කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ තාක්ෂණික දියුණුව නිසා ඇතිවන අභ්‍යන්තර අභියෝග කළමනාකරණය ජාතික ආරක්ෂාවට අයත් වෙනවා
– ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා
දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30) උදෑසන ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
එහිදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව, ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ මෙන්ම කලාපීය සහයෝගීතව පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජාතික ආරක්ෂක ප්‍රධානී අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ද එක්ව සිටියේය.
මේ අතර, කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC) සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරිණ.
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් (Mr. Ajit Doval K. C.), මාලදිවයිනේ ජාතික ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් (විශ්‍රාමික) ඊබ්‍රාහිම් ලතීෆ් මහතා (Mr. Ibrahim Latheef, DC (Retd.), Lt Col (Retd.)), ශ්‍රී ලංකාවේ මොරිෂස් මහ කොමසාරිස් හේමන්ඩෝයල් ඩිලුම් (Haymandoyal Dillum) සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන් අදාළ සාමාජික රටවල් වෙනුවෙන් ගිවිසුම්වලට අත්සන් තැබූහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, බාහිර තර්ජනවලින් ඔබ්බට ගොස් තාක්ෂණික දියුණුව නිසා ඇතිවන අභ්‍යන්තර අභියෝග සහ එවැනි තත්ත්වයන් වැඩිදියුණු වීම කළමනාකරණය කිරීම ජාතික ආරක්ෂාව විෂය පථයට ඇතුළත් වන බව සඳහන් කළේය.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලික අයිතිවාසිකමක් වුවද, වත්මන් ඩිජිටල් යුගය තුළ එමඟින් ඇතිවන අහිතකර බලපෑම් කළමනාකරණය කිරීම සඳහා රජයන් වඩාත් ප්‍රායෝගිකව කටයුතු කළ යුතු බව ද සාගල රත්නායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
කොළඹ ආරක්ෂක සමුළුවෙහි මූලික පරමාර්ථය වන්නේ සාමාජික රටවලට පොදුවේ බලපාන අන්තර්ජාතික තර්ජන සහ අභියෝග පිළිබඳ කටයුතු කිරීමෙන් කලාපීය ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමයි.
කොළඹ ආරක්ෂක සමුළුව, සමුද්‍රීය ආරක්ෂාව, ත්‍රස්තවාදය සහ රැඩිකල්කරණයට එරෙහි වීම, ජාවාරම් සහ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම, සයිබර් ආරක්ෂාව හා වැදගත් යටිතල පහසුකම් හා තාක්ෂණය ආරක්ෂා කිරීම සහ මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම යන සහයෝගීතාවයේ කුළුණු පහක් මත ක්‍රියාත්මක වේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා මෙසේද පැවසීය:
“කොළඹ ආරක්ෂක සමුළුවේ සමාරම්භක ගිවිසුමට සහ ප්‍රඥප්තියට අත්සන් තැබීමේ වැදගත් අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන අපගේ ගෞරවනීය සගයන් සහ දූත පිරිස් මම සාදරයෙන් පිළිගන්නවා. කලාපීය ආරක්ෂාව සහ සහයෝගීතාව සඳහා අපගේ හවුල් කැපවීම පෙන්නුම් කරමින් අද අප කොළඹදී රැස්ව සිටිනවා. මෙම ඓතිහාසික සිදුවීම මගින් මෙම සමුළුවේ මූලධර්මවලට අප පෙන්නුම් කරන කැපවීම වැඩිදියුණු කිරීමට තවත් අවස්ථාවක් ලබා දෙනවා.
මෙමගින් පොදු උපායමාර්ගික දැක්මක් තහවුරු කෙරෙනවා. කලාපය තුළ තීව්‍ර වන බාහිර බලපෑම්වලට ඔරොත්තුදීමේ වැදගත්කම අවධාරණය කෙරෙනවා. ඒ වගේම අසල්වැසි රටවල් සමඟ ගැටුම් වළක්වා ගනිමින් සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද පිළිබිඹු කෙරෙනවා.
2011 දී ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ත්‍රෛපාර්ශ්වික සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව ලෙස ආරම්භයේදී පිහිටුවන ලද කොළඹ ආරක්ෂක සමුළුව, අභියෝග ගණනාවකට සාර්ථකව මුහුණ දෙමින් සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙනවා. මොරිෂස් රාජ්‍යය සහ බංගලාදේශය ද මෙම සමුළුවේ ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස එක්ව සිටීම පිළිබඳ අප සතුටු වෙනවා. සීෂෙල්ස් රාජ්‍යයටද මේ සඳහා එක්වන ලෙස අප ආරාධනා කර තිබෙනවා. අපගේ සාමාජික රටවල් අතර පවතින සහයෝගීතාව, විපතකදී අපගේ ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම කලාපයේ සාමය පවත්වා ගැනීම සඳහා අප පෙන්නුම් කරන කැපවීම පිළිබඳ සාක්ෂියක් බවට පත්වෙනවා.
විශේෂයෙන්ම කොළඹ ආරක්ෂක සමුළුවේ ස්ථීර මහලේකම් කාර්යාලයේ පිහිටා තිබෙන රට ලෙස මෙම උත්සවය පැවැත්වීමට ලැබීම ශ්‍රී ලංකාව ගෞරවයක් ලෙස සලකනවා. අප සැමට බලපාන සංකීර්ණ ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා අපගේ කැපවීම මෙයින් පෙන්නුම් කෙරෙනවා. සමුළුවේ මූලික කුළුණු පහ සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අපගේ සාමූහික කැපවීම තුළින් සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය හුදෙක් අභිලාෂයන් නොව යථාර්ථයක් බවට පත්වන වන අනාගතයක් නිර්මාණය කිරීමට උපකාරී වෙනවා.
වේගයෙන් වෙනස් වන තර්ජන සහිත ලෝකයක, කලාපීය හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ සහයෝගී උපාය මාර්ග වැඩිදියුණු කිරීම කෙරෙහි අප උත්සාහ යොමු කළ යුතුයි. සයිබර් ආරක්ෂාව, ජාත්‍යන්තර අපරාධ සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි දේශසීමා ඉක්මවා යමින් මතුවන තර්ජන වලට මුහුණ දෙන අතරම සාම්ප්‍රදායික ආරක්ෂක ගැටළුවලට මුහුණ දීම ද අත්‍යාවශ්‍යයි.
එපමණක් නොව, ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ රටක් වන ශ්‍රී ලංකාවේ මෑත කාලීනව ලබාගත් අත්දැකීම් පිළිබඳව මෙහිදී සඳහන් කිරීමට කැමතියි. එම කාලවකවානුව තුළ සති ගණනක් පුරා පැති කොළඹ නගරයේ වීදිවල ප්‍රචණ්ඩ ක්‍රියා අපට දක්නට ලැබුණා. බංග්ලාදේශය ද ඒ ආකාරයෙන්ම අද අභියෝගවලට මුහුණ දී සිටිනවා.
ශ්‍රී ලංකාව තුළ ගැඹුරින් මුල් බැසගත් සමාජ සුබසාධන පද්ධතියක් තිබෙනවා. කළින් කලට බලයට පත් වූ රජයන් ජනතාවට සේවය කිරීමට කැපවී සිටියා. කෙසේ වෙතත්, කාලයාගේ ඇවෑමෙන් මෙම සුබසාධන වැඩසටහන් සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීම දුෂ්කර වු අතර එම තත්ත්වය රජයන්ට තිරසර නොවන ණය ගැනීම් සඳහා පෙළඹවීමට හේතු වුණා.
