Local

"නිරතුරුව වෙනස්වන ලෝකයට ගැළපෙන ආකාරයට වෙනස් නොවුනහොත් අපට අනාගතයක් නැහැ." ප්‍රවාහන, මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය

Saturday, 18 November 2023 - 5:23 pm

කඩුවෙල මුනිදාස කුමාරතුංග විද්‍යාලය ප්‍රාථමික අංශය සහ ද්විතීක අංශය සම්බන්ධ කරමින් ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම සඳහා මුල්ගල තැබීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරෙන මෙම පාලම දීර්ඝ කාලයක් තිස්සේ පාසලට ඉතාමත් අත්‍යවශ්‍යව පැවති ඉදිකිරීමක් විය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

'සිංහල භාෂාව ජාතිය තුළ ස්ථාපිත කිරීමට මහා මෙහෙවරක් සිදුකළ කුමාරතුංග මුනිදාස ශූරීන් මුල් යුගයේ මෙම විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. එවැනි මහා ප්‍රාඥයින්ගේ ඇසුර ලැබූ මෙම පාසැල වාසනාවන්ත භූමියක්. රටක ජාතියක අනන්‍යතාවය පවතින්නේ එහි ජනතාවගේ මව්බස හා සම්බන්ධවයි. ඒ හේතුවෙන්ම යුනෙස්කෝ සංවිධානය විසින් දරුවෙකුට ප්‍රාථමික අධ්‍යාපනය ලබා දිය යුතු වන්නේ සිය මව්බසින් බවට පිළිගෙන තිබෙනවා.

ලෝකයේ සෑම රටක ම නියෝජනය වන ඒ ඒ ජන වර්ග භාවිතා කරන මව් භාෂාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා දීම අනිවාර්ය කර තිබෙනවා. ජන වර්ග අතර වෙනස හඳුනා ගත හැක්කේ භාෂාවෙන් පමණයි. එවන් සුවිශේෂී වූ භාෂාවට සුවිශාල මෙහෙවරක් සිදු කල කුමාරතුංග මුනිදාසයන්' අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නැගී නොසිටී ' යනුවෙන් වරක් පවසා තිබෙනවා. නිරතුරුව වෙනස්වන ලෝකයට ගැළපෙන ආකාරයට අප වෙනස් නොවුණහොත්, අපගේ සිතුම්, පැතුම්, ආකල්ප, ජනවහර, ධර්මතා ආදිය වෙනස් නොවුණහොත් අපට අනාගතයක් නැහැ. ඒ හේතුවෙන් අනාගත දරු පරපුරට කෙසේ හෝ තොරතුරු තාක්ෂණය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අනාගත ලොව සාක්ෂරතාවය තීරණය වන්නේ තොරතුරු තාක්ෂණ දැනුම මතයි.


මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවූ තාක්ෂණික විෂය ධාරාව උසස් පෙළ සඳහා හඳුන්වා දීමට මා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. ඒ දේ විවිධ අභියෝග අපහාස උපහාස රැසකට මුහුණ දීමට අපට සිදු වුණා. කෙසේ නමුත් තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය,ජෛව පද්ධති තාක්ෂණය, තාක්ෂණය සඳහා විද්‍යාව යන විෂයයන් යටතේ අනාගත ලෝකයට අවශ්‍ය දරුවන් නිර්මාණය කිරීමේ කාර්යය අප ආරම්භ කළා.

මේ වන විටත් අසල්වැසි ඉන්දියාව තොරතුරු තාක්ෂණ අපනයන මගින් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන දෙසියකට‍ අධික ආදායමක් උපයනවා. නමුත් අපේ රටේ ඒ තුළින් උපයනු ලබන්නේ බිලියන 1.75ක් පමණයි. මා විසින් ඇති කළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 1000 තුළ පරිගණක 40කින් යුත් පරිගණක විද්‍යාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපන ඒකකයක්, ගණිතාගාරයක් ඇතුළු පහසුකම් රැසක් ස්ථාපනය කරනු ලැබුවා. මේ පාසලට එවැනි තාක්ෂණික විද්‍යාගාරයක් නොමැති වුවත් ඉදිරියේ දී ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා.


පෙනෙනවාට වඩා වැඩිපුර යමක් නොදකිනවා නම්, අසනවාට වඩා වැඩිපුර යමක් නොඅසනවා නම්, අපේ රටට අනාගතයක් ඇති කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. නිදහසින් වසර හැත්තෑ පහකට පසු අපේ රට බංකොලොත් රටක් බවට පත්ව තිබෙනවා. මෙවැනි අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වුවත් වෙන් කිරීමට මුදල් රටට නැහැ. ලබාගෙන ඇති විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගන්නා තුරු,මේ වන විට රටට කිසිදු විදේශ ආධාරයක් ලැබෙන්නේ නැහැ.

ජාත්‍යන්තර සංවිධාන, නීතී උපදේශක සමාගම් සියල්ලකගේම දායකත්වයෙන් මේ වන විට ක්‍රියාත්මක ණය ප්‍රති ව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගත් වහාම සමස්ත ශ්‍රී ලංකාවේ ම නතර වී ඇති සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා.'


කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස් වීරකෝන් මහතා, ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්,රාජ්‍ය නිලධාරින්, දෙමාපියන්, සිසු දරු දැරියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.


Top Stories
wedivistara

රාගම බටුවත්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

තෝරු, මෝරු, නිල් තල්මස්සු වගේ අය තමා අපි අත්අඩංගුවට ගන්නේ - බිමල් රත්නායක

wedivistara

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

Trending
wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

ඔසුසැල් ජාලය පුළුල් වෙයි


NEWS ALERT