තම සේසතම වැය කරමින් අලුතින්ම මසුන් මැරීමට දියඹට යැවූ ‘ලොරෙන්සෝ පුතා 4’ යාත්‍රාව හා එහි සේවය කළ හය දෙනකුගෙන් සමන්විත පිරිස සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරා දෙන්නැයි එහි හිමිකරු වන මාරවිල තල්විල පදිංචි ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ඉතාලියේ වසර 10කට ආසන්න කාලයක් රැකියාවක නිරත වී නැවත ශ්‍රී ලංකාවට පැමිණි මිල්රෝයි මහතා තම පියා නිරත වූ ධීවර රැකියාවේ නිරත වෙමින් බහුදින යාත්‍රා දෙකක් යොදාගෙන රැකියාවේ නිරත වී සිටියදී රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කර ‘ලොරෙන්සෝ පුතා 4’ නමින් යාත්‍රාවක් අලුතින්ම සකසා මුහුදට යැවීමට කටයුතු කර ඇත්තේ පසු ගිය 12 දිනය.
මේ යාත්‍රාවේ ස්කීපර් ලෙස කටයුතු කර ඇත්තේ දකුණු තොඩුවාවේ පදිංචි 32 හැවිරිදි රඛිත දුශාන් වන අතර, ඔහු සමඟ එම යාත්‍රාවේ සේවය කර ඇති අනෙක් පිරිස අතරින් අයෙක් කල්පිටියේ පදිංචි පුද්ගලයකු වන අතර, සෙසු අය කුඩා මඩුවැල්ලේ පදිංචිකරුවෝය. මිල්රෝයි මහතා පවසා සිටියේ යාත්‍රාව පැහැරගැනීමත් සමඟ එහි සේවය කළ හය දෙනාගේ ජීවිත දැඩි අවදානමකට ලක් වී ඇති බවයි. ඒ හේතුවෙන් මේ පිරිස නිරුපද්‍රිතව බේරාගෙන මෙරටට රැගෙන ඒමට කටයතු කරන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
එසේම මසුන් මැරීම සඳහා මුහුදු යන යාත්‍රාවල ආරක්ෂාව ගැන බරපතළ අවදානමක් මතු වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
මෙලෙස සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගැනීමට ලක් වූ ‘ලොරෙන්සෝ පුතා 4’ යාත්‍රාව අඩි 50ක දිගින් යුත් විශාල බහුදින යාත්‍රාවකි.