Local

බැංකු අය කරන ණය පොලිය වහාම අඩු කළ යුතුයි

Wednesday, 24 January 2024 - 8:20 am

ඉදිරියේදී ගන්නා ණයවලට වගේම දැනට ගත් ණයවලටත් වලංගුයි

මුදල් මණ්ඩලය දිගින් දිගටම ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීමේ තීරණයන් ගෙන තිබෙන වාතාවරණයක් යටතේ ගනුදෙනුකරුවන් බැංකුවලින් ලබා ගෙන තිබෙන ණය සඳහා අය කරන පොලිය වහාම අඩු විය යුතු බවත්… එලෙස බැංකු පොලී අනුපාත පහත දමන්නේ නැති ආයතනවලින් දැනටමත් මහ බැංකුව විසින් නිදහසට කරුණු විමසා ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. ඉදිරියේදී ලබා ගන්නා ණය පහසුකම්වල පමණක් නොව දැනට ලබාගෙන ඇති ණය පහසුකම්වලද පොලී අනුපාත අඩු කිරීමට බැංකුවලට සිදුවනු ඇතැයි මහ බැංකුවේ අධිපතිවරයා සඳහන් කළේය. කොළඹ කොටුව ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ ඊයේ (23) පැවැති මුදල් ප්‍රතිපත්ති දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අධිපතිවරයා මේ බව පැවසීය.

මේ වන විට පෞද්ගලික අංශය විසින් බැංකුවලින් ලබා ගන්නා ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇත. පසුගිය වසරේ මුල් හා දෙවැනි කාර්තුව ආර්ථික වර්ධනය සෘණ අගයක් ගත්තද වසර අවසන් කාර්තු දෙකෙහි ධන අගයක් ගෙන තිබීම සතුටුදායක තත්ත්වයක් බවද අධිපතිවරයා කීය.

මේ වසරේ ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇතැයිද අධිපතිවරයා අපේක්ෂා පළ කළේය. පෞද්ගලික අංශයේ ණය ලබා ගැනීම් ඉහළ යෑම පෙන්නුම් කරන්නේ ආර්ථිකයේ පිබිදීමකට මුල පිරීමක් වේ. ඒ අනුව නව කෘෂි කර්මාන්ත හා සේවාවල වර්ධනයක් සිදුවනු ඇත. මෙම ණය පහසුකම් ලබා ගැනීමේදී ඉදිරියේදී පොලී අනුපාත අඩුවනු ඇත. දැනට ලබාගෙන ඇති ණය සඳහා වන ඉහළ පොලී අනුපාතද නුදුරේදී පහත හෙළීමට බැංකු පද්ධතිය කටයුතු කරනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පෙරේදා (22) පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 9.00 සහ සියයට 10.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.

නුදුරු කාලීනව උද්ධමනය ඉහළ යෑම සඳහා පීඩන ඇති කළ හැකි බදුකරණයේ සහ සැපයුම් අංශයේ සාධකවල මෑත කාලීන ප්‍රවණතාවන්හි බලපෑම පිළිබඳව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කර ඇති බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. මෑත කාලීන ප්‍රවණතාවල බලපෑම මඟින් මැදි කාලීන උද්ධමන ඉදිරි දැක්මෙහි සැලකිය යුතු වෙනස්කමක් සිදු නොවනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස විය. පෙර ක්‍රියාත්මක කරනු ලැබූ මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග මෙන්ම රජයේ සුරැකුම්පත් හා සම්බන්ධ අවදානම් අධි මිල පහළ යෑම හේතුවෙන් වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු වීම සඳහා ඇති අවකාශය පිළිබඳ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කර ඇති බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය. වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීම මඟින් අපේක්ෂිත ප්‍රතිලාභ මූල්‍ය ආයතන විසින් ව්‍යාපාර හා පුද්ගලයන් වෙත ප්‍රමාණවත් ලෙස හා කඩිනමින් ලබා දිය යුතු බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනී, නියෝජ්‍ය අධිපති, ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරීහු සහභාගි වී සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT