රටක සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන සාධකය වන්නේ මානව සම්පතයි. නිරෝගී මෙන්ම ශක්තිමත් මානව සම්පතකින් රටක් දියුණුවේ හිනිපෙත්තටම ගෙන යා හැකිය. නමුත් හෙට දින රටේ අනාගතය භාර ගෙන රට සංවර්ධනය කිරීමට සිටින මානව සම්පත අකාලයේ රටට අහිමිව යාවි නම් එම රට කෙසේ දියුණු කරන්නද. රටේ මානව සම්පත රටට අහිමි වන්නේ කැරලි කෝලාහල යුද ගැටුම් හේතුවෙන් නොව දිනපතා සිදුවන මාර්ග අනතුරු හේතුවෙනි.
මේ අනතුරු රැල්ලේ නවතම අනතුර සිදුවූයේ පසුගිය 04දා පාර්ලිමේන්තු මාර්ගයේදීය. ඒ අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ඉදිරියෙන් පැමිණි වෑන් රථයක, මාර්ගය අයිනේ ඇති කොන්ක්‍රීට් කණුවක සහ ගසක වැදී දෙකට කැඩී යෑමෙනි. මෙම අනතුරින් තරුණ ජීවිත දෙකක් රටට අහිමි විය. මේ ආකාරයෙන් හෙට දින රට භාර ගැනීමට සිටින කී දෙනකු අකාලයේ රටට අහිමි වී යනවාද.
රටේ පවුල්වලට වඩා වැඩි වාහන දිනෙන් දින සිදුවන රිය අනතුරු පිළිබඳ අප විමසා බැලීමේදී පෙනී යන්නේ රටේ මාර්ග පද්ධතියට දැරිය නොහැකි තරමේ වාහන සංඛ්‍යාවක් මෙරට පවතින බවය. මෙරට සතු වාහන සංඛ්‍යාව පිළිබඳ කරුණු දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා.
“ලංකාවේ මේ වනවිට සිටින පවුල් සංඛ්‍යාව ලක්‍ෂ 57කට ආසන්නයි. නමුත් මෙරට පවතින වාහන ප්‍රමාණය ලක්‍ෂ 87කට ආසන්නයි. වාහන හා පවුල් අතර අනුපාතය සලකා බලන විට පෙනීයන්නේ 1ඃ4 බවයි. ලංකාව සැලකෙන්නේ පවුල්වලටත් වඩා වාහන පවතින රටක් විදිහටයි.”
මෙරට පවතින මෝටර් බයිසිකල් ප්‍රමාණය ලක්‍ෂ 48කි. එය රටේ සමස්ත වාහනවලින් අත්කරගෙන ඇති ප්‍රතිශතය 58%කි. ඊළඟට වැඩිපුරම පවතින වාහන වර්ගය වන්නේ ත්‍රිරෝද රථය. එම ප්‍රමාණය ලක්‍ෂ 12කි. එයට හිමිව ඇති ප්‍රතිශතය 14%කි. සමස්ත වාහනවලින් 11%ක් අයත්වන්නේ මෝටර් රථ කාණ්ඩයට. එම ප්‍රමාණය ලක්‍ෂ 09කට ආසන්නය. ඊට අමතරව බස් රථ 113,000ක් ද්විත්ව කාර්ය වාහන 450,000ක් හා ලොරි රථ 385,000ක් පවතී.
රටේ රිය අනතුරු බහුල වීමට විවිධ කාරණා බලපා ඇත. ඒ පිළිබඳ කරුණු දක්වන අතුකෝරල මහතා “රටක වාහන ගහනය වැඩිවෙනකොට ඊට සාපේක්‍ෂව මාර්ග පද්ධතිය දියුණු නොවුණොත්, වැඩි වන වාහන ප්‍රමාණයට සාපේක්‍ෂව ජනතාවගේ බුද්ධි මට්ටම දියුණු නොවුනොත්, වැඩිවන වාහනවලට සාපේක්ෂව මාර්ග සංඥා පද්ධතිය වැඩිදියුණු නොවුනොත් සිදුවන ප්‍රධාන කාරණය වන්නේ එම රට තුළ මාර්ග අනතුරු ක්‍රමයෙන් වැඩිවීමයි.”
මහාචාර්යවරයා පැවසූ කාරණය සත්‍යයකි. ඉවක් බවක් නැතිව හතු පිපෙන්නාක් මෙන් තැන තැන බිහිවූ ලීසිං සමාගම් හරහා මෙරට මාර්ගවලට එකතු වූ වාහන ප්‍රමාණය කිසිසේත් මෙරට මාර්ග පද්ධතියට ඔරොත්තු නොදේ. මේ හේතුවෙන් සෑම දිනකම පාහේ අති විශාල රිය අනතුරු සංඛ්‍යාවක් සිදුවේ.
පසුගිය අවුරුදු කිහිපයේ සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව පිළිබඳ සලකා බැලුවහොත් එම කරුණ හොඳින්ම අවබෝධ වෙයි.
2020 වර්ෂයේදී මෙරට රිය අනතුරු හේතුවෙන් 2829 දෙනකු මිය ගොස් ඇති අතර 2021 වර්ෂයේදී 2513 දෙනකු අනතුරු හේතුවෙන් ජීවිත අහිමි වී තිබේ. 2022 වර්ෂයේදී 2536 දෙනකු ජීවිතක්ෂයට පත් වෙද්දී 2023 වර්ෂයේදී 2557 දෙනකු මරණයට පත්ව ඇත.
මෙම සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කර බැලීමේදී පෙනීයන්නේ සෑම දිනකම රිය අනතුරු හේතුවෙන් ආසන්න වශයෙන් හත් දෙනකු මියගොස් ඇති බවයි. පැය දෙක තුනකට වරක් රටේ කුමන හෝ ප්‍රදේශයක රිය අනතුරක් හේතුවෙන් පුද්ගල මරණයක් වාර්තා වේ.
2022 වර්ෂයේදී මෙරට සිදුව ඇති රිය අනතුරු පිළිබඳ සලකා බැලීමේදී පෙනීයන්නේ එයින් 2395ක්ම මාරාන්තික අනතුරු බවයි. එම වර්ෂයේදී සිදුව ඇති සුළු අනතුරු සංඛ්‍යාව 8029කි. බරපතළ අනතුරු 6231ක් සිදුව ඇති අතර හානි පමණක් සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 5118ක් සිදුව ඇත.
එක් වර්ෂයක් තුළ සිදුවන රිය අනතුරු ප්‍රමාණය පිළිබඳ මෙන්ම රිය අනතුරුවලට ලක්වන පුද්ගලයන් පිළිබඳවද මහාචාර්යවරයා අදහස් දැක්විය.
“සෑම වර්ෂයකම රිය අනතුරු 21000 – 22000 අතර සංඛ්‍යාවක් සිද්ධ වෙනවා. මාර්ග අනතුරු හේතුවෙන් මිය යන පුද්ගලයන්ගෙන් වැඩි ප්‍රමාණයක් මෝටර් බයිසිකල්කරුවන්. එම ප්‍රමාණය 32%. ඒ වගේම රිය අනතුරු හේතුවෙන් පදිකයන් 31%ක්, රියැදුරන් 7%,
මගීන් 12%, පාපැදිකරුවන් 9%ක් හා පසු පැදිකරුවන් 7%ක් මියයනවා.”
රිය අනතුරුවලට වැඩිපුරම ලක්වන වාහනය වන්නේ මෝටර් බයිසිකල්ය. මෝටර් බයිසිකල් රිය අනතුරුවලට ලක්වීමේ ප්‍රතිශතය 34%කි. මෝටර් රථ 16%ක්, ත්‍රිරෝද රථ 16%ක් ලොරි රථ 11%ක්, ද්විත්ව කාර්ය වාහන 13% ක් පෞද්ගලික බස් 6%ක්, ලංගම බස් 2%ක් හා පාපැදිකරුවන් 1%ක් රිය අනතුරුවලට ලක්වේ.
රිය අනතුරු ලංකාවේ පමණක් නොව ලොව සෑම රටකම පාහේ සිදුවෙයි. වසරකට ලෝකයේ සිදුවන සමස්ත රිය අනතුරු ප්‍රමාණය මිලියන 1.19කි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව රිය අනතුරු හේතුවෙන් වැඩිපුරම මියයන්නේ වයස අවුරුදු 5 – 29 අතර පුද්ගලයන්ය. ඊට අමතරව අවුරුදු 55 ට වැඩි පුද්ගලයන් වැඩි වශයෙන් රිය අනතුරු හේතුවෙන් මරණයට ලක්වේ.
ශ්‍රී ලංකාව තවමත් දියුණු වෙමින් පවතින රටකි. ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල මෙන්ම අප්‍රිකානු කලාපයේ රටවල රිය අනතුරු නිරන්තරව වාර්තා වේ. ලොව පවතින වාහනවලින් 60%ක් පමණම පහළ හා මැදි ආදායම් රටවලට අයත් වේ. නමුත් ලොව සිදුවන මාරාන්තික අනතුරුවලින් 92% ක්ම සිදුවන්නේ මෙම රටවල්වල බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ සඳහන් වන බව මහාචාර්ය අතුකෝරල මහතා පවසයි.
එසේම ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවේ සඳහන් වන තවත් කරුණක් වන්නේ බොහෝ රටවල දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමින් 3% කට වඩා වැඩි ප්‍රමාණයක් මාර්ග අනතුරු නිසා හානියට ලක්වන බවයි.
රිය අනතුරු හේතුවෙන් පුද්ගල ජීවිතවලට හානි සිදුවේ. ඊට අමතරව විවිධ ආබාධවලට ලක්වීම ඇතුළු රෝගාබාධ රැසකට රිය අනතුරු හේතුවක් වී ඇත. එසේම අනතුරට ලක්වන වාහනවලට සහ අනෙකුත් දේපළවලට සිදුවන හානියද ඇතුළත්ව අද වන විට රටවල්වල දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% සිය අනතුරු හේතුවෙන් එම රටවලට අහිමි වී යයි.
රිය අනතුරුවලට බලපාන සාධක
රිය අනතුරු විශාල වශයෙන් සිදුවීමට බලපාන ප්‍රධානම කාරණය වන්නේ අධික වේගයයි. වර්තමානයේ බොහෝ බස් රථ රියැදුරන් කිසිදු මාර්ග සංඥාවක් නොතකමින් අධික වේගයෙන් රිය ධාවනය කරන ආකාරය දැකගත හැකිය. බස් රථ රියැදුරන් රුපියල් ශතවලට මහා මාර්ගයේ මරාගන්නේ මිනිස් ජීවිත පිළිබඳ තඹ සතේකට මායිම් නොකරමිනි.
එසේම රිය අනතුරුවලින් වැඩි හරියක් සිදුවීමට බලපා ඇති අනෙක් කාරණය වන්නේ මත්ද්‍රව්‍ය භාවිතයයි. මෑතකදී මෙරට සිදු කළ සමීක්ෂණ රැසකින්ම හෙළි වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා රිය අනතුරු සිදුවීම වැඩි වී ඇති බවයි. මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අනතුරු සිදුවීමේ ප්‍රතිශතය 6-8% අතර පවතී. ආරක්ෂක විධිවිධාන පිළි නොපැදීමද රිය අනතුරු බහුල වීමට මෙන්ම එයින් සිදුවන හානි ඉහළ යෑමට ප්‍රධාන හේතුවකි. ආරක්ෂිත හිස් වැසුම් සහ ආසන පටි පැළඳ නොයෑම සහ ළමා රැඳවුම් භාවිත නොකිරීම මාර්ග අනතුරු වලින් සිදුවන හානි ඉහළ නැංවීමට හේතු වී තිබේ.
රිය අනතුරු ඉහළ යෑමට බලපාන අනෙක් ප්‍රබලම සාධකය වන්නේ ජංගම දුරකථන භාවිතයයි. මෙම වරද අද වනවිට සෑම කෙනෙක්ම පාහේ සිදු කරන අතර මගී ජීවිත සිය ගණනක් අතින් ගත් බස් රථ රියැදුරන් නිරන්තරව ජංගම දුරකථනය එක් අතකින් ගෙන රිය පදවන ආකාරය දැකගත හැකිය.
ආරක්ෂිත ගමනාන්තයකට ආරක්ෂිත හොඳ මාර්ග පද්ධතියක් පැවතිය යුතුය. නමුත් ලංකාවේ බොහෝ මාර්ගවල තත්ත්වය එතරම් සතුටුදායක නැත. බොහෝ මාර්ග සංඥා කැලයට යටව ගොස් ඇත. එසේත් නොමැති නම් දේශපාලනඥයන්ගේ හෝ ටියුෂන් ගුරුවරුන්ගේ පෝස්ටර් වලින් මාර්ග සංඥා වැසී ගොස් ඇත. යටිතල පහසුකම් නිසියාකාරව ක්‍රියාත්මක නොවන වටපිටාවක් තුළ රටේ නීති පද්ධතියද හරිහැටි ක්‍රියාත්මක නොවේ.
උදේට හොඳට ඇති මාර්ගය හවසට ගෙදර යන විට දුරකථන හෝ ජල නළ මාර්ග එලීම සඳහා විශාල වලවල් කපා තිබේ. එහි ආරක්ෂාවට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. කොයි දේ කරත් හොඳ අධ්‍යාපනයක් තිබිය යුතුය. රිය ධාවනයටත් අධ්‍යාපනය ඉතා වැදගත් සාධකයකි. බොහෝ රියැදුරන්ගේ විනය ඉතා පහළ මට්ටමක පවතී.
ශ්‍රී ලංකාව මේ වන විට වාහන ආනයනය නතර කර වසර දෙකකට අධික කාලයක් ගෙවී ගොස් ඇත. මේ වන විට මාර්ගවල ධාවනය වන බොහෝ වාහන නිසි ප්‍රමිතියෙන් තොර ඒවාය. ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ජනතාව යාන්තම් රෝද හතර කරකැවෙනවානම් ගමන යන්නට පුළුවන් කියන තැන සිට ක්‍රියා කිරීම ද රිය අනතුරු බහුල වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
මොන වරද කරත් අත යටින් කීයක් හෝ දුන්නොත් බේරී යෑමට හැකිය කියා අද සමාජයේ පොදු මතයක් ගොඩනැගී ඇත. නමුත් අතුකෝරල මහතා පවසන්නේ අද වන විට ලෝකයේ බොහෝ රටවල් දියුණු තාක්ෂණික ක්‍රම මේ සඳහා යොදා ගන්නා බවයි. ඒ තුළින් වරද සිදුකරන පුද්ගලයාට මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියාටත් එවන් දේ කිරීම සඳහා අවස්ථාවක් හිමි නොවන බවයි. එසේම ලොව බොහෝ රටවල් මේ වන විට නව තාක්ෂණය භාවිතයට ගත්තත් තවමත් ශ්‍රී ලංකාව තාක්ෂණය භාවිත කරන්නේ ඉතා සීමිත බව ඒ මහතා පවසයි. තවමත් අපේ රටේ පාරවල් මැද පොලිස් නිලධාරීන් ගිනි අව්වේ වේලෙමින් මහ වැස්සේ තෙමෙමින් රථවාහන හසුරවන ආකාරය දැකගත හැකිය.
රිය අනතුරු හා බුරුල් පොලිස්
රිය අනතුරක් සිදුවීමේදී මුලින්ම ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම්දීම නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයකි. රිය අනතුරේ ස්වභාවය, අගතියට පත් පාර්ශ්වය පිළිබඳව උසාවියට වාර්තා කිරීම දක්වා රාජකාරි පැවැරෙන්නේ ශ්‍රී ලංකා පොලිසියටය. මෙරට බහුතරයක්ම නීතිය අකුරට ඉටුකරනා පොලිස් නිලධාරීන් සිටින බවද සැබෑය. එහෙත් අතලොස්සක් පමණ පොලිස් නිලධාරීන්ගෙන් සිදුවන යම් අකටයුතුකම්ද ලංකාවේ රිය අනතුරුවලට බලපෑම් සිදුවන බවද මේ වනවිට වාර්තා වී ඇත. එයට ප්‍රධාන කාරණාවක් වන්නේ ඇතැම් පොලිස් නිලධාරීන් මුදලට, අල්ලසට යටවීමය.
මාර්ග නීති කඩකරන හා රිය අනතුරකදී පවා වුවද පොලිස් නිලධාරියකු මුදලට සේවය පැහැර හැරීම නිසා සිදුවන්නේ මෙරට නීති පද්ධතිය කඩකිරීමකි. මෙයින් ඇතැම් රියැදුරන් මාර්ග ධාවන බලපත්‍ර නොමැතිව, වලංගු රිය බලපත්‍රයත්ද නොමැතිව, ධාවනයට නුසුදුසු තත්ත්වයේ ඇති රථ වාහන පවා ධාවනයට පෙළඹීම රිය අනතුරකට අතවැනීමක් වන්නේය. සෑම රථ වාහන වැරැද්දකටම ලිහිලක් දෙන්නට අල්ලස පගාවට යටවන පොලිස් නිලධාරීන් පසුබට නොවන රටක නීතිය කොයිබටද යන්න ප්‍රශ්නය දැන් මතුවී ඇත්තේ එලෙසය.
රිය අනතුරු පිළිබඳ කළ කතාබහේදී මහාචාර්ය අතුකෝරළ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රිය අනතුරු පාලනය කිරීමටනම් අනිවාර්යයෙන් දැන් පවතින දඩ මුදල් ඉහළ දැමිය යුතු බවයි. රියදුරන් වරදක් කිරීමට බියවන මට්ටමට දඩ මුදල් ඉහළ නැංවුවහොත් මීට වඩා රිය අනතුරුවල පාලනයක් ඇතිවනු ඇති බවයි. එසේම රුපියල් 1000-2000ක් පොලිස් නිලධාරීන්ගේ අත මිට මොළවන සංස්කෘතිය නතරකළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සමීර කන්නන්ගර - ඉරිදා දිවයින 2024-08-11