බොහෝවිට අලුතින් මිලදී ගත් වාහනවල ඉදිරිපස රෝදවලට ඉදිරියෙන් දෙහි ගෙඩි කිහිපයක් සහ මිරිස් කරල් කිහිපයක් එල්ලා තිබෙනවා. එබඳු දර්ශන ඔබ කොතෙකුත් දැක ඇතිවාට සැක නැහැ. නමුත් එහෙම කරන්නේ ඇයිද කියන එක ඔබ මොහොතකට හෝ කල්පනා කර බැලුවා ද?
අතීතයේ අපේ මිනිසාට රෝද හතරේ සැප පහසුවට ගමන් යන්න වාහන තිබුණේ නැහැ. ඔවුන් ගමන් ගියේ පයින්. එහෙමත් නැතිනම් ගොන් කරත්තවලින්, අශ්ව කරත්තවලින් ආදී සත්ත්වයන් උපයෝගි කරගෙනය.
එම සතුන් ගමන් ගත් කරත්ත වැලි තලා මතින්, මඩ ගොහොරු තුළින්, කැලෑ පාරවලින්, තණකොළ පිරුණු මාර්ගවලින්, ජලය පිරුණු ස්ථානවලින්, ගල් තැනිතලා පාරවල් මතින් ප්‍රවාහන කටයුතු සිදුකරගනු ලැබුවා. එසේ ගමන් කිරීමේදී එම සත්ත්වයින්ගේ පාදවල කුරවල මධ්‍ය (මැද) තුවාල සිදුවීම සිදුවුණා. එවිට තුවාලහට ගැනීමෙන් විෂබීජ ඇතුළු වී පාද කුණු වීම, පණුවන් ගැසීම, ඉදිමීම ආදී රෝගයන්ට එම සත්ත්වයන් ගොදුරු වුණා.
එවිට අද මෙන් එදා ප්‍රතිකාර ලබාගැනීමට වෛiවරු හෝ බෙහෙත් ශාලා පැවැතියේ නැහැ. හදිසි අවස්ථාවලදී අත්බෙහෙත් භාවිත කිරීමට අපේ පැරණි උදවිය පුරුදු වී සිටියා. ඒ නිසා තමයි ඔවුන් දුර යනවිට ඔවුන්ගේ කරත්තවල දෙහි මිරිස් වැලක් ඉදිරිපස කරත්තයේ එල්ලා ගෙන යනු ලබන්නේ. දෙහිවල සිට්ටි්‍රක් අම්ලය අඩංගු වන අතර එය හොඳ විෂබීජ නාශකයක් බව අපේ පැරැන්ණෝ දැන සිටියහ. මිරිස්වල කැප්සිකන් කියන රසායනිකය අඩංගු වෙනවා. එම රසායනික සංයෝග දෙක එකතු වීමෙන් බැක්ටීරියා මර්දනයට හා පණුවන් මර්දනයට වටිනා ඖෂධයක් බව අපේ පැරැන්ණෝ දැන සිටියහ. එම ඔසු පැරණි ජනයා සතුන්ගේ කුර මධ්‍යයේ ඇතිවන තුවාල සුවකර ගැනීම සඳහා භාවිතයට ගනු ලැබුවා.
ඒ වගේම අපේ මුතුන් මිත්තන්ට ඇතිවන හදිසි අවස්ථාවලදී ඇතිවන රෝගවලදී ද මෙම දෙහි මිරිස් වැල උපකාරී වුණා. එම නිසා තමයි ඔවුන් ගමන් ගන්නා තම රථය වන කරත්තයට දෙහි මිරිස් වැල එල්ලාගෙන යෑම සිදු කරනු ලැබුවේ.
එම නිසා අදත් සාම්ප්‍රදායක් ලෙස මෙම ක්‍රියාව පැවැතියත් ඒ පිළිබඳව බොහෝදෙනකුට අවබෝධයක් නැහැ. නමුත් දෙහි ගෙඩිය ඇස්වහ කටවහ දුරු කිරීමට ද භාවිතයට ගනු ලබන දෙයක් ලෙස ප්‍රචලිත නිසා එම විශ්වාසයෙන් තමයි අද අප අපගේ රථයට මෙම දෙහි මිරිස් වැල එල්ලා ගනු ලබන්නේ. එයින් රථයට ආරක්ෂාවක් ලැබෙන බවට ජනතාව තුළ විශ්වාසයක් තිබෙනවා.
කෙසේ වෙතත් දැන හෝ නොදැන කරන මෙම ක්‍රියාවෙන් ජන විශ්වාසයත්, සම්ප්‍රදායත් ආරක්ෂා වන අතරම, මෙයින් රථයටවත් රථයේ හිමිකරුටවත් යහපතක් මිස අයහපතක් නොවන බව නම් පැහැදිලිය.