායකයන් සේම උඩරට දෙමළ ප්‍රජාවගේ නායකයන්ද අපි සමග ඉන්නවා. ඒ වගේම දකුණේ අනෙකුත් ප්‍රබලම චරිත අද අපේ වේදිකාවට ඇවිල්ලා මට සහාය දෙනවා. අපි ලබාගත් ඡන්ද පදනම වැඩිවෙලා මිස අඩු වෙලා නෑ. එම නිසා සමාජ මාධ්‍ය පාවිච්චි කරලා කොයිතරම් රැලි හැදුවක් භූමියේ රැල්ල සජිත් සමග කියලා ජනතාව දන්නවා.
ප්රශ්නය – එහිදී සියයට පනහකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වෙතැයි විශ්වාස කරනවද?
පිළිතුර – අනිවාර්යෙන්ම මම හිතන්නේ දෙවැනි වර ගණන් කිරීමක් බොහෝ විට අවශ්‍ය වෙන්නේ නෑ. අපිට සියයට පනහකට වඩා ලැබෙනවා. ජනතාව බුද්ධිමත්. වාමාංශික බලයකට බලය දීලා කබලෙන් ලිපට වැටීමට ජනතාව සූදානම් නෑ. ඡන්ද ගණන් කරන විට ජවිපෙ හැමදාම පරාදයි කියලා අමතක කරන්න එපා.
ප්රශ්නය – ඔබගේ අදහස අනුව ඔබගේ ජයග්‍රහණය ස්ථිරයි. නමුත් ඔබ භාරගන්නේ ආර්ථික, සමාජීය සහ දේශපාලන වශයෙන් බොහෝ අගාධයකට වැටුණු රටක්. කඩා වැටුණු රට නැවත ශක්තිමත් කරනවා කියන බොහෝම සම්ප්‍රදායික දේශපාලන පොරොන්දු සජබ වේදිකාවෙන් ඇසෙන බව බොහෝ දෙනා කරන චෝදනාවක්.
පිළිතුර – අපි පොරොන්දු දෙන්නේ නෑ. ජනතාවගේ අවශ්‍යතා තමයි අපි ප්රතිපත්තිගත කරලා තිබෙන්නේ. ජනතාවට සහන ලබාදීම සම්ප්‍රදායික දෙයක් වශයෙන් හිතන්න එපා. වික්‍රමසිංහ යටතේ මෙරට ජනතාව දුප්පත් වුණා. සජබ පෙනී සිටින්නේ ඒ ජනතාව වෙනුවෙන්. ජනතාව බඩගින්නේ ඉන්නකොට එය අමතක කරලා ප්‍රතිපත්ති හැදුවොත් බංග්ලාදේශයට වෙච්ච දේ අපටත් වෙන්න පුළුවන්. ඒ නිසා මම සහ අපේ ප්‍රතිපත්තිය හැමවිටම ජනතා සුබසාධනය හා ආර්ථික වර්ධනය කියන කරුණු දෙකම පිළිබඳ අවධානය යොමු කරනවා. ඒක කරන්න පුළුවන්. අපි නිවැරැදි විද්‍යාත්මක ක්‍රමවේදයක් ඉතා ගැඹුරින් විමසා බලා ඉදිරිපත් කරලා තිබෙනවා. ඔය චෝදනා එල්ල කරන අයමයි අද කඩිමුඩියේ පඩි වැඩි කරන්න, බඩු මිල අඩු කරන්න හදන්නේ. මට තියෙන බයට මිසක් ඔවුන්ගේ සැබෑ ප්‍රතිපත්තිය ජනතා ප්‍රශ්න විසඳන එක නිසා නෙවෙයි.
ප්රශ්නය – රට ගොඩ ගැනීම සඳහා ඔබ සතුව ඇති වැඩපිළිවෙළ කුමක්ද? එය ක්‍රියාත්මක කරන්නේ කොහොමද?
පිළිතුර – මම ඒ සඳහා සැමට ජයක් ප්‍රතිපත්ති මාලාව සහ බ්ලු ප්‍රින්ට් ආර්ථික දර්ශනය ඉදිරිපත් කරලා තිබෙනවා. මූලිකවම රජයේ ආදායම් ඉහළ දැමීම, කාර්යක්ෂමතාව හා ඵලදායිතාව නැංවීම සහ නිෂ්පාදනය සහ සේවා ආර්ථිකය ශක්තිමත් කරමින් අපනයන ආදායම් ඉහළ නැංවීමට අපි කටයුතු කරනවා. බදුකරණය ප්‍රගතිශීලිව සහ විනිවිද ආකාරයෙන් සකස් කරනවා. විදේශ ආදායම් විශාල වශයෙන් ඉහළ නංවන ක්‍රමවේදයක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා.
ප්රශ්නය – ආර්ථිකය රිම් එකෙන් යන රටක ලබාදෙන පොරොන්දු ඉෂ්ට කිරීම සඳහා මුදල් හොයන විදිහ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න.
පිළිතුර – රාජ්‍ය ආදායම ඉහළ දැමීම සහ වියදම කළමනාකරණය කර ගැනීම සඳහා අපි විද්‍යාත්මක වැඩපිළිවෙළක් යෝජනා කර තිබෙනවා. රාජ්‍ය බදු ආදායම් සාධාරණ සහ සමානාත්මතාවයෙන් යුක්ත උපයා ගැනීම ප්රමුඛයි. අසාධාරණ ලෙස බදු අය කිරීම වෙනුවට බදු ජාලය පුළුල් කරමින්, විනිවිදභාවය ඉහළ දමමින් බදු ආදායම වැඩි කරගන්න පුළුවන්. හොඳම උදාහරණය ඉන්දියාව. සමස්ත බදු අය කිරීමේ ක්‍රියාවලියට අන්තර්ජාල තාක්ෂණය භාවිතා කිරීම නිසා ඉන්දියාවේ බදු ආදායම තෙගුණ වුණා. අප ද කල්පනා කරන්නේ අපේ රටේ සියලුම ආදායම් වියදම් ගනුදෙනු උපරිම ආකාරයෙන් විනිවිදව කරන ක්‍රමවේදයක් ස්ථාපිත කොට පළමුව රජයේ බදු ආදායම හැකි පමණ සාධාරණව හා ප්‍රගතිශීලිව ඉහළ දමා ගැනීමයි.
එසේම අපි අනවශ්‍ය වියදම් සියල්ලම පාලනය කරනවා. වියදම් කරන්නේ අත්‍යවශ්‍යම අවශ්‍යතාවයන් සඳහා පමණයි. එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු ඒකකය ආදී ආයතන සියල්ලම නියාමනය කරමින් හා කාර්යක්ෂම කරමින් ඒවා හරහා ආදායම් ඉපැයීම ඉහළ දමනවා. සංචාරක ක්ෂේත්රයේ වර්ධනයක් අපි ඉතාම කඩිනමින් ඇති කළ යුතුයි. විදේශ ශ්‍රමිකයන් හරහා ලැබෙන ආදායම් වැඩි කිරීමට එම ක්ෂේත්රය තුළ විශාල වෙනස්කම් ගණනාවක්ම සිදුකළ යුතුව පවතිනවා. මූලික වශයෙන් ගුණාත්මක භාවයෙන් ඉහළ ශ්‍රමිකයන්ට ලැබෙන රැකියා ප්‍රමාණය වැඩිකර ගැනීමට අපි විදේශයන් සමග කටයුතු කරනවා. පැහැදිලිවම රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට අපිට ඉතාම හොඳ ප්‍රතිපත්තියක් හා එයට කැපවිය හැකි කණ්ඩායමක් ඉන්නවා.
ප්රශ්නය – නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔබටත් අනුර කුමාර දිසානායක මහතාටත් සෘජුවම කරන චෝදනාව තමයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාර ගන්නැයි ඉල්ලා සිටි මොහොතේ ඊට ඉදිරිපත් නොවුණු අය මේ මොහොතේ රට හදන්නේ කොහොමද?
පිළිතුර – කිසිම අවස්ථාවක අපි වගකීම්වලින් පලා ගියේ නෑ. අද අපට වික්‍රමසිංහ කරන බොරු චෝදනාවක් තමයි ඔය. අපේ පක්ෂය ගෝඨාභය රාජපක්ෂට පැහැදිලිවම කොන්දේසි ඉදිරිපත් කළා අගමැතිකම භාර ගැනීම සඳහා. එයට අවශ්‍ය ලිපිය අපි භාර දුන්නා. එය ජනමාධ්‍යවල ප්‍රචාරය වුණා. රාජපක්ෂලා අප ඉදිරිපත් කළ කොන්දේසි පිළිගත්තා නම් ඒ අවස්ථාවේ අගමැති ධුරය මම භාර ගන්නවා. ජනතාව විසින් ප්‍රතික්ෂේප වුණ බලවේගයක් සමග ආණ්ඩු හදන එකට අපි එකඟ නැති නිසයි අපි කොන්දේසි දැම්මේ. මූලික කොන්දේසිය වුණේ ගෝඨාභය ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුයි කියන එක. නමුත් අපිට බය වුණ රාජපක්ෂලා කිසිදු ජනවරමක් නැතිව සිටි වික්‍රමසිංහ ඔවුන්ගේ බළල් අතක් කරගත්තා. රාජපක්ෂලාගේ බළල් අත් වීමට සමගි ජන බලවේගය කවදාවත් කැමැති වුණේ නෑ.
ප්රශ්නය – සජබයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන බලාත්මක කිරීමටත් වතුකරයේ ජනතාවට ඉඩම් ලබාදීමටත්, වතු ගම්මාන බිහි කිරීමටත්, සිංහල ජනතාවට සිදුකරන හානියක් බව ඇතැම් අය නගන චෝදනාවක්. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?
පිළිතුර – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම විධායකයේ ප්‍රධානතම කාර්ය බව අමතක නොකළ යුතුයි. අපි කිසිම විටක ව්‍යවස්ථාව උල්ලංඝනය කරන පක්ෂයක් නෙවෙයි. පාර්ලිමේන්තුව හරහා 13 වන සංශෝධනය බලාත්මක විය යුතු අංශ ගැන අපි තීරණයක් ගන්නවා. වතු ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙනවාට රටේ සිටින කිසිම ජන කොට්ඨාසයක් විරුද්ධ නැති බවයි මගේ අදහස. වතු ගම්මාන හරහා මෙරට වතු වගා ක්ෂේත්රයට නවෝදයක් ඇති වෙනවා. එය නැවත මුළු රටටම ආශිර්වාදයක් වෙනවා. ඒ හරහා අපනයන ආදායම වැඩි වෙනවා. එම නිසා ඉඩමක අයිතිය වැඩ කරන දුක් විඳින මිනිසුන්ට ලබාදෙන එක රටට බරක් නෙවෙයි.
ප්රශ්නය – ඔබගේ රජයක් තුළ වංචා දූෂණය නාස්තිය පිටු දකින බව ඔබ දැඩි ලෙස මැතිවරණ වේදිකාවේදී සඳහන් කළ කාරණයක්. ඇතැමුන් චෝදනා කරන්නේ ඔබගේ සන්ධානය තුළ චෝදනාවට ලක්වූවන් බොහෝමයක් සිටින බවයි.
පිළිතුර – අනිවාර්යෙන්ම වංචාව සහ දූෂණයට මගේ සහ සන්ධානයේ කිසිම ඉඩක් ලැබෙන්නේ නෑ. අපි වංචාව සහ දූෂණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් ගත්තේ රට බංකොලොත් කළ අයට විරුද්ධව. එහෙම අය මගේ ළඟ නෑ. ඔබ හිතනවා නම් එහෙම අය ඉන්නවා කියලා ඒ බව ජනතාවට කියන්න. අපි නීතියට අනුව ප්රජාතන්ත්රවාදයට අනුව ක්‍රියා කරමු.
ප්රශ්නය – ඔබගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනෙකුත් ප්‍රතිපත්ති ප්රකාශනයන්ගෙන් වෙනස් වන්නේ කොහොමද?
පිළිතුර – පැහැදිලිවම අපි කළ යුතු හා කළ හැකි දේ ඉදිරිපත් කර තිබෙනවා. අපි වැල් වටාරම් ලියනවා වෙනුවට ක්‍රමිකව ආර්ථික බංකොලොත් භාවයෙන් රට ගොඩගන්නා විද්‍යාත්මක වැඩසටහන ඉතාම සරලව ජනතාවට ඉදිරිපත් කරලා තියෙනවා. අපි ප්‍රතිපත්තිය ඉදිරිපත් කළ මිසක් භාෂාත්මක හරඹයකට ගියේ නෑ. අනෙක් ප්‍රතිපත්ති ප්රකාශනවල තියෙන්නේ සුන්දර වචන. නමුත් අපේ ප්‍රතිපත්තිය විද්‍යාත්මක ප්‍රජාවන් විසින් නිර්මාණය කරපු යථාර්ථවාදී ඒකක්. ඒකෙ ඇත්ත ප්‍රශ්නවලට ඇත්ත උත්තර දීලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරන අතරම ගොවියට, ධීවරයට, කම්කරුවාට, ගුරුවරයාට, ආරක්ෂක සේවයට, ශිෂ්‍යයාට, ගෘහණියට බලපාන ගැටලු විසඳීමට අපි කටයුතු කරනවා. ඒක තමයි වෙනස. ඒක තමයි මැද මාවත.
ප්රශ්නය – පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට ප්‍රවිෂ්ට වීම සම්බන්ධයෙන් ඔබ අදහස් කරගෙන සිටින්නේ කුමක්ද?
පිළිතුර – නව ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කර ගැනීමට පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතුව තිබෙනවා. බහුතර බලයක් අපට පාර්ලිමේන්තුව තුළින් ලබාගත හැකියි. එම නිසා ඒ සඳහා අපි ක්‍රියාත්මක වෙනවා.
ප්රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය මේ වනවිට ගෙනයන වැඩපිළිවෙළ ඔබ ඉදිරියට ගෙන යන්නේ කෙසේද?
පිළිතුර – ඒ සඳහා අපි කැප වෙනවා. නමුත් යම් අවස්ථාවලදී අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා කරමින් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලටත් උත්තර හොයන්න කල්පනා කරනවා. රටේ ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නවිට ඔවුන්ව ආරක්ෂා කරන ප්‍රතිපත්ති අනුගමනය කරනවාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විරුද්ධ නැහැ. රාජ්‍ය පාලනය ස්ථාවරව පවත්වා ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස්වල පවතින හරහා වටහා ගෙන ජනතාව ආරක්ෂා කර ගනිමින් අපි ඉදිරියට යනවා.
ප්රශ්නය – විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් මැතිවරණ වේදිකාවේ නොයෙක් මත පළවෙනවා. විධායක ජනාධිපති ධුරයට අත තියන්න ඔබ සූදානම් ද?
පිළිතුර – අපේ සන්ධානය සහ මම කල්පනා කරන ආකාරයට විධායක ජනාධිපති ධුරයේ බලතල සංශෝධනය කිරීම හා එම තනතුර අහෝසි කිරීම ජනතාවගේ ඉල්ලීමක්. ඒක බොහෝ ජනාධිපති අපේක්ෂකයන්ට තවම කර ගන්න බැරිවුණ දෙයක්. අපි ප්රජාතන්ත්රවාදී නම් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන ප්‍රතිපත්තිවලට බිය විය යුතු නැහැ. පාර්ලිමේන්තුව නැවත බලාත්මක වන ක්‍රමයකට යන එක වඩාත් හොඳම විකල්පය කියන එකයි මගේ අවබෝධය. අද පාර්ලිමේන්තුව කියන්නේ ජනාධිපතිගේ අභිමතයට වැඩ කරන තැනක්. ඒක සංශෝධනය කරලා සංචරණ සහ තුලන ක්‍රමයක් සෑදිය යුතුයි.
ප්රශ්නය – නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ද මේ වනවිට අදහස් පළ වෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරනවාද? ඒ වගේම බලය බෙදීම සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?
පිළිතුර – නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා පසුබිම සැකසිලා ඉවරයි. ඒකට අපට අවශ්‍ය කරන්නේ ජනතාවගේ අනුමැතිය පමණයි. එම නව ව්‍යවස්ථාව එක රටක් තුළ සියලු දෙනාට බලය දැරිය හැකි පාලන ක්‍රමයක් සෑදිය යුතුයි. බලය සංකේන්ද්‍රණය වීමට වඩා පළාත් සභා ශක්තිමත් වීම වැදගත්. කොහොමත් බලය බෙදනවා කියන්නේ ජනතාවට බලය පිළිබඳව තීරණ ගැනීමට ලැබෙන අවස්ථාවක් මිස දේශපාලඥයින්ට බලය රිසිසේ භාවිත කරමින් අවභාවිතා කරන්න ඉඩදීමක් විය යුතු නෑ. අපි ඉදිරිපත් කරන ආදර්ශය තුළ බිම් මට්ටමේ ජනතාවට සෘජුවම පාලන බලය සමග සම්බන්ධ වී එයට අවශ්‍ය වෙනස්කම් කිරීමට, ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබෙනවා.
ප්රශ්නය – ඔබගේ ආණ්ඩුවක් තුළ අමාත්‍ය ධුර සංඛ්‍යාව කෙසේද?
පිළිතුර – ඉතිහාසයේ බිහිවන හොඳම කැබිනට් එක සහ රටට අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා පමණක් පත් කෙරෙන අමාත්‍ය මණ්ඩලයක් සඳහා අපි සූදානම්. අපේ සන්ධානයේ අයත් එක්වෙලා ඉන්නේ ඇමැති ධුර ගන්න නොවන බවත් මතක් කළ යුතුයි.
ප්රශ්නය – අගමැතිවරයෙක් සම්බන්ධයෙන් අදහසක් ගෙන තිබෙනවාද? එසේ නම් ඒ කවුද?
පිළිතුර – එම ධුරය සඳහා සුදුසුකම් තිබෙන බොහෝ දෙනෙක් අපගේ සන්ධානයේ ඉන්නවා. එම ධුරය ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව සහ පාර්ලිමේන්තුවේ විශ්වාසය පවතින ආකාරයට තීරණය විය යුතුයි. එහිදී අපි වඩාත් යෝග්‍ය පුද්ගලයාව තෝරා ගනියි.
ප්රශ්නය – ජනාධිපතිවරණය එළඹෙන සෙනසුරාදා පවත්වනවා. රටේ ජනතාව සජිත් ප්‍රේමදාස වන ඔබව දිනවිය යුත්තේ ඇයි?
පිළිතුර – ජනතාව මා කෙරෙහි විශ්වාසය තබන්නේ මම හැමදාමත් රටේ ජනතාවගේ පැත්තේ හිටගන්න නායකයා නිසයි. මම මේ රටේ ජාවාරම්කාර පන්තියට විරුද්ධව ගිහිල්ලා තමයි මේ පක්ෂය බිහිකළේ. අපේ පක්ෂය මෙරට සාමාන්‍ය පන්තියේ සිට ඉහළ පන්තිය දක්වා ඕනෑම කෙනෙකුට විවෘත නමුත් සාධාරණත්වය සමානාත්මතාවය සහ යුක්තිය සඳහා ක්‍රියා කරන පක්ෂයක්. පොඩි මිනිහට සලකන, නීතියේ ආධිපත්‍යයට ගරුකරන නායකයෙක් විදිහට ජනතාව මා එක්ක ඉන්නේ. ආර්ථික අර්බුදයට විසඳුම් සොයන ජනතාවට සේම දුක්විඳින පන්තියේ ජනතාවටත් අද සජිත් ප්‍රේමදාස නායකත්වය දෙනවා. ඔවුන් සියලු දෙනාම මා සමගයි.