බදු අඩු කරමින් 100% රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොර කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවට මැතිවරණ පොරොන්දු ලබාදුන් ආණ්ඩුවක් බලයට පත්වීම නිසා මෙම තත්ත්වය තවත් නරක අතට හැරුණා. එම රජය මෙම පොරොන්දු ඉටු කළ නමුත් එමගින් ඇතිවු ප්‍රතිවිපාක දරුණු වුණා. අවසානයේ රජයට ණය ගෙවීමට නොව එදිනෙදා කටයුතුවලට අවශ්‍ය මුදල් හෝ සොයාගැනීමට නොහැකි වූ මූල්‍ය අර්බුදයකට හේතුවුණා. මුදල් මුද්‍රණය කිරීම දක්වා තත්ත්වය තවත් බරපතල වූ අතර, අවසානයේ නොසන්සුන්තාවන් සහ මහජන විරෝධතා ඇතිවුණා. නව තාක්ෂණය හරහා තොරතුරු වේගයෙන් බෙදා හැරීමට හැකි නිසා තත්ත්වය ඉතා වේගයෙන් පැතිරගියා.
මේ වන විට ජාතික ආරක්ෂාව සඳහා බාහිර තර්ජනවලින් ඔබ්බට ගොස් තාක්ෂණික දියුණුව නිසා ඇතිවන අභ්‍යන්තර අභියෝග සහ එවැනි තත්ත්වයන් වැඩිදියුණු වීම කළමනාකරණය කිරීම ද ඇතුළත් වෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලික අයිතිවාසිකමක් වුවද, ඩිජිටල් යුගයේ එහි බලපෑම කළමනාකරණය කිරීමට රජයන් විසින් සියුම්ව ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා.
අප ඉදිරියට යන විට, නව්‍ය සහ වඩාත් ප්‍රායෝගික විසඳුම් වැඩිදියුණු කිරීම සඳහා අපගේ අත්දැකීම් සහ අදහස් බෙදා ගැනීම ඉතා වැදගත් වෙනවා. සාමූහික වශයෙන් අප සතු ප්‍රවීණත්වය උපයෝගී කර ගැනීමෙන්, ආරක්ෂාවට සහය වන මෙන්ම ගැඹුරු කලාපීය ඒකාබද්ධතාව පෝෂණය කරන තිරසර රාමුවක් අපට ගොඩනගා ගත හැකියි.
අපගේ ජනතාවගේ යහපත සඳහා අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවයෙන් යුත් අනාගතයකට අප රැගෙන යන ශක්තිමත් බැඳීම් ගොඩනඟා ගනිමින්, සමෘද්ධිමත් අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා අපගේ රටවල් අතර පවතින කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.
මෙතරම් කෙටි කාලයක් තුළ මෙම උත්සවය සංවිධානය කිරීමට සම්බන්ධ වූ සැමට මාගේ අවංක ස්තුතිය පුද කිරීමට කැමැතියි. විදේශ අමාත්‍යවරුන්, විදේශ කටයුතු ලේකම්වරැන් සහ කාර්ය මණ්ඩල, ජාතික ආරක්ෂක උපදේශක කාර්යාල, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය, සාමාජික රටවල දූත මණ්ඩල සහ රජයන් ගත් මෙම උත්සාහය මම අගය කරනවා. එමෙන්ම මේ සඳහා අනුමැතිය ලබාගැනීමත්, අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණ ඉතා කඩිනමින් සිදු කළ සියලුදෙනාම බෙහෙවින් කෘතඥ වෙනවා.”
ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, මාලදිවයිනේ ජාතික ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් (විශ්‍රාමික) ඊබ්‍රාහිම් ලතීෆ්, ශ්‍රී ලංකාවේ මොරිෂස් මහ කොමසාරිස් හේමන්ඩෝයල් ඩිලුම් සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන් විශේෂ සාකච්ඡාවක ද නිරත විය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළුව විදේශීය දූත මණ්ඩල ප්‍රධානීන් සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.