Local

අනුරපුර සිට මිහින්තලයට නව දුම්රිය සේවාවක්

Tuesday, 18 June 2024 - 7:32 am

-පොසොන් පොහොය නිමිත්තෙන් ජුනි 21-22-23 බැතිමතුන් ප්‍රවාහනය නොමිලේ

ඉන්පසු සෑම පොහොය දිනකමත් නොමිලේ ගමන් පහසුව

අනෙකුත් දිනවල පාසල්-සරසවි සිසුන් හා ගොවි නිෂ්පාදන ප්‍රවාහනයටත් පියවර

උතුරු, උතුරු මැද, නැ‍ඟෙනහිර යන පළාත තුළ දිස්ත්‍රික්ක දහයකට භාණ්ඩ බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට මිහින්තලය පත්කිරීම අපේ අරමුණයි – අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

ඉන්දියානු ණය ආධාර යටතේ අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය මංසන්ධිය දක්වා ඉදි කළ නව දුම්රිය මාර්ගයේ දුම්රිය සේවය ඇරඹීම අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ගේ හා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) සිදු කෙරිණි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ ඉදිකර අත්හැර දමා තිබූ එම දුම්රිය මංතීරුව රුපියල් ලක්ෂ 6500ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර අනුරාධපුරයේ සිට මිහින්තලය වන්දනාමාන කරන්නට පැමිණෙන බැතිමතුන්ට ගමන් පහසුව ලබාදීම උදෙසා මෙසේ ඉදි කර තිබේ. මෙය මිහින්තලයේ සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගයත්, නව දුම්රිය මාර්ගයත් ධාවන මංතීරු දෙකක් ලෙස ඉදි කර තිබේ. මෙම මාර්ගයට පාලම් දෙකක් ඇතුළත් වේ. මිහින්තලය දුම්රිය ස්ථානය, මිහින්තලේ හන්දිය උප දුම්රිය ස්ථානය, සමගිපුර සහ අශෝකපුර දුම්රිය නැවතුම්පොළ මෙම දුම්රිය මාර්ගයට ඇතුළත් වෙයි.

අනුරාධපුර දුම්රිය ස්ථානයේ පැවැති දුම්රිය මාර්ගය විවෘත කිරීමේ උත්සවයට සමගාමීව දුම්රිය සහකාර වාණිජ අධිකාරි – අනුරාධපුර කාර්යාලය විවෘත කිරීමද අමාත්‍යවරයා ප්‍රමුඛ ආරාධිතයන්ගේ සුරතින් කෙරිණි.

අනුරාධපුර දුම්රිය ස්ථානයේ පැවැති සමාරම්භක උත්සවයෙන් අනතුරුව විශේෂ සමරු ඵලකය නිරාවරණය කළ අමාත්‍යවරයා ඇතුළු ආරාධිතයන් අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා ගමන් කරමින් නව දුම්රිය මාර්ගයේ මංගල ගමනට එක් විය.

පොසොන් පුන් පොහොය යෙදෙන ජූනි මස 21 වැනිදා මෙන්ම 22 හා 23 දිනයන්හිදීත් අනුරපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය බලා පැමිණෙන බැතිමතුන්ට දුම්රිය මඟින් නොමිලයේ ගමන් පහසුව සලසා දීමට පියවර ගන්නා බව ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ උත්සව අවස්ථාවේදී අදහස් දක්වමින් පැවැසීය.

එමෙන්ම මින් ඉදිරියට සෑම පුන් පොහෝ දිනයකම අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා දුම්රිය මඟින් බැතිමතුන් ප්‍රවාහනය නොමිලයේ සිදු කරනු ලබන බව ද කීවේය.

ඉන්පසුව අනෙකුත් දිනවල දී මෙම දුම්රිය මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය පාසල් සිසුන් හා සරසවි සිසුන් ප්‍රවාහනයටත් ගොවි නිෂ්පාදන ප්‍රවාහනයටත් යොදා ගන්නා බව ද ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් ඇමැතිවරයා මෙසේද කීවේය.

මේ අවස්ථාව ඓතිහාසික රජරට පුරවරයට පොසොන් උත්සවයක් සමඟ සුවිශේෂී වටිනාකමක් එක් වන අවස්ථාවක්. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළ 1993 වසරේ මැයි 28 වැනිදා මිහින්තලය හන්දියේ සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගය විවෘත වුවත් එය ඵලදායි සහ කාර්යක්ෂම ලෙස භාවිත කිරීමට රටට හැකියාවක් ලැබුණේ නැහැ. පොසොන් උත්සව සමය තුළ පමණක් කෙටි කාලයකට මාර්ගය එළිපෙහෙළි කර වසරකට වරක් පමණක් භාවිත කරන මාර්ගයක් ලෙස මෙම මාර්ගය පැවතුණා. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා මා වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ දී විසල් අනුරාධපුර නගර ව්‍යාපෘතිය නමින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබුවා. එහි දී අප අපේක්‍ෂා කළේ ලෝකයේ විවිධ රටවලින් කොළඹට ආනයනය කරන භාණ්ඩ දුම්රිය මගින් අනුරාධපුරය හරහා මිහින්තලයට ප්‍රවාහනය කිරීමයි. එලෙස ප්‍රවාහනය කරන භාණ්ඩ මිහින්තලයේ ගබඩාවල සිට උතුරු, උතුරු මැද, නැ‍ඟෙනහිර යන පළාත තුළ දිස්ත්‍රික්ක දහයකට භාණ්ඩ බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට මිහින්තලය පත්කිරීම එහි අරමුණයි. එමෙන්ම මෙම සියලු පළාත්වල අපනයනය අභිමුඛ කරගනිමින් නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රතිසැකසුම් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කොළඹ දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීම ද ඊට ඇතුළත්. එමෙන්ම මෙම ප්‍රදේශවල කෘෂි නිෂ්පාදන හුවමාරු කරන තොග වෙළඳ මධ්‍යස්ථානයක් ලෙසත් මෙම ප්‍රදේශය භාවිත කිරීම එම සංකල්පයට ඇතුළත්. ඒ වෙනුවෙන් මිහින්තලේ විශ්වවිද්‍යාලය සහ එහි විද්වතුන්, ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සියලු දෙනා ඒකාබද්ධව සකස් කරන ලද සැලසුමකට අනුව අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීම මේ වන විට සිදුවෙමින් පවතිනවා. ඒ තුළින් ඉතිහාසයේ මුළු රටේම කේන්ද්‍රීය සංවර්ධිතම නගරය බවට අනුරාධපුරය පත්වූ ආකාරයට එවැනිම සංවර්ධිත ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇති බවට අප බලාපොරොත්තු වනවා.

ඒ සඳහා තවත් උත්තේජනයක් සපයමින් වසර සිය ගණනක් ප්‍රතිසංස්කරණය නොවූ උතුරු දුම්රිය මාර්ගය පැයට කිලෝමීටර් සියයක වේගයෙන් දුම්රිය ගමන් කළ හැකි මාර්ගයක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස මට හැකියාව ලැබුණා. ඒ වෙනුවෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ කෝටි 3000කට අධික ණය මුදලක් අනුමත වී තිබුණා. නමුත් මීට පෙර විෂය භාරව කටයුතු කළ සෑම ඇමැතිවරයකුම මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අකමැති වූයේ ප්‍රතිසංස්කරණය සඳහා දුම්රිය මාර්ගය වසා දැමීම තුළින් මහජන විරෝධයක් මතුවනු ඇති බවට උපකල්පනය කරමින්. නමුත් රටේ අනාගතය වෙනුවෙන් පොදු ජනතාවගේ ප්‍රවාහන කටයුතු පහසු කිරීම වෙනුවෙන් උතුරු දුම්රිය මාර්ගය අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා ප්‍රතිසංවිධාන කිරීමේ කටයුතු ආරම්භ කිරීමට අප තීරණය කළා. එහි දෙවන අදියර අනුරාධපුර සිට මහව දක්වා මේ වන විට ආරම්භ කොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි සම්පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම පොසොන් පොහොයට පෙර අවසන් කිරීමට සැලසුම් කලත් නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවත් කෙටි කලකට එහි කටයුතු ප්‍රමාද වන බව අප දැනුවත් කර තිබෙනවා. කෙසේ නමුත් ඉදිරි මාස දෙකක කාලය තුළ එහි කටයුතු අවසන් කර කොළඹ දක්වා ගමන් කිරීමට ගතවන කාලය පැය පහහමාරක් දක්වා අවම කිරීමට හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා.

එමෙන්ම මිහින්තලය දක්වා අද ආරම්භ කෙරෙන මෙම දුම්රිය මාර්ගය නැ‍ඟෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දක්වා දීර්ඝ කර නව මාර්ගයක් සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමේ වගකීම අද දිනයේ සිටම නිලධාරීන් වෙත භාරදෙනවා.

අනුරාධපුර සිට මිහින්තලේ හන්දිය දක්වා මෙම දුම්රිය මාර්ගය සකස් කිරීම සඳහා පසුගියදා අප අතරින් වෙන් වූ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්. කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා විශාල මෙහෙවරක් සිදු කළා. ඒ සඳහා පැරණි කොටස් යොදා ගනිමින් විශේෂ වැඩපිළිවෙළක්ද ඔහු විසින් යෝජනා කළා. ඒ අනුව ඉතිහාසයේ පළමුවරට, ඉන්දියාවේ ඉර්කොන් ආයතනයේද සහාය ඇතිව අනුරාධපුරයේ සිට මිහින්තලය හන්දිය දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කර විවෘත කිරීමට අපට හැකියාව ලැබුණා. එතැන් සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගය අපේ රටේ දුම්රිය ඉංජිනේරුවන්ගේ සහ කාර්මිකයින්ගේ කැපවීමෙන් සහ දායකත්වයෙන් පිරිමැසුම්දායක ලෙස නවීකරණය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ වෙනුවෙන් කැප වූ දිවංගත දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්. කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතාටත්, අනෙකුත් සියලුම නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයටත් අපගේ ගෞරවය සහ ප්‍රණාමය හිමි විය යුතුයි.

සියලු දෙනාගේම කැපවීමෙන් ඉදිකළ නව දුම්රිය මාර්ගයේ මංගල ගමන සිදුකෙරෙන මේ මොහොතේ නව දුම්රිය මැදිරි ආදිය මිල දී ගැනීමේ අවශ්‍යතාවය පැවතුණත් ඒ සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය මේ මොහොතේ නැහැ.

කෙසේ නමුත් මේ ව්‍යාපෘති සියල්ලේම ප්‍රගතිය පිළිබඳ සලකා බලමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අය-වැය තුළින් විසල් අනුරාධපුර ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 200ක්‌ වෙන්කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් අනතුරුව විසල් අනුරාධපුර දෙවැනි අදියර ඉදිරි මාසවල දී ආරම්භ කිරීමට අප කටයුතු කරනවා. ඒ තුළින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආනයනකරුවන්, අපනයනකරුවන්, ගොවි ජනතාව, ව්‍යාපාරිකයින්ට රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ආදායම් වර්ධනය කිරීම, රැකියා අවස්ථා උත්පාදනය කිරීමට විදේශ විනිමය ඉපයීම සඳහා ආරම්භය සනිටුහන් කරන සෞභාග්‍යමත් යුගයක්‌ වෙනුවෙන් සහයෝගය ලබා දෙන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පැවැති මෙම උත්සවය සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එස්. මුදලිගේ මහතා, හිටපු අමාත්‍ය එච්.බී සේමසිංහ මහතා, උතුරු මැද පළාතේ හිටපු මහ ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන් මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක් වූහ.

අමිල ප්‍රභාත් වනසිංහ – අනුරාධපුර අතිරේක


Top Stories
wedivistara

ආණ්ඩුකාරවරුන්ට ජනපති දුන් උපදෙස

wedivistara

කොළඹ වරායේ බදු සහන හිමිවන අලුත්ම පිරිස

wedivistara

ශ්‍රී ලංකාවට චීනයෙන් රුපියල් කෝටි තුනක පරිත්‍යාග..

wedivistara

රනිල් හිටියා නම් IMF සිවු වැනි වාරිකයත් ගන්නවා..

wedivistara

ජනාධිපති අවබෝධයෙන් බොරු කියලා තියෙනවා.. ඒවායින් අපට හානි වුනා..

wedivistara

සහල් මිල ඉහල යාම කෘතිමයි.. මිල පාලනය ඉවත් කරන්නෑ..- ඩඩ්ලි, නිපුන හමුවී ජනපති කියයි..

Trending
wedivistara

අනුරට තනිවම රට හදන්න බෑ..- අගමැතිනි

wedivistara

පඩිය ලක්‍ෂයට වැඩි නම් බදු වාර්තා එවන්න.. අවසන් දිනය නොවැම්බර් 30…

wedivistara

ප‍්‍රදේශ රැසක ඌරන් මිය යයි.. ඌරුමස් කෑම අවදානම්..

wedivistara

අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියයි..- ආණ්ඩුකාර

wedivistara

මා ජනාධිපති වී ආර්ථිකය ස්ථාවර කලා..- ජනපති

wedivistara

අඩු කරපු විදුලි බිලට මොකද වුණේ ?


NEWS ALERT