Local

බොරැල්ල පොලිසියේ කූඩුවේ කම්බි කපා විදුලිය විසන්ධි කර පැන්න අයෙක්

Tuesday, 16 January 2024 - 10:42 am

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති කාර්යාල කාමර දෙකක් කුලියට ගෙන වාහන වෙළෙඳ ආයතනයක කාර්යාලයක් පවත්වාගෙන යමින් වාහන දෙකක් මිල දී ගැනීමට පැමිණි ගැනුම්කරුවන් දෙදෙනකුගේ රුපියල් හාරකෝටි පනස්පන් ලක්ෂයක මුදලක් රැගෙන පලා ගිය… පුද්ගලයා, වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් වාහන පැහැර ගැනීමක් සම්බන්ධයෙන් 2009 වසරේදී බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී පොලිස් ස්ථානයේ විදුලිය විසන්ධි කරවා පලා ගිය අයකු බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම පුද්ගලයා බොරැල්ල පොලිස් සිර මැදිරියේ රඳවා ගැනීමේ නියෝගයකින් රඳවා සිටියදී විදුලිය විසන්ධි කර පලා යන්නේ පොලිස් ස්ථානයේ සුළු සේවකයකුගේ සහාය ඇතිව පොලිසියේ උපසේවා අංශයේ විදුලි වයර් දෙකක් එකට ගෑවීමට සලස්වා ට්‍රිප් ස්විචය ක්‍රියාත්මක කරවාය.

එම සේවකයාගේ සහාය ඇතිව මෙම පුද්ගලයා කියත් පටියක් සිරමැදිරය තුළට ගෙන්වාගෙන සිර මැදිරියේ කම්බි කූරු කපා ඇති බවත් විදුලිය විසන්ධි කළ දිනයේ එම කම්බි කූරු ඈත් කර ඔහු අඳුරේම පලා ගොස් ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. මෙම පුද්ගලයා සංවිධානාත්මකව වංචාවල නිරතව සිටින්නකු බවත් යතුරු කැපීමේ සහ අගුල් විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂඥයකු බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. බොරැල්ල පොලිසියෙන් පලා ගිය සැකකරුව පසු කාලයක අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. වැඩි කලක් ඔහු බන්ධනාගාරගතව සිට නැති අතර, බන්ධනාගාරයෙන් ද පලා ගොස් තිබේ. ඊට ද බන්ධනාගාර නිලධාරියකුගේ සහාය ඔහුට ලැබී තිබුණු බව විමර්ශනවලින් අනාවරණය වී තිබිණි.

එසේ බන්ධනාගාරයෙන් පලා ගිය මෙම පුද්ගලයා නැවත මතුවන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිදුවූ රුපියල් හාරකෝටි පනස්පන් ලක්ෂයක මුදල් වංචාවත් සමඟිනි. එම වංචාව සිදු වන්නේ පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනිදාය.

ස්ථීර පදිංචි ස්ථානයක් මෙම පුද්ගලයාට නැත. රෆීක් මොහොමඩ් ෂරීෆ් නමැති ඔහු මයිකල්, රිවස්, වැනි නම්වලින් හඳුන්වන බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා විට නවාතැන් ගෙන සිට ඇත්තේ ජාඇළ පිහිටි නිවෙසකය. වැල්ලම්පිටියේ ද ඔහු කාලයක් නවාතැන් ගෙන සිට ඇත.

සිංහල, දෙමළ හා ඉංශ්‍රීසි භාෂා ඔහුට චතුර ලෙස හැසිරවීමට හැකි බවත් පරිහරණය කරනු ලබන්නේ සුඛෝපභෝගී ජීප් රථ බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. එකල ඔහු තමන් ගමන් කරන වාහනයේ ඉදිරිපස වීදුරුවේ ආරක්ෂක අමාත්‍යාංශය ලෙස පුවරුවක් සවි කර ගමන් කර ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය. පොලිස් නිලධාරීන් ඔහු ගමන් ගන්නා වාහන නවතා පරීක්ෂා කිරීමේදී ඉංශ්‍රීසි භාෂාවෙන් ඔහු තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ බව සඳහන් කරමින් එක දිගට කතා කරන බවත් එහිදී පොලිස් නිලධාරීන් ද කලබල වී පරීක්ෂා කිරීමකින් තොරව ඔහුට යන්නට ඉඩ දෙන බවත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් එකල බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශය මඟින් කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මුස්ලිම් ජාතිකයකු වන මෙම පුද්ගලයා බොහෝ තැන්වල පෙනී සිට ඇත්තේ සිංහල ජාතිකයකු ලෙසිනි. බදුල්ලේ ලිපිනයකින් සිංහල ජාතිකයකු ලෙස සකස් කළ ව්‍යාජ ජාතික හැඳුනුම්පතකින් ඔහු බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ කාර්යාල දෙකක් කුලියට ගෙන ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මෙම පුද්ගලයාව බොරැල්ල පොලිසිය මඟින් එකල අත්අඩංගුවට ගෙන ඇත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් මෝටර් රථයක් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

එකල මෙම පුද්ගලයා පෙනී සිට ඇත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවයේ නිරත ශල්‍ය වෛද්‍යවරයකුගේ නමින් සකස් කළ ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් ද අතැතිවය.

පුවත්පත්වල වාහන විකිණීම් සම්බන්ධයෙන් පළ කර ඇති දැන්වීම්වල සඳහන් මිල අධික වාහන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන මෙම පුද්ගලයා වෛද්‍ය වෙසින් එම වාහන පරීක්ෂා කිරීමට ගොස් වාහන පණ ගන්වන යතුර සබන් කැටයක සටහන් කර ගන්නා බව ඒ සම්බන්ධයෙන් එකල විමර්ශන පැවැත්වූ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. අනතුරුව ඔහු සටහන් කරගත් යතුරු අනුරුවට අනුව ව්‍යාජ යතුරක් සකස් කර ගන්නා බව එම නිලධාරියා පැවසීය.

ව්‍යාජ යතුර සකස් කර ගැනීමෙන් අනතුරුව වාහනයේ හිමිකරුට දුරකතන ඇමතුමක් දෙන මෙම පුද්ගලයා සියලු ලියකියවිලි සමඟ වාහනය රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන එන ලෙස දැනුම් දෙන බව ද එම නිලධාරියා කීය. රථය රිජ්වේ රෝහලේ රථ ගාලේ තමාගේ නම පවසා නතර කරන ලෙස දැනුම් දෙන ඔහු තමාව හමුවීමට ශල්‍යාගාරයට පැමිණෙන ලෙස පවසන බවත් එම නිලධාරියා පැවසීය.

එම දුරකතන ඇමතුමට අනුව වාහනය රැගෙන ගොස් රථ ගාලේ නතර කර ශල්‍යාගාරයට යන අතරතුර මෙම සැකකරු ව්‍යාජ යතුරෙන් වාහනයේ දොරගුළු විවෘත කර වාහනය පණ ගන්වා රැගෙන යන බව එම නිලධාරියා කීය.

මේ ආකාරයට මෙම පුද්ගලයා විසින් කොළඹ හා ඒ අවට රෝහල් ආශ්‍රිතව වාහන පැහැර ගැනීම් රැසක් සිදු කර ඇති බවට තොරතුරු ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශය තුළ මෙන්ම අපරාධ හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය තුළ පවා මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ගොනුවක් ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම පුද්ගලයා එක් වෛද්‍යවරයකුගේ නමින් පමණක් නොව, වෛද්‍යවරු කිහිප දෙනකුගේ නම්වලින් පෙනී සිටිමින් වාහන පැහැර ගැනීම් කර ඇති බව පොලිස් තොරතුරුවල සඳහන්ය.

වෛද්‍යවරයකු ලෙස මෙම පුද්ගලයා වැඩි වශයෙන් පෙනී සිටියත් ඉංජිනේරුවකු, ගුරුවරයකු, ව්‍යාපාරිකයකු වැනි විවිධ වෙස් ගෙන වංචා කිරීම්වල නිරතව සිට ඇති බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට සාර්ථක තොරතුරක් අපරාධ හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ලබා දෙන්නන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදල් තෑග්ගක් පවා ලබා දෙන බව 2021 වසරේ අප්‍රේල් මාසයේදී පොලිස් මූලස්ථානය මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කර තිබිණි. එහෙත් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි සාර්ථක තොරතුරක් මහජනතාවගෙන් ලැබී තිබුණේ නැත.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT