Local

සජබ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහනුවරදී එළිදකී

Friday, 30 August 2024 - 7:08 pm

මෙහි කරුණු මහපොළොවේ යථාර්ථයක් කරනවා
–  සජිත් ප්‍රේමදාස

මෙවර ජනාධිපතිවරණයට සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතාගේ ‘සැමට ජයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහනුවර දී ඊයේ (29) එළිදක්වනු ලැබීය.

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම, සෑම පුරවැසියකුම බල ගැන්වීම, රාජ්‍ය සේවය නංවාලීම, ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම සහ රාජ්‍ය ආරක්ෂාව යන ප්‍රධාන ක්ෂේත්‍ර පහක් ඔස්සේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරුණු විග්‍රහ කර තිබේ.

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම යටතේ විනිවිදභාවය හා වගවීම, ණය අර්බුදය කළමනාකරණය හා ජාත්‍යන්තර මූලය අරමුදල, මූල්‍ය සහ විනිමය අනුපාත ප්‍රතිපත්තිය, වියදම් පාලනය, ආර්ථික අභිවෘද්ධි උත්තේජනය කිරීම, රාජ්‍ය අංශ කළමනාකරණය සහ ඩිජිටල්කරණය ඇතුළු කරුණු විස්සක් ඔස්සේ කරුණු දක්වා ඇත.

ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සමගි ජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, එරාන් වික්‍රමරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඩලස් අලහප්පෙරුම යන මහත්වරු සහභාගි වූහ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දළදා වහන්සේ වැඳ පුදාගෙන සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ට පූජා කර ආශීර්වාද ලබා ගැනීමට ඊයේ පැමිණි අතර එහිදී ඒ මහතා පැවසුවේ තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති කරුණු සත්‍යවාදීව, යථාර්ථවාදීව පොදු ජන සුබ සිද්ධිය උදෙසා මාතෘ භූමියේ සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මක කරන බවයි. එය ජනතා කේන්ද්‍රීය ජනතාවාදී මාතෘභූමිය ශක්තිමත් කරන ප්‍රගතිශීලී වැඩපිළිවෙළක් බවත් කාලවකවානු සහිතව එය මහපොළොවේ සත්‍යක් කරන බවත් කීවේය.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මහනුවර දී මල්වතු පාර්ශ්වයේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිවරුන් බැහැ දැක සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා ආශීර්වාද ලබා ගන්නා ලදි.

ඒ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගුව ඇති තවත් කාරණා රැසක් මෙසේය.

පුරවැසි බලගැන්වීම යටතේ අධ්‍යාපනය වෘත්තීය පුහුණුව සහ තාරුණ්‍යය, කාන්තාවන් සහ ළමුන් සවිබල ගැන්වීම ඇතුළු ක්ෂේත්‍ර හතක් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

රාජ්‍ය සේවය නංවාලීම යටතේ ප්‍රධාන කරුණු හතරක් කෙරෙහි අවධානය යොමු කර තිබෙන අතර විසි එක්වෙන සියවස සඳහා ඩිජිටල් ශ්‍රී ලාංකාවක් යන්න ඉන් ප්‍රධානය.

ආගමික හා සංස්කෘතික කටයුතු, මාධ්‍යය, නිවාස හා පොදු පහසුකම් ඇතුළු ක්ෂේත්‍ර අටක් සම්බන්ධව ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම යටතේ කරුණු දක්වා තිබේ.

රාජ්‍ය ආරක්ෂාව යටතේ ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව ශක්තිමත් කිරීම, විදේශ සම්බන්ධතා හා වෙළෙඳ සන්ධාන, ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය, දූෂණ විරෝධී නීති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මූලධර්ම මඟින් මෙහෙයවනු ලබන සමාජ වෙළෙඳපොළ ආර්ථික ආකෘතියක් අනුගමනය කරන බවත් මෙමඟින් සාධාරණ හා සියල්ලන් ඇතුළත් කරගත් ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීම සඳහා වෙළෙඳපොළ ශක්තීන් උපයෝගී කරගනිමින් සමාජ යුක්තිය හා සැමට ආරක්ෂාව සහතික කරන බවත් සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම අනුව රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කරමින් ආදායම, ප්‍රාථමික ගිණුමේ ශේෂය සහ ණය ආශ්‍රිත ඉලක්ක සපුරා ගැනීම දුෂ්කර වුවත් ඒ සඳහා අවශ්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු අඛන්ඩව සිදුකරන බව ද එහි සඳහන්ය.

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා පවත්නා එකම විසඳුම බදු ඉහළ නැංවීම පමණක් නොවන බවත් ආදායම් වර්ධනය කිරීම, වියදම හා දූෂණ අවම කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම මූලික කටයුත්තක් බව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ.

මාසිකව රුපියල් ලක්ෂයක බදු නිදහස් කාණ්ඩයෙන් අනතුරුව පුද්ගල ආදායම් බද්ද 1 %ක අගයකින් ආරම්භ වී මාසිකව රුපියල් ලක්ෂ පහක ආදායමක් දක්වා අය කරන බද්ද 24% එකට සීමා වන බවත් ඊට වඩා ඉහළ ආදායම් ලබන්නන් සඳහා වත්මන් අනුපාතයන් අදාළ කරගන්නා බවත් ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් යෝජනා කර තිබේ.

අපනයන මත ලාභ සඳහා දැනට පවතින 30% අනුපාතය 6% දක්වා අඩු කිරීමට සහ බහුජාතික සමාගම් සඳහා 15 %ක පදනම් සහ ලාභ විතැන් කරන අවම විකල්ප බද්දක් හඳුන්වා දීමටත් සැලසුම් කර ඇත.

පොදු ඩිජිටල් පහසුකම් හරහා බදු දැල පුළුල් කිරීම මගින් බදු ආදායම් එකතු කිරීම වැඩිවූ පසු වැට් බද්ද 15 % දක්වා අඩු කිරීමටත් අත්‍යවශ්‍ය ආහාරවලට අමතරව පාරිභෝගික ද්‍රව්‍ය ලෙස හඳුනාගත් ඇතැම් අයිතම නිදහස් කිරීමටත් මේ ඔස්සේ අවධානය යොමුව තිබේ.

සිගරැට් සහ මද්‍යසාර සඳහා නිෂ්පාදන බද්ද සහ කැසිනෝ සඳහා වන බද්ද බදු අවම කිරීම සඳහා වන අරමුදල් සැපයීමට භාවිත කරන බවත් ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීම් සඳහා 15%ක සහතික කළ පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කරන බවත් සමගි ජන සන්ධානය ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් සහතික වී ඇත.

ආර්ථික වර්ධනයේ ප්‍රධාන දාවකයා ලෙස මහා පරිමාණ සහ සුළු පරිමාණ පුද්ගල ව්‍යවසායන් සමගින් එක්ව ගෝලීය වශයෙන් සම්බන්ධිත සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට යෝජනා කරන සමගි ජන සන්ධානය වෙළෙඳ ලිබරල්කරණය සහ විදේශ සෘජු ආයෝජන හරහා ගෝලීය ආර්ථික ඒකාග්‍රතාව වැඩිදියුණු කිරීමත් නිෂ්පාදන සහ ශ්‍රම වෙළෙඳපොළ ඇතුළුව දේශීය වෙළෙඳපොළ නිදහස් කිරීම සම්බන්ධව මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත.

සහල් මිල පහත හෙළීම සහ එම මිලෙහි පවත්වා ගැනීම සඳහා ශක්ති සහල් මෝල් හිමි දීප ව්‍යාප්ත සමුපකාර වැඩසටහන් හඳුන්වාදීමටත් 40%ක් පමණ වන පසු අස්වනු හානිය අවම කිරීම සඳහා දේශගුණික පාලනය යටතේ කෘෂිකාර්මික නිෂ්පාදන ගබඩා ජාලයක් වන ප්‍රභාෂර වැඩසටහන කඩිනමින් රට පුරා ස්ථාපිත කිරීමටත් මෙමඟින් අවධානය යොමු කර ඇත.

මූල්‍ය තාක්ෂණය, ජෛව තාක්ෂණය සහ නැනෝ තාක්ෂණය ද ඇතුළත් තාක්ෂණික සේවා සඳහා ආසියාවේ කලාපීය මධ්‍යස්ථානය බවට වරාය නගරයේ පත්කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කරන බවද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ.

ඖෂධ ප්‍රසම්පාදනයේ සිට සියලු සෞඛ්‍ය සේවාවන් දක්වා අධි තාක්ෂණික විසඳුම් සමගින් සෞඛ්‍ය අංශය පරිවර්තනයකට ලක් කිරීමටත් ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා ලොව දියුණුතම සහ වේගවත්ම ගිලන් රථ සේවාවක් වශයෙන් ඇගැයීමට ලක් වූ 1990 සුවසැරිය ගිලන් රථ සේවය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමෙන් උගත් පාඩම් අනෙකුත් සෞඛ්‍ය සේවාවන් වෙතද ආදර්ශ කොට ක්‍රියාත්මක කිරීමට ද අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාව කලාපීය පුනර්ජනනීය බල ශක්ති මරමස්ථානයක් බවට පත් කිරීම ඉලක්ක කොටගෙන 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ජනනයෙන් 70%ක ඉලක්ක සපුරා ගැනීම පමණක් නොව එම සීමාව ඉක්මවා යෑමටද සැලසුම් කර ඇත.

කිලෝ ග්‍රෑම් පනහක පොහොර මල්ලක් රුපියල් 5000ක මිලකට ගොවීන් වෙත ලබාදීමට ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් සහතික වී තිබේ.

රජයේ ඉඩම්වල පදිංචිව සිටි ඉඩම් අවසර පත් ලාභීන් වෙත වසර පහක් ඇතුළත සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බවද එහි දක්වා ඇත.

ගුරුවරුන් විසින් ඉටු කරනු ලබන තීරණාත්මක කාර්යභාරය සැලකිල්ලට ගෙන සියලුම ගුරුවරුන්ට නොමිලේ පොදු ප්‍රවාහන පහසුකම් සැපයීමටත් ශ්‍රී ලංකාවේ සියලුම පාසල්වලට 100%ක් ජල විදුලි පහසුකම් ලබාදීමටත් සෑම පාසලක්ම සුහුරු පාසලක් බවට පත් කිරීම සඳහා මාර්ග සිතියමක් සකස් කිරීමත් සම්බන්ධව ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් අවධානය යොමු කර ඇත.

දූ දරුවන්ට දැඩි මානසික පීඩනයක් බවට පත්ව ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දරුවන් පීඩාවට පත් නොවන අයුරින් සරල හා සංවිධිත කිරීමත් 6-13 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සියලු පාසල් දැරියන්ට ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ස්වකීය කැමැත්ත පරිදි මාසික මුදලක් ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමත් සිදුකරන බව ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් යෝජනා කර තිබේ.

විශ්වවිද්‍යාල අංශයේ වෘත්තීය ගැටලු විසඳීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වහාම ප්‍රතිව්‍යුහගත කිරීමට මේ ඔස්සේ යෝජනා කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත ප්‍රතිසංස්කරණය කර විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීම රාජ්‍ය රාජ්‍ය නොවන සහ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය අධීක්ෂණය කිරීම සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම සම්බන්ධවද මෙහි කරුණු දක්වා ඇත.

නිදන්ගත වකුගඩු රෝගීන් පෙළෙන පුද්ගලයින් පනස්දහසක් සඳහා සුභසාධන දීමනාව රුපියල් 10000ක් දක්වා වැඩි කිරීමටත් වැඩිහිටි පුරවැසියන් 820000ක් සඳහා ලබා දෙන රුපියල් 32000ක දීමනාව රුපියල් 5000ක් දක්වා ඉහළ නැංවීමටත් යෝජනා කර තිබේ.

ආබාධ සහිත තැනැත්තන් සඳහා ලබාදෙන සුභසාධන දීමනාව රුපියල් 7500 සිට රුපියල් 10000 දක්වා ඉහළ නැංවීමටත් ඔවුන් සඳහා රාජ්‍ය සේවයේ රැකියා අවස්ථාවලින් 3%ක කෝටාවක් ලබාදීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත් ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කොට ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ ඉවත් කිරීම සඳහාත් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහාත් අවශ්‍ය නීතිමය පරිසරය සකසන බවත් එහි සඳහන්ය. යල් පැන ගිය 1973 අංක 25 දරන ක්‍රීඩා පනත ඉවත්කොට වර්තමානයට ගැළපෙන නව ක්‍රීඩා පනතක් වසරක් තුළ හඳුන්වාදීමටත් යෝජනා කර ඇත.

ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) මූලාරම්භය යටතේ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට නිශ්චිත හඳුනාගැනීමේ අංකයක් ලබාදීමට සැලසුම් කර තිබේ. මෙමඟින් උප්පැන්න, විවාහ සහ මරණ සහතික, විදේශ ගමන් බලපත්‍ර ඇතුළු වැදගත් ලේඛනයන්හි සහතික කළ පිටපත් ලබා ගැනීම ආදී වශයෙන් මේ වන විට වෙහෙසකර මට්ටමේ පවත්නා සේවාවන් හුදෙක් බොත්තමක් එබීමෙන් ලබා ගැනීමේ හැකියාව ලබාදීමට අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකාව මුදල් රහිත ගනුදෙනු කෙරෙහි නැඹුරු වූ නවීන සමාජයක් බවට පරිවර්තනය කරමින් ඩිජිටල් මූල්‍ය ගනුදෙනු නංවාලීමේ ක්‍රමයක් ස්ථාපනය කිරීමටද සමගි ජන සන්ධානය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් යෝජනා කර තිබේ.

මාස තුනක් තුළ ශ්‍රී ලංකාවට අංග සම්පූර්ණ සයිබර් ආරක්ෂණ නීතියක් හඳුන්වා දීමටත් 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන රෙගුලාසි පැනවීම සහ ඊට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධවත් මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත.

සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වෙන පරිදි පූර්ණ මානව සම්පත් විගණනයක් සිදුකොට සමස්ත රාජ්‍ය සේවයම මානව සම්පත් කළමනාකරණ සැලැස්මකට අනුව ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගන්නා බවත් රාජ්‍ය සේවයේ සියලුම බඳවාගැනීම් පත් කිරීම් සහ අනුයුක්ත කිරීම් කුසලතා මත පදනම්ව සිදු කරනු ලබන අතර දක්ෂතාවන් සහ සුදුසුකම් මත පුද්ගලයින් උපාය මාර්ගිකව ස්ථානගත කිරීම සහතික කරන බවත් ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සමගි ජන සන්ධානය පවසයි.

රාජ්‍යාංශ සේවකයින්ට ලබාදෙන මාසික ජීවන වියදම් දීමනාව දැනට ලබාදෙන රුපියල් 17800 සීමාවේ සිට රුපියල් 25000ක අවමයක් දක්වා ඉහළ නංවනු ඇත.

රාජ්‍ය සේවක අවම වැටුප ජීවන වියදම් දීමනාව ද ඇතුළත්ව රුපියල් පනස් හත්දාස් පන්සීයක් දක්වා ඉහළ නැංවීමටත් 2016 සිට බඳවාගත් සියලුම රජයේ සේවකයින්ට විශ්‍රාම වැටුප ව්‍යවස්ථා සංග්‍රහය අනුව ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ලබාදීමටත් මේ ඔස්සේ යෝජනා කර ඇත.

පෝලිම් නොමැතිව කඩිනමින් විදේශ ගමන් බලපත්‍ර සහ හැඳුනුම්පත් ලබාදීම සඳහා සෑම පරිපාලන දිස්ත්‍රික්කයකම ආගමන විගමන දෙපාර්තමේන්තුවට සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඒකාබද්ධව පවත්වාගෙන සේවා මධ්‍යස්ථාන 25ක් ස්ථාපිත කරනු ලැබේ.

 
 
 
 


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT