ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු කමිටුව විසින් ඔහුගේ සාක්ෂි ලැයිස්තුවේ සිටින පිරිසගේ සාක්ෂි ලබාගැනීම අවසන් කර තිබෙනවා.
මෙහිදී වගඋත්තරකාර පොලිස්පතිවරයා ද ඇතුළුව ඔහුගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් 15 දෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිත බව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා පෙරදී පැවසූ අතර, අද දින තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදීමෙන් පසු, අනෙකුත් සාක්ෂිකරුවන් පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි මෙහෙයවීම සිදු නොකරන බව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.
මේ නිසා එම සාක්ෂිකරුවන් අද දින පරීක්ෂණ කමිටුව ඉදිරියේ පෙනී සිටි නමුත්, ඔවුන්ව මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුව මෙහිදී නිර්දේශ කර තිබෙනවා.
මේ අනුව, වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් 07 දෙනෙකුගේ සාක්ෂි පමණක් ලබාගෙන වගඋත්තරකරුගේ නඩුව අවසන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.