Local

ශ්‍රී ලංකා – තායිලන්ත ආර්ථික සබඳතාව යළි පණ ගැන්වීමට එක් වන ලෙස නායකයන් ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලයි

Sunday, 04 February 2024 - 9:38 am

ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව සහ ආසියා පැසිෆික් කලාපයේ තායිලන්තය සතු උපායමාර්ගික වැදගත්කම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා – තායිලන්ත ආර්ථික සබඳතාව යළි පණ ගැන්වීමට එක් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරටේ ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා ඇතුළු දූත පිරිසගේ මෙරට සංචාරයට සමගාමීව ඊයේ (03) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවති ශ්‍රී ලංකා – තායිලන්ත ව්‍යාපාරික හමුව අමතමිනි.

මෙම ව්‍යාපාරික හමුවට එක්වූ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාදරයෙන් පිළිගත් අතර ආහාර, ආහාර හා සැකසුම්, සෞඛ්‍ය, බලශක්ති, ආගන්තුක සත්කාර, සංචාරක, ධීවර, කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍ර නියෝජනය කරමින් තායිලන්තයේ ඉහළ පෙළේ සමාගම් රැසක ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් පිරිසක් මීට එක්ව සිටියහ.

ඔවුන් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ආසියාන් රටක් සමඟ එළැඹි දෙවන නිදහස් වෙ‍ළෙඳ ගිවිසුම ලෙස ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමට (FTA) අත්සන් තැබුණු බවයි.
සුඛෝතායි රාජධානි යුගයටත් පෙර සිටම ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවති ඓතිහාසික වෙළෙඳ සබඳතාව සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාමායනය සහ ථෙරවාදී බුදුදහම වැනි දෙරට අතර සම්ප්‍රදායන් ඇතුළු සංස්කෘතික බැඳීම් පිළිබඳවද සිහිපත් කළේය.

ශ්‍රී ලංකාවේ වරායන් ආසියා පැසිෆික් කලාපයට සම්බන්ධ කරමින් ක්‍රාහ් ඇළේ (Krah Canal) ඉදිකිරීමට යෝජිත ගොඩබිම් පාලම සඳහා සිය උනන්දුව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය නවීකරණය සහ ධීවර ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳවද සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහනට තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ සහාය හිමිවීමත් සමඟ ආරම්භ කෙරුණු වාණිජමය දූරියන් වගාව පිළිබඳව ද ජනාධිපතිවරයා ප්‍රශංසාව පළ කළේය.

උපායමාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශවල සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඓතිහාසික ගොඩනැඟිලි ලබාදීමේ සැලසුම් සමඟ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ හැකි ආකාර පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
උදා වී ඇති නව අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගනිමින් අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා සහයෝගීව කටයුතු කරන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී රටවල් දෙකෙහිම ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

ආගන්තුක සත්කාර හා හෝටල් ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ඊට අදාළ කුසලතා වර්ධනය සඳහා දෙරට අතර සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ඓතිහාසික සංස්කෘතික හා ආගමික සබඳතා පිළිබඳවද සඳහන් කළ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මාර්තු 31 වනදා සිට තායි ජාත්‍යන්තර ගුවන් සමාගම විසින් බැංකොක් සහ කොළඹ අතර දෛනික ගුවන් ගමන් නැවත ආරම්භ කරන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය, නිෂ්පාදන සහ බලශක්ති ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට තායිලන්ත සමාගම් දිරිමත් කිරීමටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.

ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යුරෝපා සංගමය වැනි වෙළෙඳපොළවල් තුළ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති සහ සංචාරක කටයුතුවලින් ප්‍රයෝජන ගන්නා ලෙස තායිලන්ත සමාගම්වලට යෝජනා කරමින් සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමට දායක වන ලෙසද අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

අන්දමන් මුහුද තායිලන්ත බොක්ක හා සම්බන්ධ කිරීමේ ගොඩබිම් පාලම් ව්‍යාපෘතිය පිළිබඳව ද සඳහන් කළ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා තායිලන්තය අග්නිදිග ආසියාවේ සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අභිලාෂයේදී ශ්‍රී ලංකාව තීරණාත්මක හවුල්කරුවකු වන බව ද සඳහන් කළේය. එමෙන්ම, ඉදිරි වසරවලදී ක්‍රියාත්මක වන ඉන්දුනීසියාවේ ඉහළ ස්ඵටික සාගර ව්‍යාපෘතිය පිළිබඳව ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අදහස් දැක්වීය.

තායිලන්තය වසර පුරා ව්‍යාපාරික කටයුතු සඳහා විවෘතව පවතින බවට සඳහන් කළ අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා දෙරටේ ආර්ථික වර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කරන ලෙස ද දෙරටේම ආයෝජකයන්ට ආරාධනා කළේය.

තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෆුම්තම් වෙචයචායි (Phumtham Wechayachai) ඇතුළු දූත පිරිස මෙන්ම කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, විදේශ අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්

wedivistara

එදා අරලියගහ මන්දිරයට ආපු කිසි කෙනෙක්ගෙ අතේ ආයුධයක් තිබුනෙ නෑ - මහින්ද කහඳගම

wedivistara

මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

wedivistara

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී 20 වනදා දක්වා රිමාන්ඩ්

wedivistara

අනුර කුමාර දිසානායක හා UN නේවාසික සම්බන්ධීකාරක අතර හමුවක්

Trending
wedivistara

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් 10,000කට අයදුම් නොකළ විෂයක් සහිත විභාග ප්‍රවේශපත් ලැබෙයි

wedivistara

එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික සිරකරුවන් 44 දෙනෙකුට රාජකීය සමාව

wedivistara

Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

wedivistara

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වෙයි

wedivistara

විදුලි පේනුවක් අලුත්වැඩියා කරමින් සිටි තිදරු පියා විදුලිසර වැදී මරුට

wedivistara

අද ජාතික ජන බලවේගය සැදී පැහැදී ඉන්​නේ ලංකාවේ විශාලතම දේශපාලන පිම්ම පනින්න - අනු​ර


NEWS ALERT