Local

පිලැස්සේ විමලධජ නාහිමියන් ඉටු කළ උදාර මෙහෙවර ශාසන ඉතිහාසයට එක් වෙනවා

Monday, 29 January 2024 - 9:59 am

ආදාහන පූජෝත්සවයට එක් වෙමින් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන කියයි

රට දැය සමය වෙනුවෙන් පිලැස්සේ විමලධජ නායක හිමිපාණන් ඉටු කළ උදාර මෙහෙවර මෙරට ශාසන ඉතිහාසයට එකතු වනු ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

අපවත් වී වදාළ මීගොඩ භාවනා භික්ෂු මධ්‍යස්ථානාධිපති, කවිධජාභිවංශ, ශ්‍රී සද්ධර්ම වාගීශ්වර, කම්මට්ඨානාචාර්ය, කොළඹ දිසාවේ උප ප්‍රධාන සංඝනායක, සාම විනිසුරු, දේශකීර්ති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ බලමණ්ඩලයේ ප්‍රධාන පැවිදි අනුශාසක පිලැස්සේ විමලධජ නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය මීගොඩ ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණු අතර, එහිදී ඇමැතිවරයා එසේ සඳහන් කළේය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ ගෞරවණීය අනු නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේගේ ගිහි ඥාතීන්ගේ සහභාගිත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරිණි.

එහිදී ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ ද පැවැසීය.

“රටත්, ජාතියත්, බුදු සසුනත් වෙනුවෙන් අනූපමේය මෙහෙවරක නිරත වූ පිලැස්සේ විමලධජ නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීම රටටත්, සම්බුද්ධ ශාසනයටත් දරාගත නොහැකි පාඩුවක්. පිරිවෙන් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය අවසන් කර සුපේශල, ශික්ෂාකාමී, ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් සුවිශාල ආගමික, සාමාජයීය මෙහෙවරක උන්වහන්සේ නිරත වුණා. රටේ ඒකීයභාවය වෙනුවෙන් පැවති තිස්වසරක යුද්ධය නිමා කළ යුතු බව උන්වහන්සේ තරයේ විශ්වාස කළා. එබැවින් එම යුද වාතාවරණය තුළ රටත්, සම්බුද්ධ ශාසනයත්, මිනිස් ජීවිතත් බේරා ගැනීමට පැවති සටනේදී රණවිරුවන්ට ශක්තිය සහ ආශීර්වාදය දෙන්නට කඳවුරෙන් කඳවුරට වඩින්නට උන්වහන්සේ තුළ දැවැන්ත ශක්තියක් සහ අසීමිත කැපවීමක් පැවතුණා.

යුද්ධය අවසන් වීමෙන් අනතුරුව රට දැය වෙනුවෙන් සිය දෑත් දෙපා අහිමි කර ගත් ආබාධිත රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් උන්වහන්සේ විශාල දායකත්වයක් දුන් බව මා පෞද්ගලිකව දන්නා කරුණක්. ඒ හේතුවෙන්ම ස්වකීය ජීවිත කාලයේ විශාල කැප කිරීමක් සිදු කර විහාරස්ථානයේ ඉදිකරන ලද තෙමහල් මන්දිරය යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන් සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සුරතින් විවෘත කිරීමට උන්වහන්සේට දැඩි අවශ්‍යතාවක් පැවතුණා. උන්වහන්සේ සිදු කළ සද්කාර්යයන්ට සිදු කරන ගෞරවයක් ලෙස හිටපු ජනාධිපතිවරයා එම අවස්ථාවට දායක වුණා.

පිටතට නොපෙනෙන සුවිශාල ආධ්‍යාත්මික සහ බුද්ධ දායකත්වයක් මා වෙත ද උන්වහන්සේ වෙතින් හිමි වුණා. මා එවකට අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයෙහි පිරිවෙන් අධ්‍යාපනය සහ ලාංකේය අධ්‍යාපනය තුළ විනයවත් ගුණගරුක ශිෂ්‍ය පරම්පරාවක් බිහි කිරීම වෙනුවෙන් භාවනාමය වශයෙන්, චින්තනමය වශයෙන් වෙනසක් ඇති කිරීමට පත්කළ කමිටුවල සාමාජිකයකු ලෙස නායක ස්වාමීන් වහන්සේ නිර්ව්‍යාජව කටයුතු කළා. එහිදී විවිධ විද්වතුන් සමඟ එක්වෙමින් තමන් සතු අත්දැකීම්, පළපුරුද්ද තුළින් වඩාත් යහපත් සිසු පරපුරක් ලාංකීය සමාජයට බිහි කිරීම උදෙසා අවවාද අනුශාසනා දෙමින් උන්වහන්සේ විශාල මෙහෙවරක් ඉටු කළා.

යුද හමුදා බෝධිරාජ විහාරස්ථානයේ සමස්ත කටයුතු සඳහා අවවාද අනුශාසනා සහ මඟපෙන්වීම දෙමින් කටයුතු කළ උන්වහන්සේ කිසිදු ජාති, ආගම්, නිකාය, දේශපාලන භේදයකින් තොරව සියලු දෙනා වෙනුවෙන්ම සිය මෙහෙවර ඉටු කිරීමට නිහතමානීව, නොපැකිළව ඉදිරිපත් වුණා. රටට දැයට දහමේ නිවැරදි මඟ පෙන්වමින් උන්වහන්සේ රැස් කර ගත් කුසල ශක්තියෙන් උන්වහන්සේට සදා නිසංසල නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.”

ත්‍රෛනිකායික මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලන නියෝජිතයන්, යුද හමුදාව, පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, විහාරස්ථානයේ දායකයන් ඇතුළු ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මේ ආදාහන පූජෝත්සවයට පැමිණියහ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT