Local

ගාසා හි ළමා අරමුදලට නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියෙන් මිලියන 10කට අධික පරිත්‍යාගයක්

Sunday, 23 June 2024 - 8:32 pm

  • ගාසා ගැටුම් පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය කිසි විටෙකත් වෙනස් වන්නේ නැහැ.
  • වසර 05ක් තුළ පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතුයි.
  • සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම අනුමත කළ නොහැකියි.
  • බංකොලොත් යැයි නම් කළ කුඩා රටක් වුවද ශ්‍රී ලංකාව ගාසා වැසියන් වෙනුවෙන් හැකි උපරිම සහාය ලබා දුන්නා.

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ ශ්‍රි ලංකාවේ ස්ථාවරත්වය කිසි විටෙකත් වෙනස් නොවන බවත්, වසර 05ක් තුළ පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාසා තීරයේ විපතට පත් ජනතාව වෙනුවෙන් නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියේ අද (23) සංවිධානය කර තිබූ විශේෂ යාඥා මෙහෙයට එක්වෙමිනි.

හරිත් මවුලවිතුමන් විසින් යාඥා මෙහෙය සිදු කළහ.

මේ අතර ගාසා හි ගැටුම්වලින් විපතට පත් දරුවන්ට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කළ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලිය විසින් රුපියල් එක්කෝටි හත් ලක්ෂ හැට නව දහස් හාරසිය දාහතක (10,769,417) ක මුදලක් පරිත්‍යාග කිරීමට අදාළ චෙක්පත ද භාරකාරීත්ව මවුලවිතුමන්ලා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

මෙම විශේෂ යාඥා මෙහෙයට එක්ව සිටි බැතිමතුන් සමඟ සුහද කතාබහකට ද එක් වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සෙල්ෆි ඡායාරූප කිහිපයකට ද පෙනි සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

මම මඩකලපුව ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටියදී මෙම අවස්ථාව සඳහා ද ආරාධනා කිරීම පිළිබඳව ඔබ සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා. මෙම පල්ලිය මුස්ලිම් චිත්‍ර කලාවේ හොදම උදාහරණයක් ලෙස දැක්විය හැකියි. කාත්තන්කුඩි මුස්ලිම් ජනතාව රජකාලයේ සිට එහි ජිවත්වු පිරිසක්. මම මඩකලපුව ප්‍රදේශයට පැමිණියේ මෙහි සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මෙම පළාතේ කෘෂිකර්මය නවීකරණය කිරීමට මෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධ්‍යාපනය ද දියුණු කළයුතුයි.

අද මට මෙම අවස්ථාවට ආරාධනා කරනු ලැබුවේ ගාසා අරමුදල සඳහා ඔබගේ සහාය ලබාදීමටයි. ගාසා ප්‍රශ්නය පිළිබඳ ආණ්ඩුව දැඩි ස්ථාවරයක සිටිනවා. එය කිසිඳු අවස්ථාවක වෙනස් වන්නේ නැහැ. ඊශ්‍රාලයට හමාස් සංවිධානය සමග ප්‍රශ්න තිබෙනවා නම් ඒ වෙනුවෙන් ගාසා වැසියන්ගෙන් පලි ගන්න එපා. අපට තිබෙන්නේ පලස්තීනයට විසඳුම් සොයා ගැනීමට සහාය වීමයි. අපේ ස්ථාවරය නම් වසර 05ක් තුළදී පලස්තීන රාජ්‍යය ඇති කිරීමට අවශ්‍ය බවයි. කාලසීමාවක් නැතිව කතා කර ඵලක් නැහැ. මොකද වසර 40ක්, 50ක් මේ පිළිබඳ කතා කළා. එම නිසා අප කාලසීමාවක් අනුව එම වැඩකටයුතු සිදු කළ යුතුයි.

ඊශ්‍රාලයට තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් එය වෙනම කතා කළ හැකියි. නමුත් පලස්තීන රාජ්‍යය ඇති කළ යුතුයි. සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් ඝාතනයට ලක්ව තිබෙනවා. ඒ පිළිබඳ අප කම්පාවට පත් වෙනවා. අපට කිසිසේත් එය අනුමත කළ නොහැකියි.

ගාසා යුද්ධයෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ගාසා අරමුදල ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කළා. ඒ අනුව පළමුව ඩොලර් මිලියනයක් ලබාදීමට කටයුතු කළා. අප කුඩා රටක් වුවත්, බංකොළාත් වූ රටක් ලෙස නම් කර තිබුණත් ඒ වෙනුවෙන් ඩොලර් මිලියනක මුදලක් ලබා දුන්නා. ඒ සඳහා ආධාර කරන ලෙස අප සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ඔබ ලබාදුන් මෙම පරිත්‍යාගය වෙනුවෙන් මගේ ස්තූතිය පළ කරනවා.

ඒ වගේම භූමිදානය කිරීමේ ප්‍රශ්නය මෙරට මුස්ලිම් ජනතාවට විශාල ගැටළුවක්ව පැවතුනා. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩසටහන ක්‍රියාත්මක නොකර වෙනම කොමිටියක් පත් කරනු ලැබුවා. එහිදී ප්‍රශ්නයක් මතු වුණා. ඒ පිළිබඳ මුස්ලිම් ජනතාව තුළ විශාල සිත් රිදීමක් ඇති වුණා. ඒ නිසා තමන්ගේ කැමැත්ත පරිදි භූමිදානය කිරීමට හෝ ආදාහනය කිරීමට, කැමතිනම් වෛද්‍ය පීඨයට දේහය භාරදිය හැකි අන්දමින් අලුත් නීතියක් ගෙන ඒමට ආණ්ඩුව තීරණය කළා. ඒ නිසා ඉදිරියේදි එවැනි ප්‍රශ්න ඇති නොවන ලෙස අප විසදුම් ලබා දී තිබෙනවා.

මම ප්‍රමුඛත්වය දී තිබෙන්නේ රටේ කඩා වැටුණු ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමටයි. අපට තව ඉතා කෙටි කළකින් එම අරමුණ ඉටුකරගත හැකියි. ඉන් පසුව රටේ අනෙකුත් ප්‍රශ්න විසදා ගැනීම පිළිබඳ අවධානය යොමු කරනවා. ඒ වගේම ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම වෙනුවෙන් උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. එල්. එම්. අතාවුල්ලා, අලි සහිර් මවුලානා, හිටපු රාජ්‍ය අමාත්‍ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපති කේ. එල්. එම්. ෆරීඩ්, ප්‍රධාන පූජක ඉල්හාම් මවුලවිතුමන්, මඩකලපුව හිටපු නගරාධිපති ඒ. එච්. එම්. අස්ෆර්, කාත්තන්කුඩි මුස්ලිම් දේවස්ථාන සභාපති ඒ. එම්. තව්ෆික් යන මහත්වරුන් ද, මුස්ලිම් බැතිමතුන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT